(මනෝප්‍රිය ගුණසේකර)

දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙනා බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා දී රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවේ අධි චෝදනා පත්‍ර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාට බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඔහු ඇප මත මුදාහැරීමටද අද (02) නියම කළේය.

දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජයෙන් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වු එක්තරා අපේක්‍ෂකයකුට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා හැර ඇති බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණීල්ලකට අනුව කළ විමර්ශන වලින් අනතුරුව අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් ‘දුෂණය’ නමැති වරද යටතේ විත්තිකරුට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ මෙලෙස නඩු පවරා ඇත.

බඩ ඉරිඟු බීජ සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් විත්තිකරු කර ඇති ක්‍රියාවන්ට අල්ලස් පනතේ 70 වගන්තියේ සඳහන් ‘දුෂණය’ නමැති වරද යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවටද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා නඟා ඇත.