
(අංජුල මහික වීරරත්න)
යම් තීරණාත්මක කාරණයක් සම්බන්ධයෙන් වන ලියවිල්ලක " සුදුසු කටයුතු පිණිස" යනුවෙන් සඳහන් කර පහළ නිලධාරියෙක්ට යවා වගකීමෙන් ගැලවෙන්නට ඉහළ රාජ්‍ය නිලධාරීන්ට නොහැකි යැයි හේමසිරි-පූජිත් නඩු තීන්දුව කදිමට කියාදෙන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹදී පැවසීය.
රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සහ වග වීම මින් ඉදිරියට මීටත් වඩා තීව්‍ර විය හැකි බවද දිලී පීරිස් මහතා එහිදී කීය.
එෆ්.සී.අයි.ඩී එන ලිපි ගොනු බොහොමයක අදාල තීරණ ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරියා විසින් බව කී දිලීප පීරිස් මහතා කිසිම දේශපාලනඥයෙක් තම සටහනක් එම ලේඛන වල නොතැබීමට ප්‍රවේශම් වී තිබෙන බව ද පැවසීය.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ බව කීවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය රචනා කළ "නිරිසන් නීති කතන්දර" නැමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී දෙසුමක් කරමිනි.ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී මෙම උත්සවය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලීප පීරිස් මහතා මෙසේද කීය.
1993 වසරේ මමත් අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාරත් වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියක් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පළමු වසර සඳහා පැමිණෙන විට යා යුතු ඉදිරි මාර්ගය කුමක්දැයි දැනගෙන හිටියේ නැහැ.එවකට ලංකාවට තිබුණේ එක නීති පීඨයක් පමණයි.ඊට ගත්තේ ශිෂ්‍යයන් 260යි.කොළඹින් ශිෂ්‍යයන් 25ක් පමණ සිටියා.අනිත් අය ඔක්කොම ගම් වලින් පැමිණි සහෘදයන්.බොහෝ අය හිතාගෙන හිටියේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිඥයෙක් වශයෙන් ඔවුන් එළියට යනවා කියලයි.වෘත්තීයට පිවිසෙන්න නම් නීති විද්‍යාලය කියා එකක් තියෙනවා යැයි ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ.ශ්‍රී ලංකා නීති විද්‍යාලය තියෙන්නේ කොහේදැයි අපේ එදා හිටපු සමහර සහෘදයන් දැනගෙන හිටියේ නැහැ.එතකොට ඔවුන් අධිකරණයක් දැකලා තිබුණේ නෑ.මගේ පියා නීති ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා මම නම් අධිකරණය දැකලා තිබුණා.
ඒ නිසා ගොඩක් සහෘදයන්ට මේ ක්ෂේත්‍රය ගැන කියා දෙන්නට සිදුවූයේ මටයි.ඔවුන් වෘත්තියට පිවිසෙන්න පෙර ජ්‍යෙෂ්ඨයෙක් හොයාගන්නේ කෙසේද?නීති විද්‍යාලයේ විභාග කරන්නේ කෙසේද?ආදී ප්‍රශ්න තිබුනා. මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර වගේ අය උගන්නපු නීතිය නෙවෙයි අධිකරණයේ තියෙන්නේ.ඒ සම්ප්‍රදායන් සහ ක්‍රියා කලාපයන් අපි ඉගෙන ගන්නේ කොහොමද?ගමකින් එන නීතිඥයෙක්ට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගේ සහාය ලබා ගන්නේ කෙසේද?ඔහු වෘත්තියක් ගොඩනඟා ගන්නේ කෙසේද? නීතිය පිළිබඳව අප සවිඥානික ද? අපේ අධ්‍යාපනයේ නීතිය කියන විෂය තිබෙන්නේ කොතැනද?අලුතින් අපොස උසස් පෙළට මාධ්‍ය යන විෂය පවා තිබෙනවා.නමුත් නීතිය කියන විෂයක් අප ඉගෙන ගන්නේ කොහෙන්ද?අප නීතිය ගැන දැනුවත් වන්නේ කුමන අදියරේදීද?
