(අංජුල මහික වීරරත්න)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ වන විට ආරම්භ කර ඇති සියලු ව්‍යාපෘති නිසි කාලයේ අවසන් කිරීමට උපරිමයෙන් කැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 

නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ රජයේ කාර්යභාරය සහ සීමාවන් නිසි ලෙස හඳුනා ගතයුතු බවද ජනාධිපතිවරයාා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අයවැය පූර්ව සාකච්ඡාවේදීය.

ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ එක් එක් අංශ විසින් සහ ඒ යටතේ පවතින ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව විමසා බැලිණි.

දඹුල්ල, ඉංගිරිය, වාලච්චේන, මිල්ලනිය සහ කටුනායක ආදී ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර ඉඩම් වෙන් කර ගැනීම මෙන්ම විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේදී මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡා විය.