(දමිත් වික්‍රමසේකර සහ විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්ධන මෙරටට ආනයනය කිරීමට යන පිරිවැය සමාලෝචනයට ලක් කර නව ඉන්ධන සහනාධාරයක් හෝ ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස ඉදිරියේදී රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අප පුවත්පතට පසුගියදා ප්‍රකාශ කළේය.

ලෝක බොරතෙල් වෙළෙඳපොළේ පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා වැය වන මුදල සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය. සමාලෝචනයෙන් පසුව බලශක්ති අමාත්‍යාංශය, මීට පෙර ලබාදී අත් හිටවූ කෝටි 1500ක ඉන්ධන සහනාධාරය නැවතත් ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් එසේ නැතිනම් පාඩුව පියවා ගැනීමට ගාස්තු සංශෝධනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අවසන් වරට මාසික ඉන්ධන මිල සංශෝධනය ජුනි මාසයේදී සිදුකර එය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කළ බවත්, මෙම මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකළ බවත් ඔහු පවසා ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල මේ වනවිට ඉහළ යමින් පවතින බවත් යුද්ධය ආරම්භ වීමත් සමග ඉන්ධන මිල සියයට 48 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්ය. යුද්ධය හේතුවෙන් ගෙවීමට සිදුවන රක්ෂණ වාරික සහ ප්‍රවාහන ගාස්තුද ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවැසුවේය.

ඉන්දියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව ඇතුළු රටවල සැපයුම්කරුවන්ගෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබාගන්නා නමුත්, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යෑම තවදුරටත් සැලකිලිමත් විය යුතු කරුණක් බවද ඔහු පවසා ඇත.