අපට තිබෙන මූලික අයිතිවාසිකම් මොනවාද? අපරාධමය සිද්ධියකදී අපට පිළිසරණය තිබෙන්නේ කොහේද?ග්‍රාමීය දරුවෙක්ට ඒවා කියලා දෙන්නේ කවුද?
මෙතන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. හොරකමක් කියන්නේ කුමක්දැයි මම ඇහුවොත් ඔබ කියන්නේ කුමක්ද?වෙන කෙනෙක්ගේ දෙයක් අරගැනීම යැයි ඔබ සිතනවා නම් සොරකම කියන්නේ ඒකම නෙමෙයි.යමෙකුගේ භාරයේ තිබෙන චංචල දේපලක් ඉවත් කිරීම යනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ සොරකම අර්ථ දක්වා තිබෙනවා.
ඒ කියන්නේ මෙතන තිබෙන මයික්‍රෝෆෝනය මම මෙතන යටින් තැබුවොත් සොරකම සංස්ථාපනය වෙනවා.මොකද මම මේ මයික්‍රොපෝනය මෙතනින් ඉවත් කරන්නේ වංක චේතනාවෙන් වන නිසා.එය මගේ ස්වාමිත්වයට ගැනීමටම අවශ්‍ය නැහැ.
එතනින් ඔබ්බට ගොස් බලෙන් ලබා ගැනීම කියා වරදක් තිබෙනවා.372 වගන්තියේ ඒ ගැන කතා කරනවා.ඒ කියන්නේ කාගේ හෝ ස්වාමිත්වයේ තිබෙන දෙයක් තර්ජනයෙන් හෝ අඩන්තේට්ටමක් මගින් තමන්ගේ ස්වාමිත්වයට ගැනීමයි.
තුන්වැනිව කොල්ලකෑම කියා වරදක් ගැන දණ්ඩ නීති සංග්‍රහයේ කතා වෙනවා.කොල්ලකෑම නිසා ප්‍රචණ්ඩත්වයක් හැදෙනවා.සාපරාධී බලහත්කාරයක් පානවා. කොල්ලකෑම නමැති වරද තුළ බලෙන් ලබා ගැනීම මෙන්ම සොරකම යන වරදත් අන්තර්ගතයි.
වාර්තාකරණයේදී දෙයක් කොල්ල කෑවා සොරකම් කළා යන වචන යෙදෙන විදිය වැරදියි.මේ ආකාරයට අපේ සරල වැරදි ගැනවත් අපට අවබෝධයක් තිබෙනවාද? කුඩා දැරියක් මහ මඟ ගමන් කරමින් සිටිනවා යැයි සිතමු.යමකු ඇවිත් ඒ දැරිය ස්පර්ශ කරනවා.මේ කළ ක්‍රියාව හොඳ ක්‍රියාවක් නොවන බව දැරිය දන්නවා.ඇය පොලිසියකට යනවා.පොලිසියේ ළමුන් සහ කාන්තාවන් භාර අංශයක් තිබෙනවා.එහෙම අංශයක් තිබෙනවා යැයි දරුවා දන්නවාද? නැහැ.දරුවා මුලින්ම පොලිසියේ පිළිගැනීමේ නිලධාරියා ළඟටත් ඉන් අනතුරු ස්ථානාධිපති ළඟටත් යනවා.මේ වරද තීරණය කරන්නේ කවුද?ඒ වරද තීරණය කරන්නේ එහි ඉන්න පොලිස් නිලධාරියෙක්.ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපති නැතිනම් එතැන සිටින සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් ඒ වරද තීරණය කරනවා.විමර්ශනය කරලා පසුව නීතිපතිට යවා මහාධිකරණ නඩුවක් දක්වා ගෙන යන්නේ ඒ තීරණය කළ වරදයි.
මේ ක්‍රියාවලිය තුළ දැනුවත් විය යුත්තේ කවුරුන්ද?සමස්ත සමාජයම ඒ නීති ක්‍රියාවලිය ගැන දැනුවත් විය යුතුයි.
දේශපාලනය කරන්නට දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යනවා.ඒ යන්නේ රටට නීති හදන්න.ඒ අය එලෙස හදන නීති සමාජයට සන්නිවේදනය වෙනවාද?මෙතන සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමන්ලා එතුමන්ලාගේ නඩු තීන්දු මගින් නීතිය වර්ණවත් කරනවා. නමුත් ඒ තීන්දු ගැන හරියට සන්නිවේදනය වෙනවාද?
අපේ ක්‍රියාවලියේ යම් ගැටලුවක් තිබෙනවා.ලංකාවේ ඉහළම අධිකරණ වලින් අලුත් නීති හැදෙනවා.අලුත් නීති සංකල්ප බිහිවෙනවා.නමුත් ඒවා තියෙන්නේ ඉංග්‍රීසියෙන්.අම්පාරේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක්ට ඒ නෛතික සංකල්පය තේරුම් ගන්න පුළුවන්ද? ඔහුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණොත් ගන්න පුළුවන් ප්‍රතිකර්මය ගැන ඉහළම අධිකරණය තීරණය කර තිබේයැයි ඔහු දැනුවත්ද?මාධ්‍යයේ ඒ ගැන පළ වෙනවාද? එහෙම අවස්ථා හරි විරලයි.
නීතිය ජනතාවට සන්නිවේදනය වීමේ බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව මගේ පෞද්ගලික මතයයි.සරල කාරණයක සිට ඉහළම අධිකරණයකින් විනිශ්චිත නෛතික සංකල්පයක් පවා සමාජයට සන්නිවේදනය වන්නේ නැහැ.නීතීඥ ප්‍රජාව තුළ පවා එය සන්නිවේදනය වන්නේ යම්කිසි මට්ටමකට පමණයි.
නීති කථා නැමැති මෙම ග්‍රන්ථයේ එවැනි පොඩි කතන්දර 52ක් අන්තර්ගත කර තිබෙනවා.මෙය පරිපාලන නිලධාරීන් පමණක් නොව නීති ශිෂ්‍යයන්ද කියැවිය යුතු පොතක්. සමහර අධිකරණවලට ගිය විට රාජ්‍ය සේවකයන් විත්ති කූඩුවලට නගින අයුරු අප දකිනවා.සමහර පාර්ශවයන් විසින් ඔවුන්ට පෞද්ගලිකව නඩු පවරා තිබෙනවා.රජයේ නිලධාරියකුට තමාගේ රාජකාරී වපසරිය හා සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් අපරාධ චෝදනාවක් ගොනු කරන්න බැහැ. එය ගොඩක් අය දන්නේ නැහැ.එලෙස නඩුවක් ගොනු කරන්න පුළුවන්. එහෙත් ඒ නිලධාරියා කටයුතු කර ඇත්තේ රාජකාරි පරිසරය තුළ නම් තමාට මෙලෙස නඩුවක් පවරා ඇතැයි ද ඊට පෙනී සිටින්නැයිද නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඔබ කරපු රාජකාරී කටයුත්තකට පොලිසිය විසින් නඩුවක් පැවරුවා යැයි අප සිතමු.එහෙම වුනොත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපි ඒ නඩුව බාරගන්නවා.අපි අධ්‍යයනයක් කරලා ඒ කටයුත්ත කරනවා.
සිවිල් නඩුවලදී නොතීසියක් නිකුත් කරනවා.එවිට ඔබ රජයේ සහාය ඉල්ලනවා.ඒ කියන්නේ ඔබේ නඩුව රජය බාරගන්නවා.ඒ සරල කාරණා පවා සමහර රාජ්‍ය නිලධාරීන් දන්නේ නැහැ.ඒ බව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවාද යන්න ලේකම්වරුන් අමාත්‍යවරුන් තීරණය කළ යුතුයි.
