
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026-07-22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත්කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
*වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් වී මෙට්‍රික්ටොන් 30,000ක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කිරීම.
*වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත් කර කිලෝග්‍රෑම් 5, කිලෝග්‍රෑම් 10, කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින්, වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් වෙතින් අභිලාෂ කැඳවීම.
*2025-12-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වී අලෙවි මණ්ඩලය, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විතව පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් වී, සහල් බවට පරිවර්තන අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීම.
*ඉහත පරිදි නිෂ්පාදනය කරනු ලබන සහල් සීමාසහිත ලංකා සතොස, සමූපකාර ජාලය සහ පුද්ගලික පාර්ශ්වයන් මඟින් වෙළෙඳ පොළට නිකුත් කිරීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd