යල හා මහ ලෙස ලංකාවේ වී වගා කරන කන්න දෙකකි. ඒ කන්න දෙකේ සමස්ත වී අස්වැන්නෙන් පහෙන් තුනකට අධික ප්‍රමාණයක් ලැබෙන්නේ මහ කන්නයේදීය. යල් කන්නයේදී ලැබෙන්නේ සමස්ත අස්වැන්නෙන් පහෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකි. දැන් මේ ගතවෙමින් පවතින්නේ මහ කන්නයේ අස්වනු ලැබෙමින් පවතින සමයයි. ඒ සමයේදී වෙළෙඳ පොළේ හාල් හිඟයක් ඇතිවිය නොහැකිය.

එහෙත් දැන් වෙළෙඳ පොළේ හාල් හිඟයක් පවතී. එය විය හැකි දෙයක්දැයි අප විමසුවේ බතලගොඩ පිහිටි වී පර්ෙ‌ය්ෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතාගෙනි. මේ අපගේ විමසුම සම්බන්ධයෙන් ඒ මහතා කළ විග්‍රහයයි.

පසුගිය 2019/ 20 මහ කන්නයේදී වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 7,52,247 කි. ඉන් ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.19 කි. 2020 යල් කන්නයේදී ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.84 කි. ඒ දෙකෙහි එකතුව මෙට්‍රික් ටොන් මිලියන 5.03 කි. මා මේ කියන්නේ රටේ නිල සංඛ්‍යා ලේඛන වන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තය. ඒ සමස්ත අස්වැන්නෙන් ඉතා සුළු ප්‍රමාණයක් බීජ වී සඳහා වෙන් වෙයි. සාමාන්‍යයෙන් බීජ වී ලෙස ගන්නේ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 102 කි. ඒ අනුව බීජ වී ලෙස යොදාගන්නේ ලොකු ප්‍රමාණයක් නොවේ. එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට එකකටත් අඩුය.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි. ලංකාවේ එක් පුද්ගලයකු වසරකට පරිභෝජනය කරන හාල් ප්‍රමාණය කිලෝ 107 කි. ඒ අනුව 2020 වසරේදී ලැබුණු අස්වැන්නේ තිබෙන්නේ අතිරික්තයකි. ඒ වී ප්‍රමාණය වසරේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය. ඒ ලැබුණු අස්වැන්න මාස 17 කට ප්‍රමාණවත් බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මතයයි. ඒ අනුව 2020 දී ලැබුණු වී අස්වැන්න 2021 මැයි මාසය දක්වා ප්‍රමාණවත්ය. එහෙත් දැන් අප මේ සිටින්නේ 2021 මාර්තු මාසයේය. දැන් ඉහත කී 2020 අතිරික්ත වී නිෂ්පාදනය අතරට 2020/ 21 මහ කන්නය හෙවත් මෙවර මහ කන්නයේ අස්වැන්නද ලැබෙමින් පවතී. එසේ නම් හාල් හිඟයක් ඇතිවන්නේ කෙසේද?

2020 වී නිෂ්පාදනය 2017දී නිෂ්පාදනය කළ ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩිය. 2017 දී නිෂ්පාදනය කළ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.38 කි. එහෙත් 2020 සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.03 කි. 2017 සිට 2020 දක්වා වූ කාලයේදී වැඩිම වී අස්වැන්නක් ලැබී තිබෙන්නේ 2020 දීය. ඒ වසරේදී ලැබුණු වී අස්වැන්න වසරේ අවශ්‍යතාවට වඩා වැඩිය. 2020/ 21 මහ කන්නය හෙවත් දැන් අස්වනු නෙළමින් පවතින මෙවර මහ කන්නයේදී වර්ෂාවද ප්‍රමාණවත් ලෙස ලැබිණි. විශාල භූමි ප්‍රදේශයක වී ද වගා කෙරිණි. මේ කන්නයේදී අස්වැන්න අඩුවීමට බලපාන මහා ගැටලුවක් හෝ උවදුරු ද වාර්තා නොවීය. මෙවර මහ කන්නයේද ඇතැම් දිස්ත්‍රික්කවල අස්වැන්න අඩු වූ අතර ඇතැම් දිස්ත්‍රික්කවලින් ලැබෙන අස්වැන්න වැඩි විය.

කුරුණෑගල අස්වැන්න වැඩි වූ දිස්ත්‍රික්කයකට උදාහණයකි. අනුරාධපුර, අස්වැන්න අඩු වූ දිස්ත්‍රික්කයකට උදාහරණයකි. එහෙත් ඒ අඩු වැඩිවීම් සමස්ත අස්වැන්න අඩුවීමට හේතු නොවීය. මෙවර මහ කන්නයේ සමස්ත අස්වැන්න පිළිබඳ නිල තොරතුරු තවමත් ප්‍රකාශයට පත්වී නැත. එහෙත් සංඛ්‍යා ලේඛන හා කෘෂිකර්ම දෙපාර්මේන්තුවල උපකල්පනය වී තිබෙන්නේ මෙවර එනම් 2020/ 21 මහ කන්නයේදී පසුගිය එනම් 2019/ 20 මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්නට සමාන හෝ ඊට වැඩි අස්වැන්නක් ලැබෙන බවය. පසුගිය මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.19 කි. එලෙස දැනට අප අතේ තිබෙන තොරතුරු දෙස බැලූවිට වී අස්වැන්නේ අඩුවක් තිබෙන බවක් අපට නොපෙනෙයි.

යාපනය හා කිලිනොච්චි වැනි දිස්ත්‍රික්කවලින්ද මෙවර මහ කන්නයේදී අස්වැන්න අඩුවූ බවත් මටද වාර්තා විය. ඊට හේතුවී ඇත්තේ වී වගාවට අවශ්‍ය තරමට ආලෝකය නොලැබීමය. ගොයමේ මල් පිපෙන කාලයේදී ඒ මල් හේදී යන තරමට ඒ ප්‍රදේශවලට වැසි වැසීම ඊට හේතු විය. ඒ නිසා ඒ ප්‍රදේශවල අස්වැන්න යම් ප්‍රමාණයකින් අඩුවූ බව මගේ නිරීක්ෂණවලට ද හසුවිය. එහෙත් පෙබරවාරි හා මාර්තු මාසවලදී අස්වැන්න නෙලූ වගා ඒ ඉරණමට ගොදුරු වූයේ නැත. ඒ නිසා මෙවර මහ කන්නයේදී සමස්ත අස්වැන්නේ අඩුවක් බලාපොරොත්තු විය නොහැකිය. මා ඉහත කී ලෙසද මෙවර අප බලාපොරොත්තු වන්නේ පසුගිය මහ කන්නයේදී ලද අස්වැන්නට වඩා වැඩියකි, වර්ධනයකි. එහෙයින් වී අස්වැන්නේ අඩුවක් ඇතැයි අපට විශ්වාස කළ නොහැකිය.

පුරෝකතන අනුව මෙවර මහ කන්නයේදී වගා කර තිබෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන දශම අටකට වැඩිය. ඉන් වී මෙට්‍රික් ටොන් 31,18,529 ක අස්වැන්නක් ලැබෙතැයි පුරෝකතනය කර තිබේ. එය එසේම වූයේ දැයි අපට දැන්ම කිව නොහැකිය. හේතුව කන්න තවමත් නිම වී නැති හෙයිනි. එහෙත් බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන්නේ පසුගිය මහ කන්නයේදී ලැබුණු අස්වැන්නට වැඩි අස්වැන්නක් මෙවර කන්නයේදී ලැබෙමින් පවතින බවය.