මීට සති දෙකකට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්ච සභාවක් විසින් නඩු තීන්දුවක් ලබා දුන්නා.මේ නඩු තීන්දුවේ සුවිශේෂීත්වයක් තිබෙනවා.ඒ විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ලයි.එවැනි නඩුවක් ගොනු කළේ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.නීති විරෝධී නොකර හැරීමකට අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් හිටපු පොලිස්පතිවරයාටත් අපි අධි චෝදනා 855 ගොනු කළා.ඒ මියගිය පුද්ගලයන් සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන්. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයේ ගොනුකරන ලද පළමු නඩුව මෙයයි.ඔවුන් කළ නීති විරෝධී නොකර හැරීමෙන් අපරාධයක් කරන්න ඉඩ සැලැස්සුවා යන චෝදනාව මත නඩු පවරා තිබෙනවා.අප එයින් ඉල්ලා සිටියේ මරණ දඬුවමයි.
මේ නඩුවේදී රාජ්‍ය සේවකයන්ගේ කාර්යයක් සම්බන්ධයෙන් ප්‍රශ්න ගත වුණා.
මෙහි හිටපු පොලිස්පතිවරයාගේ පැමිණිල්ල මෙහෙයවූයේ මමයි.
ඒ අනුව තොරතුරක් එන්නේ හතරවෙනිදා.ඒ හතරවෙනිදා එන තොරතුර රාජ්‍ය බුද්ධි ප්‍රධානී විසින් ලිඛිතවම 2019 අප්‍රේල් 9 වැනිදා ඔහුට සන්නිවේදනය කරනවා.එම පණිවිඩය පොලිස්පතිවරයා පාර්ශව හතරකට යවනවා.නමුත් ඔහු දාන්නේ එක සටහනයි."එෆ්.එන්.ඒ" යනුවෙන් එහි සටහන් කර තිබෙනවා.එනම් සුදුසු කටයුතු පිණිස යනුවෙනි. එෆ්.එන්.ඒ කියන්නේ රාජ්‍ය සේවයේ අපි ඉතා ප්‍රිය කරන වචනයක්.අපි හැමවෙලේම ඒ වචනය දාලා කනිෂ්ඨ නිලධාරීන්ට යවන අවස්ථා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාක්කි දීමට හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැමිණියා.මම ඔහුගේ සාක්කියෙන් කොටසක් ඔබට කියවන්නම්. " ලිපි ගනුදෙනු හුවමාරු ක්‍රම සම්බන්ධයෙන් ඒ කියන්නෙ පරිපාලන ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කළා.උපදෙස් පත්‍රිකාවක් නිකුත් කළා.එසේ කළේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙන්නයි.සුදුසු කටයුතු සඳහා හෙවත් එෆ්.එන්.ඒ කියා අප බහුලව පාවිච්චි කරන ක්‍රමයක් තිබෙනවා.මේක ඉතාමත් ප්‍රශ්නකාරී සටහනක්.රාජ්‍ය සේවකයෝ මේ සුදුසු කටයුතු සඳහා කියන එකෙන් අදහස් කරන්නේ එදිනෙදා දෛනිකව සිදුවන වැඩිපුර අධ්‍යයනයක් සිදු නොවිය යුතු ලිපි ගොනු සඳහා මෙය යොදවනවා කියන එකයි.
නමුත් පොලිස්පතිවරයකු විසින් සුදුසු කටයුතු සඳහා යනුවෙන් යොමු කළ විට ඔහු සෑම විටම දැනගත යුතු දෙයක් තිබෙනවා.ඒ ලිපිය ලැබෙන පුද්ගලයා පොලිස්පතිවරයෙක් නොවේ.ඔහු කල්පනා කරන්නේ ඔහුගේ දැනුම පලපුරුද්ද සහ ඒ කාලයේ තිබෙන වාතාවරණය අනුවයි.
