(යොහාන් භාසුර)

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් සමස්ත පාසල් පද්ධතියම අඩපණ වී තිබුණි.

පාසල්වලට දරුවන් නොපැමිණීමෙන් පාසල් පාළුවට ගොස් තිබූ ආකාරය දැකගත හැකිවිය. වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා සමස්ත රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු සමස්ත කාර්ය අකර්මණ්‍ය විය.

කෙසේ වෙතත් ප්‍රතිකාර ගැනීමට රෝගීන් නොපැමිණීම හේතුවෙන් රෝහල් පාළුවට ගොස් තිබුණි.

දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවතිය ද මගීන්ගේ පහසුව සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. අද පස්වරුවේ ද දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් කීය.

වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තිය සාමාජිකයන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රීයේ වර්ජනය අවසන් කර ආණ්ඩුවට දින 7 ක කාලයක් දෙන බවත් ඒ අනුව ලබන 21 වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)


(ඡායාරූප: ශාන්ත රත්නායක)

(තිලකරත්න දිසානායක)