රටේ වාර්ෂික සමස්ත වී අස්වැන්නෙන් පහෙන් තුනකට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ මහ කන්නයේදීය. ඉතිරි පහෙන් දෙකකට ආසන්න ප්‍රමාණය ලැබෙන්නේ යල් කන්නයේදීය. මහ කන්නයේදී හෙක්ටයාර මිලියන දශම 7.5 ක පමණ වී වගා කෙරෙයි. යල් කන්නයේදී වගා කෙරෙන්නේ හෙක්ටයාර මිලියන දශම 4.5 ක් තරම් ප්‍රමාණයකය. මේ ඉලක්කම් ස්ථාවර ඒවා නොවේ. වසරින් වසර මේවා අඩු වැඩි වෙයි. එහෙත් ඒ දත්තවලින් අපට දල අදහසක් ලබා ගත හැකිය. ලංකාවේ ප්‍රධාන කන්නය මහය. අහස් වැස්සෙන් පවා වගා කරන්නේ මහ කන්නයේදීය. මහ කන්නයේදී වගා කරන කුඹුරු ප්‍රමාණය ඉහළ යන්නේ එහෙයිනි. යල් කන්නයේදී වගා කෙරෙන්නේ ස්ථීර වාරිමාර්ග ක්‍රම යටතේ වගා කරන කුඹුරුය. එසේම යල් කන්නයේ වගා නියඟයකට ගොදුරු වීමේ ප්‍රවණතාවක්ද තිබේ. එහෙයින් යල් කන්නයේ ගොවිතැන් කරන්නේ අඩුවෙනි. මෙවර මාස් කන්නයේදී නියඟයක් නොතිබුණු නිසාත් ගොයමට වැළඳෙන ලෙඩ රෝග රට පුරා නොපැතිරුණු නිසාත් අස්වැන්න අඩුවීමට හේතුවක් නැත. වී අස්වැන්න අඩු නොවූයේ නම් වෙළෙඳ පොළට ලැබිය යුතු හාල් ප්‍රමාණය අඩු වූයේ කෙසේද යන්න අපට සිතාගත නොහැකි ප්‍රශ්නයකි. අප මේ සිටින්නේ මෙවර මහ කන්නයේ ගොයම් නෙළන කාලයේය. වගා කළ කුඹුරුවලින් සියයට 70 ක පමණ අස්වනු දැනටත් නෙළා අවසන්ය. එහෙයින් දැනට මේ ඇතිවී තිබෙන හාල් හිඟයට හේතුව කුමක් දැයි අපට අදහාගත නොහැකිය.

මහ කන්නයක අස්වනු නෙළමින් පවතින සමයක හාල් හිඟයක් ඇතිවූ බවක් මින් පෙර අපි අසා නැත්තෙමු. සාමාන්‍යයෙන් හාල් හිඟයක් වාර්තා වන්නේ යල් කන්නය නිමවූ පසුවය. එහෙත් මෙවර එය වාර්තා වන්නේ මහ කන්නයක අස්වනු නෙළමින් සිටියදීය. එය අස්වාභාවිකය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අප අත තිබෙන සංඛ්‍යා ලේඛන දෙපාර්මේන්තුවේ නිල දත්ත මත නම් මෙවැනි හාල් හිඟයක් ඇතිවිය නොහැකිය. අප එසේ කියන්නේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න පසුගිය මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්නට සමාන හෝ වැඩි වන හෙයින් පමණක් නොව 2020 වසරේදී ලැබුණු සමස්ත වී අස්වැන්න ඒ වසරේ පාවිච්චියට අමතරව තවත් මාස පහකට එනම් මාස 17 කට ප්‍රමාණවත් වූ නිසාය.

වී නිෂ්පාදනයෙන් ලංකාව සිටින්නේ ස්වයංපෝෂිත තත්ත්වයකය.   ලෝක ආහාර සංවිධානයේ 2019 දත්ත අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් හෙක්ටයාරයකින් වැඩිම වී අස්වැන්නක් ලබාගන්නේ ලංකාවය.
වගා කරන කුඹුරු ප්‍රමාණය අඩු වුවත් හෙක්ටයාරයකින් ඉහළ අස්වැන්නක් ලබන්නේ ලංකාවය. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට වඩා ලංකාවේ හෙක්ටයාරයකින් ලබන අස්වැන්න ඉහළය. ලංකාවේ හෙක්ටයාරයක අස්වැන්න මෙට්‍රික් ටොන් 4.55 කි. අපට පහළින් සිටින්නේ බංග්ලාදේශයයි. එරට හෙක්ටයාරයකින් ලබන අස්වැන්න ලංකාවටත් වඩා අඩුය. ඉන්දියාව, පකිස්තානය, නේපාලය වැනි රටවල් සිටින්නේ බංග්ලාදේශයටද පහළිනි.