පොලිස්පතිවරු ගොඩක් වෙලාවට එෆ් එන්.ඒ කියලා යවන්නේ එකක් පොලිස්පතිවරයාගේ කාලය ඒ තරම් අවශ්‍ය නැති දෙයක් කියන එකයි.ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිසා නිලධාරියෙක්ට තමන් කැමති පියවරක් ගැනීමට යවනවා"
ඒක තමයි සී.ඩී වික්‍රමරත්න මහතා දීපු සාක්කිය. එෆ්.එන්.ඒ කියලා මීට පසු රාජ්‍ය නිලධාරීන් කාට හෝ යොමු කරනවා නම් එය සම්පූර්ණයෙන්ම නතර කරන්න කාලය පැමිණ තිබෙනවා.ඔබ එය යවන කනිෂ්ඨ නිලධාරීන්ට නිශ්චිත මඟ පෙන්වීමක් දිය යුතුයි.මෙය අදාළ වන්නේ තීරණාත්මක කාරණයක් සඳහා පමණයි.මා මේ කියන්නේ සාමාන්‍ය ලියවිල්ලක් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය නොවේ.
අධිකරණය කියන්නේ කුමක්ද? මේ අනුව එෆ්. එන්.ඒ යනුවෙන් භාවිත කරන්නේ විශේෂ අවධානය යොමු කළ යුතු නැති පහළ නිලධාරියෙකුගේ අභිමතය ක්‍රියාත්මක කිරීම සඳහා පමණි.
එසේ නම් ඔබ එෆ්.එන්.ඒ යනුවෙන් සඳහන් කර යම් ලියවිල්ලක් පහළ නිලධාරීන්ට කටයුතු කරන්න දෙනවා නම් එය නොකර හැරීමෙන් යම් අපරාධයක් සිදු වුවහොත් එහි වගකීම එන්නේ ඔබටයි.නීති විරෝධී නොකර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් වන අපි වග වෙන්න අවශ්‍යයි.ඒ වගකීම සහ වග වීම ඉදිරියේදී මීටත් වඩා තීව්‍ර වෙන්න පුළුවන්. මම එෆ්.සී.අයි.ඩී නැමැති ආයතනයක් බාරව සිටිනවා.බරපතළ මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත අංශයක්. දේශපාලනඥයන් විසින් විවිධ කාලවකවානු වල කළ වංචා සහ දූෂණ අපරාධ චෝදනා මෙහි විමර්ශනයට පැමිණෙනවා.කොටසක් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යනවා.අනෙක් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කර නීතිපති උපදෙස් සඳහා යනවා.ඒ ගොනුවල තිබෙන ප්‍රධාන කාරණයක් වන්නේ තීරණ ගැනීමේ කටයුතු බොහොමයක් කර තිබෙන්නේ රාජ්‍ය නිලධාරී විසින්.කිසිම දේශපාලනඥයෙක් තමන්ගේ සටහනක් හෝ එම ලේඛන වල නොතබන්න ප්‍රවේසම් වෙලා තිබෙනවා.
එතකොට රාජ්‍ය නිලධාරීන් වන ඔබ කළ යුත්තේ කුමක්ද? අමාත්‍යංශ ලේකම්වරුන් අතිරේක ලේකම්වරුන් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් කර තිබෙන්නේ" ඒ" "බී" ආදී පුද්ගලයන් විසින් තමාට එම උපදෙස ලබා දුන් බවයි.තමා එවැනි උපදෙසක් නොදුන් බව දේශපාලනඥයා කියනවා.ඔබට නීති විරෝධී නියෝගයක් දෙනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගත යුත්තේ රාජ්‍ය නිලධාරියා.එසේ නම් ඔබ ඒ නියෝගය ලැබුණේ කාගෙන්ද කියා සටහන් කරන්න කිසිම පැකිලීමක් ඇති කරගන්න එපා.යනුවෙන්ද දිලීප පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd