(අංජුල මහික වීරරත්න)

මින්නේරිය සහ කවුඩුල්ල උද්‍යානයන් වල සංචාරකයින් රැඳී සිටිය යුතු අවම කාලසීමාවක් නියම කිරීමට තීරණය වී තිබේ.

ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සේවාවන් කාර්යක්ෂම කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම පිළිබඳ විමසා බැලීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මින්නේරිය, කවුඩුල්ල, හුරුලු ජාතික උද්‍යාන වල කළ නිරීක්ෂණ චාරිකාවකදී මේ කරුණු අනාවරණය කෙරිණි.

මින්නේරිය කවුඩුල්ල උද්‍යාන වලට දිනකට ජීප් රථ 400-600 කට ආසන්න විශාල සංඛ්‍යාවක් ඇතුළු වීමෙන් වනජීවීන්ට සහ පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම සඳහා, විශේෂඥ කණ්ඩායමක් මඟින් විද්‍යාත්මක ධාරණ ධාරිතා (Carrying Capacity) අධ්‍යයනයක් කඩිනමින් සිදු කිරීම සඳහාත් ගමනාගමන පාලනය සඳහා මින්නේරිය උද්‍යානයට ඇතුලු වීමට සීගිරිය-පේක්කුලම ආශ්‍රිතව නව පිවිසුමක් ඇති කිරීමටත් මෙහිදි අවධානය යොමු විය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයට පස්වරු 2.00ට පසුව ඇතුළු වන වාහන බටුඔය පිටවීම හරහා යොමු කර තදබදය අවම කිරීම පිළිබඳ මෙහි දී විශේෂයෙන් කරුණු සාකච්ඡා කෙරිණ. ඩිජිටල්කරණය සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා මින්නේරිය සහ කවුඩුල්ල උද්‍යාන සඳහා එක් ස්ථානයකින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෙන්ම, Hurulu Eco Park සඳහා ද නගරාසන්නව ක්‍රියාත්මක වන පරිදි නව Online Ticketing පද්ධතියක් හඳුන්වා දීමට ඉදිරියේ දී කටයුතු කෙරෙන බව පරිසර අමාත්‍යංශය කියයි.