(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රාග්ධනය රටින් එළියට ගලා යාමට පනවා තිබූ සීමා රටේ ආර්ථිකයේ ප්‍රසාරණයත් සමඟ ක්‍රමානුකූලව ලිහිල් කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ අංක 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක්, විදේශ විනිමය පනත යටතේ අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"රටක් ආර්ථික වශයෙන් ස්ථාවර කරගෙන යන විට දේශීය වශයෙන් ආදායම් කළමනාකරණය කර ගැනීම වැදගත් වෙනවා වගේම බාහිර අංශයේ ස්ථාවරත්වය ද ඉතා වැදගත්. රට අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී විදේශ විනිමය ගනුදෙනු වලදී යම් සීමාවන් පනවා තිබුණා.සමහර සීමා ජංගම ගනුදෙනුවලටත් පැනවී තිබුණා.වාහන ආනයනය වගේ දේවල් නැවතිලා තිබුණේ.වාසික තැනැත්තකු විසින් ප්‍රාග්ධන වියදම් එළියට ගෙන යාමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් රෙගුලාසිය මෙන්ම ශ්‍රී ලාංකිකයෙක් වෙනත් රටක පුරවැසි භාවය ලබා ගැනීම වැනි තත්ත්වයකදී වන එලියට ගලාගෙන යාම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා පියවරෙන් පියවර නිදහස් කිරීම කළ යුතුව තිබෙනවා.මේ සීමා අඩු කර තිබෙන්නේ ආයෝජන පුළුල් කර ගැනීමේ අදහසින්.ආර්ථිකයක් ප්‍රසාරණය වන විට අදාළ නිදහස් කිරීම් කළ යුතු වෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.