නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලෙන්නට ගිය  කුඩා දරුවන් දෙදෙනකු  නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකය මඟින්  නිරුපද්‍රිතව බේරා ගත්තේය.

ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නාවිකයන් විසින් මෙම අනතුර නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව එම ඒකකයට අයත් කණ්ඩායමක් කඩිනමින් අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟා වී දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනා මුදා ගෙන ඇත.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 13 අතර පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ජීවිතාරක්ෂක රාජකාරි හා හදිසි මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටින අතර, මෙවැනි හදිසි අවස්ථාවලදී ක්ෂණිකව මැදිහත්වෙමින් ජන ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබයි.