
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක පසු වුව ද, ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණය විය. එසේ වුව ද, එය විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය පහත වැටීමක් නොව, ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනයත් සමඟ ඇති වූ තත්වයක් බව නිලධාරීහු පැහැදිලි කළහ.
විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ සරසවි ආචාර්යවරුන් ලෝකයේ කුමන රටක සිටියද එම රටවල සිට ඔවුන් මෙරට සිසුන්ගේ ඉගැන්වීම් මෙන්ම පර්යේෂණ කටයුතුවලට අන්තර්ජාලය ඔස්සේ දායක කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) අවධානය යොමුවී අැත
මේ අතර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ අයගෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය අැදුරන්ගෙන් 2025 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 20කට වැඩි මුදලක් අයකර ගෙන ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.
එසේම, මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මැදිහත්ව සෑම රජයේ විශ්වවිද්‍යාලයකටම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන, මූල්‍ය සහ ඩිජිටල් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳවද එම විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳවද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු කෙරිණ.
ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය, ඩිජිටල් පද්ධති කළමනාකරණය, විනය පරීක්ෂණ, විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් සහ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක පසු වුව ද, ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව කාරක සභාව හමුවේ අනාවරණය විය. එසේ වුව ද, එය විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය පහත වැටීමක් නොව, ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනයත් සමඟ ඇති වූ තත්වයක් බව නිලධාරීහු පැහැදිලි කළහ.
විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පද්ධති සහ දත්ත කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. ERP පද්ධතියේ ස්ථාවර වත්කම් මොඩියුලය ක්‍රියාත්මක කිරීමේදී සේවාදායක ධාරිතාව ප්‍රමාණවත් නොවීම, තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟය, පෞද්ගලික අංශය හා සසඳන විට පවතින වැටුප් විෂමතා හේතුවෙන් දක්ෂ තාක්ෂණික නිලධාරීන් රඳවා ගැනීමේ අපහසුව, පද්ධති යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් සහ වසර ගණනාවක් අවසන් නොකළ මෘදුකාංග ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
පද්ධති නඩත්තු කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුළම ස්ථිර හා විශේෂඥ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව අවධාරණය කළේය.
විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ද කාරක සභාව දැඩි අවධානය යොමු කළ අතර, ඇතැම් විනය ක්‍රියාමාර්ග වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, නීතිමය සහ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් ආයතනයට මූල්‍ය හා පරිපාලනමය අහිතකර බලපෑම් ඇති වී තිබීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එවැනි කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
අවසානයේදී, විශ්වවිද්‍යාලයේ පාලනය, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විගණන නිර්දේශ සහ කාරක සභාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන එම්. කේ. එම්. අස්ලම් සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd