IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


තෙවැනි කාර්තුවේදී බැංකු අංශයේ වත්කම්වල සියයට 15.6 ක වර්ධනයක්

  • බැංකු අංශයේ වගකීම්ද රු.බි. 22,208.8ක් දක්වා සියයට15.1කින් ඉහළට 
  • අක්‍රිය ණය අනුපාතය සියයට 11.2ක් දක්වා අඩු වීමක් 
  • බැංකු මගින් දේපළ වෙළෙඳාම් අංශයට ලබාදුන් ණයෙහි සියයට 16.7ක වර්ධනයක් 
  • බැංකු අංශයේ බදු පසු ලාබයේ වටිනාකම රුපියල් බිලියන 279.1ක් 
  • 2024 තෙවැනි කාර්තුව හා සැසඳීමේදී බැංකු අංශයේ ද්‍රවශීලතාවේ අඩුවීමක් 

භානුක අමරසිංහ 

මෙම වසරේ තෙවැනි කාර්තුව වනවිට මෙරට බැංකු සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 24,501.5ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 තෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 21,200.6ක වත්කම් හා සැසඳීමේදී සියයට 15.6ක වර්ධනයකි. 

මෙහිදී මූලිකවම ණය සහ ලැබීම්හි සිදු වූ සියයට 16.9ක වර්ධනය ඊට හේතුව වී ඇත. එසේම බැංකු අංශය වෙත සිදුකළ ආයෝජනද සියයට 18.9කින් ඉහළ යාම මෙලෙස වත්කම් වර්ධනය සඳහා හේතු වී තිබෙන බව 2025 තුන්වැනි කාර්තුව සඳහා වන මූල්‍ය සාධනීය දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව සඳහන් කරයි. 

මේ අතර බැංකු සතු සමස්ත වගකීම්ද (කොටස් හැර) රුපියල් බිලියන 22,208.8ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 තෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 19,303.1 හා සැසඳීමේදී සියයට 15.1ක වර්ධනයකි. 

“මෙහිදී පෙර වසරට සාපේක්ෂව මේ වසරේ තෙවැනි කාර්තුවේදී තැන්පතු තුළ සිදු වුණු සියයට 13.4ක වර්ධනය මෙන්ම ණය ගැනීම්හි සිදු වුණු සියයට 25.2ක වර්ධනයද හේතුවක් වී තිබෙනවා.“ වාර්තාව පවසයි. 

මේ අතර 2025 තෙවැනි කාර්තුව වනවිට බැංකු අංශය තුළ නියාමන ප්‍රාග්ධනයද රුපියල් බිලියන 2,070.5ක් දක්වා සියයට 18.4ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 

වාර්තාවට අනුව 2025 තෙවැනි කාර්තුව වනවිට බැංකු අංශයේ අක්‍රිය ණය අනුපාතයද සියයට 11.2ක් දක්වා අඩු වී තිබේ. 2024 තෙවැනි කාර්තුවේදී එය සියයට12.4ක පැවතුනි. ඒ අනුව මෙය පෙර වසර හා සැසඳීමේදී බැංකු අංශයේ අවදානම් යම් තරමකින් අඩුවීමක් ලෙසද මහ බැංකුව පවසයි. 

එසේම බැංකු මගින් දේපළ වෙළෙඳාම් අංශය වෙත ලබාදුන් ණයෙහි වටිනාකම 2025 තෙවැනි කාර්තුව වනවිට රුපියල් බිලියන 1,805.2ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 තෙවැනි කාර්තුවේදී ලබාදුන් රුපියල් බිලියන 1,547.2ක ණය හා සැසඳීමේදී සියයට16.7ක වර්ධනයකි. එහිදී අදාළ කාලසීමාවේදී දේපළ වෙළෙඳාම් අංශය සතුව පවතින අක්‍රිය ණය ප්‍රමාණයද 1.9කින් ඉහළ ගොස් තිබේ. 

මේ අතර 2025 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ පළමු මාස නවයක කාලය තුළදී බැංකු අංශය වාර්තා කර ඇති බදු පසු ලාබයේ වටිනාකම රුපියල් බිලියන 279.1කි. එය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් බිලියන 180.3 හා සැසඳීමේදී සියයට 54.8ක වර්ධනයකි. 

එසේම බදු පෙර ලාබයද රුපියල් බිලියන 286.3ක සිට රුපියල් බිලියන 434.3ක් දක්වා සියයට 51.7 කින් ඉහළ ගොස් තිබේ. මෙම අවස්ථා සඳහා මූලිකම ශුද්ධ පොලී ආදායම්වල සිදු වූ සියයට 21.8ක වර්ධනය හේතුව වී තිබෙන බව වාර්තාව පවසයි. 

කෙසේ වෙතත් 2024 තෙවැනි කාර්තුව හා සැසඳීමේදී 2025 තෙවැනි කාර්තුවේදී බැංකු අංශය සතු ද්‍රවශීලතාවේ අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව රුපියල් වටිනාකම් සහ සියලු‍ මුදල් ඒකක අනුව වන ද්‍රවශීලතා අනුපාත මෙන්ම ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතයද සියයට 165.3ක සිට සියයට 159.4ක් දක්වා පහත වැටී තිබේ. 

මේ අතර 2024 වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2025 තෙවැනි කාර්තුවේදී බැංකු අංශය මගින් සිදු කළ විදේශ මුදල් මෙහෙයුම් හි මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. 

ඒ අනුව විදේශ මුදල් ණය සහ ලැබීම් එ.ජනපද ඩොලර් මිලියන 7,698.4ක සිට 9,135.4ක් දක්වා සියයට 18.7ක වර්ධනයක් හිමි කරගෙන තිබේ. එහෙත් විදේශ මුදල් ආයෝජන ඩොලර් මිලියන සියයට 2.5කින් සහ විදේශ මුදල් ණය ගැනීම් සියයට 3.1කින් අඩු වී තිබෙන බවත් මෙම වාර්තාව පවසයි.

 

 



අදහස් (0)

තෙවැනි කාර්තුවේදී බැංකු අංශයේ වත්කම්වල සියයට 15.6 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site