IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


ආපදා ආධාර ගන්න රොන්මඩ ගෙනත් දාලා


හසලක සුනිල් ඒකනායක



ආපදාවක් නොවු නිවසක ගැමියකු සිය නිවසට ගංවතුර ගැලීමෙන් ආපදාවක් සිදුවිනැයි කියමින් සිය නිවසේ ගෙබිමට අසල වෙල් යායෙන් මඩ වතුර සහිත රොන් මඩ රැගෙනවිත් දමා ආධාර ඉල්ලූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ.  
මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දිට්වා සුළි කුණාටුව සමග පැවති අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශයේ පිහිටි ඇළ දොළ ගංඟා උතුරා පිටාර ගලා එම ජල මාර්ග ආසන්නයේ පදිංචිකරුවන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළවලටද දැඩි හානි පමුණුවනු ලැබීය.
මෙම ගම්මානය ද පිහිටා ඇත්තේ මහවැලි ගංඟාවේ ඉවුර ආසන්නයේය. ගංවතුර පිටාර ගැලීමෙන් ගම්මානයේ නිවාස ගණනාවක් ජලයෙන් යටවී එම නිවාසවලට ද දැඩි හානි විය. උස් භූමිවල පිහිටි නිවාස ආසන්නයට ජලය ආවත් එම නිවාසවලට හානියක්  සිදු නොවීය. අඩි තුන හතර උසට පිරි තිබු ජලය බැස ගිය පසු අඩියකට වැඩි ගණකමකින් යුතුව පිරි තිබු රොන් මඩ ඉවත් කිරිමටත් බිත්ති හා මේස පුටු සේදීමටත් ගැමියන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය. 


ජල ගැල්මෙන් මෙසේ විපතට පත් ජනතාවට විවිධ ආකාරයේ ආධාර උපකාර කිරිමට දකුණු පළාතේ සිට වැල නොකැඩි ආධාර රැගත් වෑන් සහ ලොරි රථ අදාළ ගම්මානවලට පැමිණ රැගෙන ආ ආහාර ද්‍රව්‍ය හා වෙනත් දෑ එම ගැමියන්ට බෙදා දෙනු ලැබුවේ ගමේ කිසිදු නායකත්වයක් හෝ වෙනත් ක්‍රමවේදයක් නොමැතිවමය.
මේ ගැමියාට එම ආධාර බඩු මලු නොලැබුණේ ඔහුගේ නිවසට හානියක් නොවු නිසා බව කියයි. සිව් දෙනෙකුගෙන් සමන්විත තම පවුලට බඩු මලු‍ නොලැබිම නිසා උරණ වු ගෘහණිය සිය සැමියාට ඇවිටිලි කළේ කෙසේ හෝ තම නිවසටත් බඩු මල්ලක් දෙකක් ඇතුළු අනෙකුත් දෑ රැගෙන එන ලෙසය.
දස අතේ කල්පනා කරමින් සිටින විටදි ඔහුට උපක්‍රමයක් සිතට ආවේය. සිය පිරිමි දරුවන් දෙදෙනා සහ බිරිඳට කතා කර රාත‍්‍රි කාලයේ අසල පිහිටි කුඹුරකට ගොස් බාල්දි කීපයකට මඩ වතුර රැගෙන විත් නිවසේ ගෙබිම පුරා විසුරුවා හැර පුටු මේස ඇතුළු වෙනත් ගෘහ උපකරණවලට බොර ජලය ඉස අඩි දෙක තුනක් උසට වන්නට බිත්තිවලත් ජලය තවරනු ලැබීය.
පසු දින ඔහු ගමේ ස්වේජ්ජා සංවිධාන නායකයකු වෙත ගොස් පැමිණිලි කර සිටියේ තම නිවසට ගං වතුරෙන් හානි වුවත් කිසිදු සහනාධාරයක් නොලැබුණු හෙයින් තමන්ටත් රජයෙන් හෝ වෙනත් ආයතනවලින් දෙනු ලබන ආධාර ලබා දෙන ලෙසයි.
මෙම පැමිණිල්ල සටහන් කරගත් ඔහු ගමේ තරුණයන් කීප දෙනෙකු සමඟ අදාළ ගැමියාගේ නිවසට ආපදාව පරික්ෂා කර බැලීමට යන විට ගැමියා සහ ඔහුගේ බිරිඳ එක්ව නිවසේ ගෙබිමේ ඇති රොන් මඩ ඉවත් කරමින් සිටින බව දැක ගන්නට ලැබී තිබේ. මෙය පුදුමයට කරුණක් බව ඔවුන්ට අවබෝධ වුයේ උස් බිමක පිහිටි මේ ඉඩමට කිසි ලෙසකින් වත් ගංවතුර පැමිණිමට ඉඩක් නොමැති බවයි. ගෙවත්ත හා අවට පරීක්ෂා කිරිමේදි ද ඔවුන්ට ගංවතුරක් එම නිවසට ආ බවට කිසිදු සලකුණක් ගෙවත්තේ නොපෙනෙන බවත් මෙය ආධාර අපේක්ෂාවෙන් මොහු කළ වංචනික ක්‍රියාවක් බවත් පරික්ෂණ කණ්ඩායමට වැටහුණි.
‘කමක් නෑ මෙයා යම් ආධාරයක් අපේක්ෂාවෙන්නේ මේ වංචනික වැඩේ කළේ. ඒ නිසා අපි ළඟ ඉතිරිවෙලා තියෙන බඩු මල්ලක් දෙකක් මෙයාගේ හිත සනසන්නට දෙමු.” යැයි කණ්ඩායම් නායකයා සෙසු පිරිසට පවසා එදින සවස ඔහුට ආහාර බඩු මලු‍ දෙකක් හා වෙනත් ද්‍රව්‍ය කීපයක් ලබා දි තිබේ.
බඩු මලු‍ ගන්නට කළ කපටි ක්‍රියාව මේ වෙන විට ගමපුරා පැතිර ගොස් ඇති නිසා ඔහු හෝ බිරිඳ මේ දිනවල නිවසෙන් පිටට යනුයේ සවස් යාමයේ බව ද ගම්මු පවසති.

 



අදහස් (2)

ආපදා ආධාර ගන්න රොන්මඩ ගෙනත් දාලා

පැරකුම් Tuesday, 30 December 2025 11:20 AM

සත්‍ය සිද්ධියක් නොවුනත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සුළුතරයක් මේ ගණයට වැටෙන බව සැබෑවකි. මෙවැන්නන් නිසා බහුතරයට සිදුවන හානිය සුලුපටු නොවේ.

:       0       0

fairoos Tuesday, 30 December 2025 07:12 PM

වැඩේ කැතයි. ඒ වුණාට අනිත් තැන් යටවුණු නිසා එයාලටත් ආධාර දෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site