(නිමල කොඩිතුවක්කු)
උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය.
එමෙන්ම සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප‍්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම බද්ද පළමු ලක්ෂ දෙකහමාර සඳහා සියයට හයකුත් ඉන්පසු වැඩිවන සෑම ලක්ෂ දෙකහමාරක් සඳහා සීයයට 12, සීයයට 18 දක්වා වැඩිවනු ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී ඔහු මේ බව පැවැසීය.
පොරොන්දු වූ පරිදි බදු සහන ලබාදීම රජය පළමුවෙන්ම සඳහන් කළ බවත් කී අමාත්‍යවරයා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබාදීමට නව රජය සැලසුම් කර ඇති බවත් කීය.
බදු ආදායමෙන් අහිමිවන මුදල් ලබා ගැනීම සඳහා රජය සුලසුම් සකස් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලයේ සිට පහළට ගලායන පරිදී විශාල ලෙස වියදම් කප්පාදුවක් සිදු කර ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
කොහොමත් දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්. අපේ රට දියුණු කරන්න පුළුවන් කෘෂිකර්මාන්තයෙන් සහ සංචාරක කර්මාන්තයෙන් බව. විදේශ රැකියා මගිනුත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. අපේ රටේ කර්මාන්ත නිෂ්පාදන සහ සේවා අංශ වලින් දියුණුවක් කරා යන්න බැහැ. මොකද ලොකුම හේතුව තමයි අපේ වෘත්තිය සමිති සමග වැඩ කරන්න කිසිම රටක මොලයක් තියෙන ආයෝජකයෝ එන්නේ නැහැ. දේශීය ආයෝජකයෝ උනත් විදේශීය වෙළඳ පොළ සමග තරඟයක් දෙන්න බැහැ මේ වෘත්තිය සමිති ප්‍රශ්න තියෙන නිසා .
බදු අඩු කිරීම බදු ගෙවන අයට හොඳය. නමුත් අඩු කළ බද්ද වෙනත් මාර්ගයකින් පෙරටත් වඩා වැඩි බද්දක් ලෙස නැවත අයකර ගැනීමට බලාපොරොත්තු වෙන බව මේ ප්‍රකාශය පරීක්ෂාවෙන් කියවන විට පැහැදිලි වෙනවා.
ස්තුතියි මහත්වරුනි, දැන් අපිට යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන්
අපනයන ගැන හිතන්න ඉස්සරවෙලා විදේශ රටවල් එක්ක හොඳින් ඉන්නයි, මේ රටේ විරුද්ධ පක්ෂිකයාට හිරිහැර කරන්නයි යන්න එපා. ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියන මානසිකත්වය නැතිකරගන්න.
ඇත්තටම මෙතෙක් ඉතිහාසයේ හොඳම බදු ප්‍රතිපත්තිය මෙයයි. ව්‍යාපාරයක් කරගන්න බෑ බදු, සල්ලි පොතක දාලා තියන්න බෑ. බදු, එෆ්.ඩී. එකටත් බදු, දුක් මහන්සියෙන් රටවල නැහිලා එවන ගාණටත් බදු. කිසිම දෙයක් කරගන්න බැරුව වස ටිකක් බීලා මැරෙන්න විතරක් ඉතුරුකරලා තිබුණු කාලකණ්ණි පාලනයක් නිමාකිරීම ගැන අවංකවම ස්තුති වෙමු. අනිවාර්යයෙන්ම අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුමයි..
සුභදායී යමක් සිදුවෙමින් පවතින බව පේනවා. මෙම ඉලක්ක සපුරා ගැනීමට සියලු දෙනා අවංකව කැපවීමත් අවශ්‍යයි. විශේෂයෙන්ම ඇමතිවරු තමන්ගේ සුඛවිහරණය නොව රට ගැන සිතිය යුතුයි.
ඊට පස්සේ හැමෝටම ආදායම් බදු ලිපි ගොනුවක් බැගින් විවෘත කරමු. බලාගෙන ඉන්නකෝ මහා මැතිවරනෙන් පස්සේ තමයි එළිපිට නැටුම් බලන්න වෙන්නේ.
පෙර දවස රු. 50,000 ට 4% ගෙවූ අපි දැන් රු. 20,000 ට 4% ගෙවිය යුතුද?
හංස ප්‍රතිචාර ගණන් ගන්න එපා. මේක ඔවුන්ට තේරුම්ගත නොහැකි වෙනස් ප්‍රවේශයක්... එකම අරමුණ නැවත ව්‍යාපාර සක්‍රීය කිරීමයි.
ඊ ළඟ ඡන්දය එනකම් ඉන්න. ඉන්පසු ඒ අය ඉදිරියට නොපවත්වාවි...
ඡන්දය දුන්නු අයට විතරක් මේ සහන දෙන්න විදියක් නැත්ද?
අපේ රටේ මිනිස්සුන්ටත් නිකම් දෙනවා කිව්වා නම් ඕනෑම දෙයක් කරයි. මේවා දෙන්නේ කොහොමද කියලා බලන්නේ නෑ. අපේම බදු සල්ලි මේ දෙනවා කියන්නේ. මොකද මන්ත්‍රී, ඇමති පඩි අඩු කරලද? නෑනේ. නැත්නම් ඉතින් පහුගිය කාලේ හොරකම් කරපු සල්ලි අපහු දෙන්න ඇති. මොකද අපේ රටේ තණතීරු වලට අවම හොරකම් කරපු සල්ලි ගෙවන්න ඕන නෑනේ.
මං හිතන හැටියට දියුණු රටවල හැම පුරවැසියාටම බදු අංකයක් තියෙනවා. සතපහක් හම්බකළත් බදුගෙවන්න ඕනෑ. අැන්.ඇම්. පෙරේරා මුදල් ඇමැතිකාලේ සියලුම රජයේ සේවකයෝ බදු ගෙව්වා. රජයේ ආදායම බොහොම ඉහළ ගියා. නමුත් අකාර්යක්ෂම පාලකයන් ඒකෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. බදු සහන දීම හොඳයි. නමුත් සංවර්ධනය අඩාල කරමින්, සුබසාධනය සඳහාම මුල් තැනදීම දේශපාලනික වශයෙන් වාසි වුණත් රටක් වශයෙන් නම් හොඳයි කියල හිතන්නේ නෑ. කළයුත්තේ රට සංවර්ධනය කර එයින් ලැබෙන ප්‍රතිලාභ සමස්ත රටවැසියාටම ලබාදීමයි.
ධනාත්මකව හිතන්න. කරන හැමදේකම වැරදී හොයනවට වැඩිය හොඳයි, අපි අපේ නායකයන්ට ආශීර්වාද කරනෙක මේ රට නැවත නගාහිටවන්න