බදු පසු ලාබය රුපියල් බිලියන 91.6 ක සිට රුපියල් බිලියන 85.1ක් දක්වා අඩුවීමක්
2026 වසරේ පළමු කාර්තුවේදී මෙරට බැංකු අංශයේ බදු පසු ලාබයේ යම් පහත වැටීමක් වාර්තා වී තිබේ. ඒ අනුව බැංකු අංශයේ බදු පසු ලාබය රුපියල් බිලියන 85.1 ක් ලෙස සටහන් වන අතර මෙය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 91.6 ක බදු පසු ලාබය හා සැසඳීමේදී සියයට 7.1 ක අඩුවීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 පළමු කාර්තුව සඳහා නිකුත් කළ මූල්‍ය සාධනීය දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මෙහිදී 2026 පළමු කාර්තුව තුළ බැංකු අංශය වාර්තා කර ඇති ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 270.7ක් වන අතර එය 2025 පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 246.5 ට සාපේක්ෂව සියයට 9.8ක වර්ධනයකි. එසේම දළ ආදායම රුපියල් බිලියන 316.5 ක සිට රුපියල් බිලියන 339.6 ක් දක්වා වසරින් වසර සියයට 7.3ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත් 2026 වසරේ බැංකු අංශය වාර්තා කළ බදු පෙර ලාබය රුපියල් බිලියන 134.3ක් වන අතර, එය 2025 පළමු කාර්තුවේ සටහන් වූ රුපියල් බිලියන 142.2 ට සාපේක්ෂව සියයට 5.6ක අඩුවීමකි. ඒ අනුව බදු පසු ලාබය රුපියල් බිලියන 91.6 ක සිට 85.1ක් දක්වා සියයට 7.1කින් අඩුවී තිබේ.

