(විමුක්ති එස් රුද්‍රිගූ)

ෆේස්බුක් මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.

මූලික තොරතුරු අනුව, ඉන්දියාවේ සිටින සංවිධානාත්මක කණ්ඩායමක් මෙම වංචාව සිදු කරන බව එම සංසදය සඳහන් කළේය.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් මැසෙන්ජර් හෝ ටෙලිග්‍රෑම් හරහා, මෙම වංචනික කණ්ඩායම පුද්ගලයන් ඉලක්ක කරන බවත් හසුවන පුද්ගලයන් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් සඳහා යොමු කරගෙන ක්‍රමක්‍රමයෙන් නුසුදුසු ආකාරයෙන් කැමරාව ඉදිරියේ පෙනී සිටීමට පොළඹවා ගන්නා බවත් එම සංසදය කීවේය.

ඉන් අනතුරුව එම වීඩියෝ ඇමතුම් හෝ පණිවුඩවල පිටපත් ලබාගෙන ඒවා පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ මිතුරන් වෙත යවන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටින බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේය.

මෙම වංචනික කණ්ඩායම පුද්ගලයෙකු ඉලක්ක කිරීමට ප්‍රථමයෙන් ඔහුගේ හෝ ඇයගේ නෑදෑ හිතමිතුරන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හිතවත්වන බවද එම සංසදය පැවසුවේය.

මෙවැනි වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගිය මැයි මාසයේදීද ජනතාව දැනුවත් කර තිබිණි.