(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමට හැකි වන පරිදි එකී පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් මාරු කර ඉන් අනතුරුව සාධාරණ කාලසීමාවක් තුළ ඊට අනුරූප හා ගැළපෙන භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැන්නක් සිදු කිරීමත් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකිය හැකි ආකාරයේ නෛතික ප්‍රතිපාදන දැනට පවතින විදේශ විනිමය පනතේ ඇතුළත් නොවේ.

එබැවින්, විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නියෝග උල්ලංඝනය කරමින් සිදු කෙරෙන එවැනි ක්‍රියාවන් වැළැක්වීම සඳහා විදේශ විනිමය පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.