(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බන්ධනාගාරවල මතුව ඇති ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

බන්ධනාගාර තුනක ඇතිවී තිබෙන ගැටුම් සම්බන්ධයෙන් මේ සභාව දැනුවත් කරන ලෙස අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

බන්ධනාගාර ඇමතිතුමා මේ සිද්ධීන් ගැන මේ සභාව දැනුවත් කිරීම වැදගත්. ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධියක් වෙලා මරණයක් වාර්තා වෙලා තියෙනවා. අද කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක් වාර්තා වෙනවා. ඒ වගේම අද පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේත් කලබලයක් ඇතිවෙලා තියෙනවා. අධිකරණ ඇමතිතුමා මෙතනට ඇවිල්ලා ඒ සිදුවීම් ගැන මේ සභාව දැනුවත් කළ යුතුයි.

ඇත්ත වශයෙන්ම මේක බරපතළ තත්වයක්. මේක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්. අපි බන්ධනාගාර ඇමතිට විශ්වාසභංගයක් ගෙනාවා. ඔබතුමාලා දින්නා කියලා ඕල්වරසන් දුන්නා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර, මැගසින්, කුරුවිට, පල්ලන්සේන බන්ධනාගාරවල ගැටුම් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඔබ තුමන්ලා දැඩි පියවර ගන්න ඕන. කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ අපි අනුමත කරන්නේ නෑ. මේ ප්‍රශ්නය ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙන නිසා වහා විසඳුමක් ලබාදෙන්න.