IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


අය වැය ගොවි ඇසින්

රටට බත සපයන ගොවීන්ට තිබෙන ප්‍රශ්නවලට පිළියම් නැතිව පීඩනයට පත්ව සිටින ඔවුහු, විටින් විට කෙරෙන උද්ඝෝෂණ මගින් තමන්ගේ ප්‍රශ්න වෙත බලධාරීන්ගේ අවධානයට යොමු කරවා ගැනීමට උත්සාහ කරති. මේ ගොවි ජනතාවට තිබෙන ඒ ප්‍රශ්න ගැන භෝග විද්‍යා මහාචාර්ය අරුණ කුමාර සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

ගොවියාට සහ ගොවිතැනට තිබෙන ප්‍රශ්න ගැන කතා කරද්දී මුලින්ම අවධානය යොමු කළ යුතු වන්නේ එළඹෙන 2024 වසරේදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන සැලසුම් මොනවාද යන්න කෙරෙහිය. එහිදී පළමුව අවධානය යොමුවන්නේ දැනටත් පාර්ලිමේන්තුවෙහි සාකච්ඡා කෙරෙන 2024 අය වැය ලේඛනය පිළිබඳවය. ඒ අය වැයෙහි කෘෂිකර්මාන්තයට සම්බන්ධ යෝජනා හයකි. මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් යටතේ රුපියල් මිලියන 19,500ක් වෙන් කර තිබෙන්නේ පොහොර සහනාධාරය සඳහාය. ඒ 2024 වසර සඳහාය. දෙවනුව තවත් රුපියල් මිලියන 2,500ක් වෙන්කර තිබෙන්නේ කෘෂිධීවර නවීකරණ කටයුතු සඳහාය.

තෙවැනි යෝජනාව වන්නේ රජයේ ඉඩම් අක්කර ලක්ෂ තුනක් කෘෂිකර්මය සම්බන්ධ කටයුතුවලට මුදා හැරීමයි. එසේ මුදා හැරීමට සැරසෙන්නේ මහවැලි ඒ හා බී කලාපවල තිබෙන මහවැලි අධිකාරිය සතු ඉඩම් සහ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම්ය. හතරවැනි යෝජනාව වන්නේ ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු සියලු ගොවිපොළ පෞද්ගලික අංශයේ දායකත්වය සහිතව සංවර්ධනය කිරීමට යෝජනා කිරීමය. පස්වැනි යෝජනාව වන්නේ කුඩා වැව් සංවර්ධනය සඳහා ගොවි කමිටු පිහිටුවීමට යෝජනා කිරීමය. හය වැනි යෝජනාව වන්නේ 2024 වසරේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රුපියල් මිලියන 250ක් වැය කරන බව කීමය. කාලගුණ විපර්යාස හේතුවෙන් අස්වැන්නට යම් හානියක් වුණොත් ඒ හානි පූර්ණය සඳහා ඒ රුපියල් මිලියන 250 වෙන් කරන බව අය වැයෙහි සඳහන් වෙයි.

පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 19,500ක් වෙන්කිරීම සම්බන්ධයෙන් පවතින අපැහැදිලිතා කිහිපයකි. ඒ මුදල් වෙන් කරන්නේ කුමන පොහොර වර්ගයක් සඳහා ද, කවර භෝගයක් සඳහා ද, පොහොර හෝ මුදල් ලබාදෙන ක්‍රමවේදය කුමක්ද යනාදී ප්‍රශ්නවලට අය වැයෙහි පිළිතුරු නැත. එහෙත් අපට යම් අදහසක් ගත හැකි ක්‍රමයක් තිබේ. දැනට වී වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරයක් දෙයි. ඒ හෙක්ටයාරයකට රුපියල් 15,000කි. සාමාන්‍යයෙන් මහ කන්නයකදී වී වගා කරන්නේ හෙක්ටයාර් ලක්ෂ අටකය. යල් කන්නයේදී හෙක්ටයාර ලක්ෂ පහක වී වගා කරයි. ඒ අනුව දළ වශයෙන් අවුරුද්දකට හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කරයි. ඒ හෙක්ටයාර් ලක්ෂ 13ට රුපියල් 15,000 බැගින් පොහොර සහනාධාරය දීමට රුපියල් මිලියන 19,500ක් වැය වෙයි. ඒ අනුව ඒ මුදල වෙන්කර තිබෙන්නේ වී ගොවීන්ට පොහොර සහනාධාරය දීමටය කියා උපකල්පනය කළ හැකිය.

සහනාධාර මත යැපෙන කෘෂිකර්මාන්තයට හෝ ආර්ථිකයට මා කැමැති නැත. හේතුව කිසිම ක්‍රියාවලියකට ස්ථිර විසඳුම් සෙවිය නොහැකි නිසාය. එහෙත් අපේ ගොවීන් කිසියම් සාර්ථකත්වයකට ළඟාවෙමින් සිටියදී එක රැයකින් මෙරට ගොවිතැන කාබනික විගඩමකට තල්ලු කිරීම මගින් ගොවියාත්, ගොවිතැනත් ප්‍රපාතයකට තල්ලු කිරීම නිසා ගොවීන් තවමත් සිටින්නේ නැගිටින්නට නොහැකි තත්ත්වයකය. ඒ නිසා ඒ ගොවීන්ට යම්කිසි සහනාධාරයක් ලබාදීම ප්‍රගතිශීලී කටයුත්තක් ලෙස දකිමි.

කෘෂි ධීවර කටයුතු නවීකරණය සඳහා රුපියල් මිලියන 2,500ක් වෙන් කිරීම මෙදා අයවැයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ දෙවැනි යෝජනාවයි. ඒ යටතේ රට පුරා තිබෙන සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කරන බව කියයි. එය සරල කාරණයක් නොවෙයි. ඒ ආයතනවල මානව හා භෞතික සම්පත් ඉතා විශාලය. ඒ ආයතන පිහිටුවා තිබෙන්නේ 1951 අංක 01 දරන කුඹුරු පනතෙනි. ඒ මධ්‍යස්ථාන සතු පොහොර ගබඩා ගණන පමණක් 766කි. රට පුරා තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන ගණන 561කි. ඒවායේ සේවයේ නියුතු ගොවිජන සංවර්ධන නිලධාරීන් ගණන 500කි. කෘෂිකර්ම පර් යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 9,368කි. ඒ තොරතුරුවලින් ඒ ආයතන පද්ධතියේ විශාලත්වය මැනගත හැකිය. ඒ ආයතන නවීකරණය කළ යුතු බව සත්‍යයකි. ඒ සඳහා යම් ආරම්භයක් ගැනීම හොඳ උත්සාහයකි.

තෙවැනි යෝජනාව රජයේ ඉඩම් අක්කර ලක්ෂ තුනක් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමය. ලංකාවේ ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් හෝ ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැත. ඒ නිසා බොහෝ ඉඩම්වල ඵලදායිතාව අඩුය. ඌණ භාවිතයේ, අවභාවිතයේ සහ කිසිදු භාවිතයක් නැති ඉඩම් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන සතුව පවතියි. වතු සමාගම් හා පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ද එවැනි ඉඩම් පවතියි. ඇතැම් ආගමික ස්ථාන සතුව තිබෙන එවැනි ඉඩම් ගැන කතිකාවක් ඇත්තේම නැත. ඒ නිසා ඒ තෙවැනි යෝජනාව ද කාලෝචිතය. එහෙත් ඒ යෝජනාව ඉතා හොඳ වචනවලින් කළත් අභ්‍යන්තර අරමුණු ඉතා භයානක විය හැකිය. හේතුව අතීතයේ ඇතැම් අවස්ථාවල දී ද මෙවැනි යෝජනා මගින් දේශපාලන හෙංචයියන්, අවස්ථාවාදී ව්‍යාපාරිකයන් සහ විවිධ ජාවාරම්කරුවන් වෙත රජයේ ඉඩම් ලබාදීම නිසාය.

මෙදා අය වැය යෝජනාව මගින් එසේ නොවිය යුතු බව අපේ අවධාරණයයි. එසේම දෙන ඉඩම්වල පිහිටීම ගැන මැනවින් සොයා බැලිය යුතුය. සංවේදී පරිසර කලාපවල පිහිටි ඉඩම් නොදිය යුතුය. ජලධාරා ප්‍රදේශවල පිහිටි ඉඩම් ද නොදිය යුතුය. වනසතුන්ගේ වාසස්ථාන, මංපෙත් සහ මංකඩවල පිහිටි ඉඩම් ද එසේ නොදිය යුතුයි. හේතුව දැනටමත් අලි මිනිස් ගැටුම් සහ වනසත්ව හානි නිසා ආර්ථික ප්‍රශ්නවලට අමතරව සමාජ ප්‍රශ්න ද උද්ගතව තිබෙන බැවිනි. 1992 දී කන්තලේ සීනි සමාගමේ ඉඩම් සහ 2002 දී හිඟුරාන සීනි සමාගමේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික අංශයට දීම නිසා ඒ සමාගම් කඩා වැටුණු බව අයවැය සම්පාදකයන් මතක් කරගත යුතුය. කව්රු මොන කයිවාරු ගැහුවත් අදටත් රටට අවශ්‍ය සීනිවලින් රට ඇතුළේ නිපදවන්නේ සියයට 10 සිට 12 අතර ප්‍රමාණයක් බවද අය වැය සම්පාදකයන් මතකයට නගා ගත යුතුය.

අයවැයේ සඳහන් හතරවැනි යෝජනාව කිරි නිෂ්පාදනය වැඩි කිරීමයි. ඒ සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය සතු සියලුම ගොවිපොළ පෞද්ගලික අංශයේ දායකත්වය සහිතව සංවර්ධනය කරන බව කීම බරපතළ යෝජනාවකි. ඒ මණ්ඩලය සතු ගොවිපොළ ගණන 31 කි. රිදියගම ගොවිපොළ පමණක් අක්කර 3000 කට වඩා විශාලය. එය 1938 දී ආරම්භ කළ එකකි. ඒ ගොවිපොළවල නිෂ්පාදන ධාරිතාව අපේක්ෂිත මට්ටමේ නැති බව අප පිළිගත යුතුය. ඊට හේතුව රාජ්‍ය ආයතන සතුව පවතින කළමනාකරණ දුර්වලතා සහ දේශපාලන අතපෙවීම්ය. සම්පත් නිසි ලෙස බෙදා නොහැරීම සහ අඩු ප්‍රතිපාදන ද ඊට හේතුය. ඒවායේ නිෂ්පාදන ධාරිතාව වැඩි කළ යුතු බව මම ද පිළිගනිමි. එහෙත් ඊට පිළිතුර පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීම ද නැතිනම් පෞද්ගලීකරණය ද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවකි. කෙටියෙන් කිවයුතුව තිබෙන්නේ යටි අරමුණුවලින් තොරව සද්භාවයෙන් යුතුව මේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවය.

අයවැයේ සඳහන් පස්වැනි යෝජනාව කුඩා වැව් සංවර්ධනය සඳහා ගොවි කමිටු පිහිටුවීමයි. එහෙත් ඒ සඳහා වියදමක් දරන ආකාරයක් අයවැයෙහි සඳහන් නොවෙයි. එය සාර්ථක නොවන යෝජනාවක් බව මගේ නිරීක්ෂණයයි. ප්‍රශ්නයක් තිබෙන්නේ කුඩා වැව්වල නොව විශාල වැව්ලය. විශාල වැව් විශාල ප්‍රමාණයක ධාරිතාව විශාල වශයෙන් අඩුවී පවතී. බොහෝ වැව්වල ධාරිතාව සියයට පනහකට වැඩි ප්‍රමාණයකින් අඩුවී තිබේ. මේ දිනවල පවතින වර්ෂාව නිසා විශාල වැව් විශාල ප්‍රමාණයක් වාන් දමයි. එහෙත් පෙබරවාරි මාසය වෙද්දී ඒ වැව්වල ජලය නැතිවෙයි. ඊට හේතුව ඒ ජලාශවල ධාරිතාව අඩුකමය. එහෙයින් ගැඹුරු කළ යුත්තේ විශාල වැව්ය. අවම වශයෙන් අවුරුද්දකට ජලය ඝන මීටර් බිලියන 50 ක් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට යවයි. ලංකාවට අවුරුද්දකට ඝන මීටර් බිලියන 130 ක වර්ෂාව ලැබෙයි. ප්‍රයෝජනයක් ගන්නේ ඝන මීටර් බිලියන 80 කිනි. ඒ නිසා ගැඹුරු කළ යුත්තේ කුඩා වැව් නොව විශාල වැව් හා ජලාශය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වැය කිරීම ද වැදගත් යෝජනාවක් නොවෙයි. ආහාර සුරක්ෂිතතාව රටේ ප්‍රධාන ප්‍රශ්නයකි. කාලගුණ විපර්යාස සහ 2024 දී නියඟයක් එන බවට පුරෝකතනය කර තිබියදී රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රුපියල් මිලියන 250 ක් තරම් සොච්චමක් වෙන්කිරීම කිසිසේත්ම ප්‍රමාණාත්මක නොවේ. එහෙයින් කෘෂිකර්මාන්තය සම්බන්ධ ඒ හයවැනි යෝජනාව ද නොවැදගත්ය.

කෘෂිකර්මාන්තයට සම්බන්ධ මේ යෝජනා හයෙන් එකකින්වත් ගොවීන් මේ වන විට මුහුණ දෙමින් සිටින ප්‍රශ්න එකකටවත් පිළියම් හෝ විසඳුම් නොලැබෙන බව මගේ තක්සේරුවයි. ගොවින් අතර ප්‍රධාන වන්නේ වී ගොවීන්ය. වී ගොවීන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ සාධාරණ සහ යුක්ති සහගත මිලකට වී විකුණා ගැනීමට නොහැකි වීමය. එය අනෙක් වගා සම්බන්ධ ගොවීන්ට ද අඩු වැඩි වශයෙන් පවතින ප්‍රශ්නයකි. වී වගාවේ නිරත පවුල් සංඛ්‍යාව ලක්ෂ 18 කි. රටේ වගා කරන ඉඩම් වලින් තුනෙන් එකක  වගාකරන්නේ වීය. ඒ අති විශාල ගොවීන් පිරිසගේ අස්වැන්න මිලදී ගැනීමට රාජ්‍ය මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. හාල් මිල උච්ඡාවචනය වන අවස්ථාවල පාරි​භෝගිකයා වෙනුවෙන් මැදිහත්වීමට නම් රජය සතුව වී තොග පැවැතිය යුතුය. වී අලෙවි මණ්ඩලය පිහිටුවා තිබෙන්නේ ඒ සඳහාය. එහෙත් 2024 අය වැයෙහි වී අලෙවි මණ්ඩලයට හෝ වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කර නැත. ඒ නිසා 2024 වසර පුරාමත් වියැට ගෙඩියට නිසි මිලක් නොලැබීම පිළිබඳ ප්‍රශ්නයෙන් දැවෙන්නට හා තැවෙන්නට අපේ ගොවීන්ට සිදුවෙයි. ගොවීන් මහමෝල් හිමියන්ගේ අත්අඩංගුවට පත්වෙයි. පාරිභෝගිකයන්ටත් මහා මෝල් හිමියන්ගේ ග්‍රහණයට නතුවීමට සිදුවෙයි. වී අලෙවි මණ්ඩලය තවදුරටත් සුදු අලියෙක් බවට පත්වෙයි.

ගොවීන් මුහුණ දෙන තවත් ප්‍රබල ප්‍රශ්නයක් වන්නේ වන සතුන්ගෙන් අස්වැන්නට වන හානිය. ඒ හානි නිවැරැදිව ගණනය කිරීමේ ක්‍රමවේදයක් නැතත් ගොවි සංවිධාන හා ගොවීන්ගෙන් ලැබෙන දත්ත අනුව වන සතුන් නිසා අස්වැන්නෙන් සියයට තිහකට හානි වෙයි. ඒ හානි අවම කිරීමට හෝ තුරන් කිරීමට හෝ මේ අය වැයෙන් ද කිසිම ප්‍රායෝගික පියවරක් නොගැනීම ඛේදවාචකයකි. අනෙක් පැත්තෙන් අහිංසක වන සතුන්ගේ ජීවිතවලට සිදුවන හානි අවම කිරීමට පියවරක් නොගැනීම ද මිනිස්කමට නිගාදෙන අමනුෂ්‍ය පිළිවෙතකි. ගොවීන් මුහුණ දෙන තවත් බරපතළ ප්‍රශ්නයක් වන්නේ වගා හානි සඳහා සාධාරණ වන්දියක් නොලැබීමය. නියඟය නිසා පසුගිය යල් කන්නයේදී අක්කර 65,000ක වී වගා විනාශ විය. ගංවතුර හා වැස්ස නිසා අක්කර 10,000ක වගා විනාශ විය. එකම කන්නයකදී නියඟය හා ගංවතුර නිසා එසේ හානිවීම විශේෂ තත්ත්වයකි. ඒ අක්කර 75,000ට වන්දි ගෙවීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 3000ක් වත් වෙන් කළ යුතුය. එහෙත් මේ අයවැයෙහි වගා හානිවලට වන්දි ගෙවීම සඳහා කිසිම යෝජනාවක් නැත. ගොවීන් දැවෙන ප්‍රශ්න විසඳීමට රටේ අයවැයෙන් කිසිම පියවරක් නොගැනීම ඛේදවාචකයකි. එහි ප්‍රතිඵල ඉතා භයානකය.

(*** සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්)



අදහස් (0)

අය වැය ගොවි ඇසින්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 242 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 48 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 1758 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


දරුවා පාසලට යැව්වාටම මදි නිරන්තර විමසිල්ලක් ඕනෑ
2024 පෙබරවාරි මස 21 248 0

‘‘ලොව හොඳම දේ දරුවන්ට’’ යැයි කීව ද, සම්මුති විරහිතව හිස් මුදුනින්ම එය පිළිගත්ත ද, අප රටේ දරුවන් ලොව නරකම දෙයෙහි පහසුම ගොදුරු බවට පත්ව ඇති බව ඒකාන්තය. වාර


දුප්පතාට අතදෙන අත්වැලක්
2024 පෙබරවාරි මස 20 169 0

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩනයට පත් කණ්ඩායම ලෙස අඩු ආදායම්ලාභීන් නම් කළ හැකිය. ආදායම් මාර්ග ඇහිරී යාම, දෛනික වියදම වැඩි වීම, ඔව


තෙල් සමාගමේ හොරුන් දඬුකඳේ ගහන්න ඕනෑ
2024 පෙබරවාරි මස 20 1029 2

සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු විසින් තම අමාත්‍යාංශයේ සිදුවන දූෂිත හෝ වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කරනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් වන


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 176 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 239 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 258 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site