(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කටාන  දාගොන්න ප්‍රදේශයේදී​ අද අලුයම 01:45 ට පමණ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කළ තරුණයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව කටාන පොලිසිය පවසයි.

බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක යතුරුපැදිය ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුව, දාගොන්න පාර,  පදිංචිව සිටි 18 හැවිරිදි තලිශ නිම්නෙත් සිරිවර්ධන සහ දාගොන්න, මීගමුව පාර,  පදිංචිව සිටි 19 හැවිරිදි  කවිදු හශාන් සෝමතිලක නමැති තරුණයන් දෙදෙනාය.

​අනතුරත් සමඟ කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් අනතුරට හේතු වූ කන්ටේනර් රථයට ගිනි තබා ඇති අතර, එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මීගමුව නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

පසුව  එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කර තත්ත්වය සමනය කිරීමට පොලිස් නිලධාරීන් මැදිහත් වී පියවර ගෙන තිබේ.