(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද(8) ආරම්භ කෙරිණි.

මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජාතික බාලදක්ෂ කර ලේන්සුව පළඳවා පිළිගැනීම සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කීවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව ස්තුති වන බවයි.

බාලදක්ෂ සේවා සැපයීම හුදෙක් අරමුදල් රැස් කිරීමේ අරමුණින් සිදුකරන කාර්යයක් නොවන බව සඳහන් කළ ඒ මහතා, වැඩිහිටියන් තමන් වෙනුවෙන් දරන ශ්‍රමයේ වටිනාකම කුඩා අවධියේ සිටම දරුවන්ට ප්‍රායෝගිකව අවබෝධ කරදීම තුළින් සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම්වල ප්‍රධාන අරමුණක් බවද පැවසීය.

උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දිවයින පුරා විහිදී සිටින සාමාජිකයන්ගෙන් සමන්විත බාලදක්ෂ ව්‍යාපාරයට රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව සිදු කළ හැකි කාර්යයන් පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව කීය.