(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පහළ උසාවි වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කෙරිණ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත් මෙසේ ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුවේ. ඉන්පසු ඕනෑම පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සතියක දෙකක කාලයක් හිමි වෙයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාග කර දින 03ත් 21ත් අතර කාලය තුළ සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්පත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මහාධිකරණ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ලබන මස අග පැවැත්වීමට නියමිතය.