
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.
www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ මෙම රැකියා සදහා අයැදුම්කිරීමට අවස්ථාව හිමිවේ.
අවන්හල් ක්ෂේත්රය සදහා 2026 අගෝස්තු මස 10 වන දින ප.ව 12.00ට අයදුම්කරුවන් 4000ක් ලියාපදිංචි කිරීම සඳහා වෙබ් ද්වාරය විවෘත කරන අතර වයස අවුරුදු 25-40 ත් අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැකිය. ආපනශාලා ක්ෂේත්රයට අදාළව අවම වශයෙන් ආපන ශාලා මුලුතැන්ගෙහි වසරක පමණ සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර, මීට ඉහත ඊශ්‍රායලයේ සේවය කර නොමැති මෙන්ම දෙමාපියන්, බිරිඳ හා දරුවන් ඊශ්‍රායලයේ සේවය නොකරන පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
එසේම අයදුම්කරුවන් වසර 8ක පාසල් අධ්‍යාපනය සපුරා තිබීම අනිවාර්ය වන අතර, ඉංග්‍රිසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගත හැකි ලෙස මනා ඉංග්‍රිසි දැනුමක් තිබිය යුතුය. ශාරීරික හා මානසික නිරෝගිභාවයෙන් යුතු, බර ඉසිලීම, දිගු වේලාවක් සිටගෙන වැඩකිරීම, මුළුතැන්ගෙහි උපකරණ අතින් සේදීම වැනි කාර්යයන් සඳහා හැකියාව තිබිය යුතු අතර, ආහාර හා පිරිසිදු කිරීමේ ද්‍රව්‍යවලින් ඇතිවන ආසාත්මිකතා වලින් තොරවිය යුතුය.
ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්රය යටතේ පොටි ඇඳීම හා ජිප්සම් බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම හා වෙන් කිරීම (Putty & Gypsum work), විදුලි පේනු සඳහා පෙට්ටි සවිකිරීම හා බ්ලොක්ගල් බිත්ති බැඳීම (Sunk box & block stone building work), කපරාරු වැඩ (Plastering work), සෙරමික් ටයිල් වැඩ (Ceramic tiling work) යන ක්ෂේත්‍ර 4 සඳහා එක් ක්ෂේත්රයකට අයදුම්කරුවන් 3,000ක් බැගින් අයදුම්කරුවන් 12,000 ක් ලියාපදිංචි කිරීමට කටයුතු සලසා ඇත. එම රැකියාවලට අදාළ වෙබ් ද්වාරය 2026.08.10 දින ප.ව 2.00 ට විවෘත කිරීමට නියමිතය.
වයස අවුරුදු 25-45 ත් අතර, වෘත්තියට අදාළ මනා සුදුසුකම් සපුරා ඇති හා මීට ඉහත ඊශ්‍රායලයේ සේවය කර නොමැති මෙන්ම දෙමාපියන්, බිරිඳ හා දරුවන් ඊශ්‍රායලයේ සේවය නොකරන පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය. එසේම අයදුම්කරුවන් වසර 10ක පාසල් අධ්‍යාපනය සපුරා තිබීම අනිවාර්ය වන අතර, මූලික මට්ටමේ ඉංග්‍රිසි දැනුමක් තිබිය යුතුය.
එසේම මීට පෙර ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයේ රැකියා සඳහා අයදුම්කර අවසන් පරීක්ෂණයෙන් අසමත්වූ ශ්‍රමිකයින්ට යළි අයදුම්කිරීමට නොහැකි අතර, ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයේ රැකියා කාණ්ඩ 4ට අදාළව සුදුසුකම් සපුරා ඇති ඊශ්‍රායලයේ වෙනත් ක්ෂේත්රවල රැකියා සඳහා අයදුම්කළ පුද්ගලයින්ටද මේ සඳහා අයදුම්කිරීමට කාර්යාංශය විසින් අවස්ථාව සලසා ඇත.
ඉහත රැකියා කාණ්ඩවලට අදාළව ශ්‍රමිකයින් තෝරාගැනීමේදී පළපුරුද්ද පරික්ෂා කරනු ලබන්නේ සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයින් විසින් වන බැවින් තමන්ට මනා වෘත්තීය හැකියාව ඇති රැකියා ක්ෂේත්රය සඳහා පමණක් අයදුම්කරන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ට උපදෙස් ලබාදෙයි.
මීට පෙර මෙම ක්ෂේත්රයට අදාළව වෙබ් ද්වාරය විවෘත කළ නමුත් නිසි පළපුරුද්ද නොමැති හා සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින්ද මෙම රැකියා සඳහා අයදුම්කිරීම හේතුවෙන් නියමිත රැකියා කෝටාව සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ අතර, එම නිසා තමන්ට සුදුසුකම් හා පළපුරුද්ද ඇති රැකියා ක්ෂේත්රයට අදාළව පමණක් වෙබ් ද්වාරය හරහා ලියාපදිංචිය ලබාගන්නා ලෙස කාර්යාංශය ඊශ්‍රායල් රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd