IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පිපුණු මලේ රුව එමල දනීදෝ

ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ කරුණ රසයෙන් අප හද තුළ භයකම්පා උපදවයි.

ධනබල,නිලබල,කුලමල යනාදී අනේකවිධ කොටුපවුරුවලින් පීඩිතයා වෙන් කරනු ලැබ සිටියි.මෙනයින් පන්ති සමාජය තුළ දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනිය.ඇත්තෝ කති.බොති.අහස් මාලිග තනාගෙන සුරසැප විඳිති.නැත්තෝ හාමතේ හූල්ලති.වැළපෙති.කටුමැටි පිලක,පොල්අතු පැලක ජීවිතය දිය කර හරිති.එහෙත් අටලෝ දහම අවබෝධ කර ගත්තෝ සියල්ල විඳ දරා ගෙන දැහැමින්,සෙමෙන් අකම්පිතව සුජීවත් වෙති.භෞතික සම්පත් තනිපංගලමෙි භුක්ති විඳින්නෝ සමාජ දරිද්‍රතාව තුරන් කිරීමට අබමල් රේණුවක උනන්දුවක්,උත්සාහයක් නොගනිති.ඔවුහු දොඩම් ගොඩ බදාගත් අයුරින් මුදල් අට්ටි ගසති.මෙි නිසා පීඩිත පන්තියේ අසරණයෝ නිතර තමන් නොලද සම්පත් ගැන සිහින මවති.ඇතැම් මවුපියෝ තම දරුවන්ට දිය නොහැකි සැප සම්පත් ගැන සිතමින් පසුතැවෙති.ළතැවෙති.සිහින මාලිගා තනති. එහෙත් ඒ සිහින බිඳී ගොස් ශෝකයෙන් කෙළවර වෙයි.පසුතැවිල්ල පමණක් ඉතිරි වෙයි.

බටහිර රටවල මෙන් නොව ආසියාතික රටවල නිවෙසක දියණියක වුව හොත් ඇයට කනකර ආයිත්තම් ,අගනා සළුපිළි ආදිය සපයා දිය යුතුය.පුරුෂෝත්මවාදය රජයන ලංකාව වැනි රටක යටකී කාර්ය බොහෝවිට පැවරෙන්නේ ගෙදර ගෘහමූලිකයාටය.එහෙත් නිසැමි මවකට දියණියකගේ එකී වගකීම් පැවරුන හොත් ඇය කෙසේ නම් එය ඉටුකරන්නද?තතු මෙසේ වන හෙයින් පියා නැති තන්හි කනකර පාළුවූ දුවක දක්නා මව තුළ බලවත් සිත් පීඩාවක් ඇතිවීම අරුමයක් නොවේ.ලූෂන් බුලත්සිංහලයන් මෙි ගීතයෙන් පරමාර්ශන කරන්නේ කනකර පාළුවට ගිය දුප්පත් දැරියකගේ මනෝභාවය යි.මෙකී මනෝභාවය කෙරෙන් මවක තුළ උපදින දාරක ප්‍රේමය රචකයා අපූරු චිත්ත රූප පෙළකට නගයි.පන්ති සමාජයේ දරිද්‍රතාව මිනිස් ජීවිතයට මෙි සා කම්පනයක් ඇති කළ හැකිද? මෙහිදී තරුණිය තම රූප සම්පත්තිය දැක ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන්නීය.වීදුරු කැඩපත මව විසින් බිම දැමු පසු ඇය⁣ට තම ප්‍රතිබිම්බය දැකීමට විකල්ප ක්‍රම සෙවීමට සිදුවෙයි.කටුමැටි බිතු මත ඇඳෙන සෙවණැල්ලෙන් තම රුව දැකීමට යත්න දැරීම, ළිඳේ පෑදිදිය මතින් වත කමල බැලීම වැනි දෑ යටකී උපක්‍රමවලට නිදසුන් නොවෙිද?එහෙත් තම දියණියගේ බොළඳ,අහිංසක ප්‍රයත්න මවට ගෙන දෙන්නේ දැඩි චිත්ත පීඩවකි.තම තරුණ දියණියගේ කෙළිලොල් හැසිරීම් රටාව මවට නොරුස්සන්නේ නැතිබැරිකම නිසාමය.ඇය ඒ පිළිබඳ කනස්සල්ලෙන් පසුවන්නීය.කලාකෘති සැමවිටම අකාලික නොවෙි.අදේශීය ද නොවෙි.ඇතැම් විට එය සාපේක්ෂ ව කාලීන වන්නට ද පුළුවන.එහෙත් මෙබඳු නිර්මාණ සර්වකාලීන,සදාකාලික,සනාථන,සහේතුක ගීමිණි නොවෙිද?අන්‍ය කලාදේශයක පවා මෙබඳු නිර්මාණ නීරස වෙි යැයි කිව නොහැකිය.ජීවවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක හේතු නිසා ද මව ද දරුවන් ද අතර දෘඨතර බැම්මක් පවතී.දුවට මවක මිස යැයි කියමනක් ද තිබෙි.එබැවින් සැමියා නැති නිවෙසක දුවක සිටින මවකට දැරිය නොහැකි බර ද දුක ද අසීමිත වෙි.

 

පිපුණු මලේ රුව එමල දනීදෝ

මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා

හැඩ රුව බලන්නෙපා

 

නැති බැරිකම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි

නුඹ අත කරලන දා

 

මලක් කෙතරම් පියකරු ද සුගන්ධයෙන් පිරිපුන් ද කාන්තාව ද එබඳුය. ස්ත්‍රී රූප සෞන්දර්ය පිළිබඳ කවියෝ නිතර උදම් අනති.මෙනයින් ලියක රුව මහිම තරම් පුරුෂයාගේ නෙත්සිත් වශී කරන අන්‍ය සෞන්දර්යයක් ලොව නැතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.මල යනු සොබාදහමේ මනරම් නිර්මාණයකි.මෙි නිර්මාණය තුළ විවිධ වර්ණ ගන්ධ හැඩ පැහැ ඉතා අපුරුවට සංකලනය වී ඇත.මෙහිදී රචකයා තරුණ දියණියකගේ රුව වැනීමට යටකී මලක සුන්දරත්වය උපමාවට ගෙන ඇත.මලක් සදිසි තරුණියක තම රුව මහිම කැඩපතකින් බැලීම නුනුවණ ක්‍රියාවක් බව මෙි ගීතයේ කථකාව වන මව තම දියණියට පවසන්නීය.ඇය පවසන්නේ කාන්තාවක සතු ⁣ස්වාභාවික ලස්සන නිතර දැකීමට කැඩපත වෙහෙසීම නිෂ්ළුල ක්‍රියාවක් බවය.එහෙත් මව මෙබඳු ප්‍රකාශයක් කරන්නේ එකී හේතුව නිසා ම නොවෙි.දියණියගේ කනකර පාළුය.මාල,කරාබු පළඳවන්න තරම් වත්පොහොසත්කමක් තමන් සතුව නැති බැවින් මෙි කථකාව තම දියණිය එබඳු රැවටිලි බසකින් සනහාලීමට යත්න දරන්නීය.දුප්පත්කමින් මිරිකී සිටින මවක් තම දියණියට කනකර ආයිත්තම් අගනා සළුපිළි ,රසමසවුලු කෙසේ නම් දෙන්නද?එහෙත් මෙහිදී ඇය තම දියණිය වෙනුවෙන් හිතේ ගුලිකර ගෙන සිටින බලාපොරොත්තු අත්නොහරින්නීය.කවදා හෝ දවසක දියණිය දීගෙක යද්දී මෙි නැතිබැරිකම් තුරන්වන බවට දැඩි විශ්වාසයක් ඇය සතුව පවතින්නීය.මුතුමාල හතක් පළඳින්නේ කාන්තාව දීගෙක යනවිටදීය.මෙනයින් පොහොසත් ගුණවත් මනාලයකු පැමිණ තම දියණිය කැන්දාගෙන යාවි යැයි ඇයට සිතෙයි.මෙි නම් දුප්පතා සතු අහිංසක සිතුවිල්ලක් ම නොවෙි ද? එහෙත් සියලු දුප්පතුන්ට එබඳු සොඳුරු කලදසාවක් උදාවෙිවිද?

 

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ

නොතළන් සිත මා ආදර දියණියනේ

ආදර දියණියනේ

 

පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ

 

තම දියණිය වතෙහි රූසිරි බැලීමට විවිධ උපක්‍රම අත්හදා බලන බව මවට පෙනෙයි.කටුමැටි බිත්තිය දෙස බලා ඇය රැ හෙවණැල්ලෙන් කෙස් කලඹ පීරන විට මවගේ සිත වාවාගත නොහැකි දුකකින් පිරී යයි.මෙි කථකාව තම දියණියගෙන් ඉල්ලා සිටින්නේ තම සිත තැවුලට පත් නොකර එබඳු නිරර්ථක උත්සාහයන්ගෙන් වැළකී සිටින ලෙසයි.අවසානයේ ඇය දියණියගේ පාළු කනට අතනොගැටෙන්නට නිවසේ තිබුණු එකම වීදුරු කැඩපත ද කුඩුකර දමන්නීය.එහෙත් දියණිය තම ප්‍රතිබිම්බය දැකීමට ඇති නොතිත් ආශාව ඉන් යටපත්කර නොගන්නීය.ඇය දිගින් දිගටම තම රූප සෞන්දර්ය විනිවිද දැකීමට වෙහෙසෙන්නීය.ගීතයේ අවසාන අන්තරා කොටසෙන් එය මොනවට පැහැදිලි වෙි.

 

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතළන් සිත මා ආදර දියණියනේ

ආදර දියණියනේ

 

පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ

 

උදෑසන හිරු මුදුන් වීමට පෙර පෑදිදිය ඔස්සේ තම වත කමල දැක ගැනීමට ඇය ළිඳට එබී බලන්නීය.මෙි දසුන දකින මවගේ සිතට ගෙන දෙන්නේ ඉවසුම් නොදෙන වෙිදනාවකි.තම දියණියගේ හැසිරීම් රටාව ඇයට මහත් වදයකි.පීඩාවකි.දුප්පත්කමින් පීඩිත තම සිත තව තවත් පෑරීමට දියණිය ගන්නා බොළඳ අහිංසක උත්සාහය ඇය වෙිදනාවෙන් විඳදරා ගන්නීය.එහෙත් නිවසේ විවිධ තැන්වලට ගොස් තම රූප සම්පත්තිය දැකීමට දියණිය ගන්නා ප්‍රයත්න ඇගේ හද දවයි.මෙහිදී ලූෂන් බුලත්සිංහල නමැති චිත්ත රූපික ගේය පද සිත්තරා භාවිත කරන ව්‍යංග්‍යාර්ථ උපමා රූපක,ධ්වනිතාර්ථ කෙතරම් රමණීය ද?මෙි වූකලි කතා කරන චිත්ත රූප ගොන්නකි.මුළු ගීතය ම සොඳුරු කාව්‍යෝක්තියකි.මෙලෙස බලන කල මෙි ගීමිණ කරුණ රසයෙන් අප හද තෙත් කරයි.තම දියණියන්ට පළඳවන්නට කනකර ආයිත්තම් අගනා සළුපිළි නැති මෙවැනි අම්මාවරු ලොව කොතෙක් සිටිත්ද?

 



අදහස් (0)

පිපුණු මලේ රුව එමල දනීදෝ

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සොඬින් නෙළුම් මල ගෙනියන
2024 අප්‍රේල් මස 23 72 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද අතුල අදිකාරිගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන් ද යුතු මෙි ගීතය වත්මන් කාන්තා


කවුරුවත් නෑ
2024 අප්‍රේල් මස 16 80 0

හේමසිරි කුලතුංගයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිස්ගේ කර්ණරසායන ස්වර මාධූර්යෙන් ද ප්‍රේමසිරි කේමදාාසයන්ගේ මියුරු මියැසියෙන් ද සු


පැණි කුරුල්ලනේ
2024 අප්‍රේල් මස 07 216 0

ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝ


නින්ද නැති රැයේ
2024 අප්‍රේල් මස 01 276 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප


කුඩාගමෙි මද්දහනේ
2024 මාර්තු මස 25 357 0

ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂ


වියෝ වූ පසුවයි දැනෙන්නේ
2024 මාර්තු මස 18 462 0

බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1581 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site