බිස්කට් හා බියර් නිපදවීමටද හාල් උපයෝගී කරගන්නා බැවින් ඇතිවී තිබෙන මේ හාල් හිඟයට එයද හේතුවක් ලෙස ඇතැමුන් හුවා දක්වන බවක් ජනමාධ්‍ය වාර්තාවලින් අනාවරණය වෙයි. බිස්කට් නිෂ්පාදනය සඳහා හාල් ලබාගන්නා දේශීය සමාගම තම නිෂ්පාදන සඳහා ලබා ගන්නේ බත් සඳහා භාවිත කරන හාල් වර්ග නොවේ. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ වෙනම හාල් වර්ගයකි. එසේම ඒ හාල් ඔවුන් ලබාගන්නේ වගාවට පෙර ගොවීන් සමඟ ගිවිසුම්වලට එළඹීමෙනි. ඒ ගිවිසුම්වලට එළඹෙන ගොවියෝ ඒ වී වර්ග වගා කර එහි අස්වැන්න අදාළ සමාගමටම ලබා දෙති. ඒ වී බත් සඳහා නොගනියි.

ඒ නිසා පවතින හාල් හිඟයට බිස්කට් නිෂ්පාදන සඳහා හාල් උපයෝගී කර ගැනීමෙන් බලපෑමක් ඇති නොවෙයි. බියර් නිෂ්පාදනය සඳහා හාල් ගැනීමද තහනම් කර තිබෙන බවක් මම ජනමාධ්‍යවලින් දැක්කෙමි. මගේ දැනුමේ හා අවබෝධයේ හැටියට එවැනි නිෂ්පාදන හා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී භාවිතා කිරීමට රජයෙන් අවසර ලැබෙන්නේ ද නැත.

හාල් ගැන කතා කරනවිට අපට වී අස්වැන්න පිළිබඳව ද කතා කිරීමට සිදුවෙයි. පසුගිය කාලයේ වී වගා කරන කුඹුරු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය නොවූවත් අක්කරයකින් හෝ හෙක්ටයාරයකින් ලබන වී අස්වැන්න අඛණ්ඩව වර්ධනය වී තිබේ. අස්වැන්න වර්ධනය වීම පසුගිය වසර 50 දීම සිදුවී තිබෙන බව කිව යුතුමය. එහෙත් දැනට ලබන අස්වැන්න අනාගතයට ප්‍රමාණවත් නොවේ. රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙයි. වගා කරන කුඹුරු ප්‍රමාණයද අඩුවෙයි. ඵලදාව අඩු ඉඩම්වල වගා කිරීමද නිෂ්ප්‍රයෝජනය. ඒ නිසා ඉදිරි කන්න හතරේදී හෙක්ටයාරයකින් ලබන වී අස්වැන්න සියයට 10 කින් වැඩි කිරීමට අප දැනටත් ක්‍රියාත්මකය. එය දිවයින පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ඒ සඳහා අප පැකේජ කීපයක්ම සකසා තිබේ. සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග, වියළි කලාප, අතරමැදි කලාප, තෙත් කලාප යනාදී සියලු කලාප සඳහා යෝග්‍ය පැකේජ වර්ග හයක් දැනටත් හඳුන්වා දී තිබේ. ඉන් අප බලාපොරොත්තු වන්නේ ඉදිරි කන්න හතරේදී හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න සියයට 10 කින් වැඩිකර ගැනීමටය.

අනවශ්‍ය ලෙස පොහොර භාවිතය අඩු කිරීම, රසායනික තෙල් භාවිතය අඩු කිරීම, ගැඹුරට සී සෑම වැළැක්වීම, කුඹුරු ඉඩම්වල ලියදි විශාල කිරීම, පස් පරීක්ෂා කර පොහොර යෙදීම, පාංශු සංරක්ෂණය ඉහළ නැංවීම යනාදී උපක්‍රම මගින් ඒ ඉලක්කයට යාමට අපේක්‍ෂිතය. ඒවා කළ හැකි දේවල් මිස කළ නොහැකි දේවල් නොවේ.

අපේ ගොවිතැනට හා ගොවීන්ට තිබෙන බරපතළ චෝදනාවක් වන්නේ රසායනික පොහොර හා රසායනික තෙල් වුවමනාවට වඩා භාවිත කරන බවය. එහෙයින් අවශ්‍ය ප්‍රමාණයට පොහොර හා කෘෂි රසායනික තෙල් යෙදවීමට ගොවීන් මෙහෙයවීමට අපේක්‍ෂිතය. එසේම වී වගාවේ අස්වනු හානියක් ගැන වාර්තා වූ වහාම තාක්ෂණික කණ්ඩායම් යවා බේරාගත හැකි සෑම වගාවක්ම බේරා ගැනීමට කටයුතු කිරීමටද අපේක්‍ෂිතය. ගංවතුර හා නියඟයෙන් කුඹුරු බේරා ගැනීම අපහසුය. එහෙත් පලිබෝධ හානිවලින් වන විනාශයන් වළක්වා ගත හැකිය. ඒ සියල්ල සාර්ථක වුවහොත් දැනට හෙක්ටයාරයකින් ලබන මෙට්‍රික් ටෙ​ාන් 4.55 අස්වැන්න මෙට්‍රික් ටොන් පහකට ආසන්න ගණනකට ඔසවා තැබීමට අපේක්‍ෂිතය. එය ඉදිරි කන්න හතරකදී සපුරා ගැනීම අපේ ඉලක්කයයි. ඒ ඉලක්ක සපුරා ගැනීමට ගුණාත්මක බිත්තර වී භාවිතය ඉහළ නැංවීමට අපේක්‍ෂිතය. එසේම වැඩි දියුණු කළ වී වර්ග භාවිත කිරීමටද අපේක්‍ෂා කරමු. කාබනික පොහොර යෙදීම ඉහළ නංැවීමද ඒ වැඩසටහනේ ඇතුළත්ය.

2020 හා 2021 වසර දෙකේදී අපි වැඩි අස්වැන්නක් ලැබෙන නව වී ප්‍රබේද වර්ග පහක් හඳුන්වා දුන්නෙමු. ඉන් එක ප්‍රබේදයක් හෙවත් වර්ගයක් නියඟයට ඔරොත්තු දෙන වර්ගයකි. අවශ්‍යතාව මත අදාළ තැන්වලට ඒ වී වර්ග යෙදවීමටද අපේක්‍ෂිතය. ඒ සියල්ලේ අරමුණ අස්වැන්න වැඩිකර ගැනීමය. නව වී වර්ග හඳුන්වාදීම දිගටම කරගෙන යාම අපේ අපේක්‍ෂාවයි. ඊට හේතුව හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න සියයට දහයකින් ඉහළ දමා එතැනින් එහාට යමක් නොකර සිටීමට නොහැකි නිසාය. රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙයි. එසේම වී වගාව සඳහා යොදා ගන්නා කුඹුරු ප්‍රමාණයද අඩුවෙයි. එහෙයින් හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න තව තවත් වැඩි කිරීමට සිදුවෙයි. වී වගාවේදී වැඩිම වියදමක් වන්නේ වල් මර්දන කටයුතුවලටය. වල් හා වල් වී වර්ග දැන් ලොකුම අභියෝගයකි. එහි තිබෙන බරපතළ හානිය වන්නේ වී අස්වැන්න නෙළීමට පෙර ඒ වල් හා වල් වී වර්ගවල ඇට වැටීමය.

එහෙයින් වල් හා වල් වී මර්දනයටත් දැඩි අවධානයක් යොමුකර තිබේ. එය කිරීමට බලාපොරොත්තු වන්නේ රසායනික ද්‍රව්‍ය තව තවත් වැඩියෙන් යොදා නොව දැනට යොදනවාට වඩා අඩුවෙන් යෙදීමෙනි. ඒ සඳහා දැන් අපේ පර්ෙ‌ය්ෂණවලදී ප්‍රමුඛතාවක් පිරිනමා තිබේ. අපේ නිලධාරීන් රට පුරා ව්‍යාප්ත කර ගොවීන් දැනුවත් කර ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අප ඒ සියල්ල කරන්නේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ ව්‍යාප්ති හා බීජ අංශ වැනි අනෙක් අංශ සමග ඒකාබද්ධව මිස හුදෙකලාව නොවේ.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)