(අංජුල මහික වීරරත්න)

මීගමු බන්ධනාගාරයේ සිද්ධිය ශ්‍රී ලංකා නීතිය හා ජාත්‍යන්තර නීතිය යටතේ ඉතාමත් උග්‍ර අපරාධයක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය.

බන්ධනාගාර ඇමතිවරයා වහා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවද පීරිස් මහතා කීය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා මෙසේද පැවැසීය.

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඉතාමත් බරපතළ තත්ත්වයක්. ඊයේ රෑ වනවිට මරණ 26ක් වාර්තා වුණා. ඒ 26න් හතක්ම රජයේ නිලධාරීන්. ඒ කියන්නේ, බන්ධනාගාරයේ නියාමක නිලධාරීන්.

මෙය ශ්‍රී ලංකා නීතිය හා ජාත්‍යන්තර නීතිය යටතේ ඉතාමත් උග්‍ර අපරාධයක්.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා. ජාත්‍යන්තර නීතියේ ශ්‍රී ලංකාව අත්සන් කරලා තිබෙන, වගකීම භාරගන්න ජාත්‍යන්තර සම්මුති හතරකට මේ සිද්ධිය සම්පූර්ණයෙන් පටහැනියි.

ජාත්‍යන්තර නීතිය, ඒ තලයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, රැඳවියන්ට සැලකීම පිළිබඳ අවම නීතී ප්‍රමිතිය, ඒක හඳුන්වා දෙන්නේ නෙල්සන් මැන්ඩෙලා නීතිය හැටියට, වධහිංසා හා කෘර ලෙස සැලකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. මේ සියල්ලක්ම අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා ⁣යනුවෙන් ද අමාත්‍යවරයා කීය.