කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
දරු පල අහිමි විවාහක කතකට දේව වරමින් දරු සම්පත්තිය ලබාදීමට සූදානම් වූ ජනප්‍රිය උපාසක කපුවකුගේ සායම සේදී ගිය පුවතක් රජරට පළාතේ ගමකින් අසන්නට ලැබුණි.
එය මෙසේය.
එම ගම්පළාතට අලුතින් පැමිණි වයස අවුරුදු 65 ක් පමණ වයස ඇති තැනැත්තෙක් එම ගමේ නිවෙසක් මිලදී ගෙන එහි පදිංචි විය. හෙතෙම මාස කිහිපයක් ඇතුළත එම ප්‍රදේශය පුරා අතිශයින්ම ජනාදරයට පත් ජනප්‍රිය දැහැමි පුද්ගලයකු බවට සමාජය පිළිගත්තේය.
මෙම පුද්ගලයා තනිවම එහි වාසය කළ අතර ඔහු අවිවාහක තැනැත්තකු බවට ගම්පළාත පුරාම ප්‍රචලිත විය. එපමණක්ද නොව ඔහු ඉතා දැහැමි ජීවිතයක් ගත කරන මස් මාංශ අනුභවයකින් තොර දේව වරමක් සහිත තැනැත්තකු බවටද කටකතා පැතිර ගියේය.
එකී කටකතා සනාථ කිරීම සඳහා මේ ආගන්තුක පුද්ගලයා විසින් එම නිවෙසේ පදිංචියට ආ විගස එහි ඉතා මනරම් දේවාලයක් ඉදි කළේය. එපමණකින් නොනැවතුණු ඔහු එම ගම්පළාතේ ජනප්‍රිය විහාරස්ථානයකට ගොස් හතර පෝයටම සිල් සමාදන් වන්නට ද පටන් ගත්තේය.
දේව වරමක් සහිත මේ දැහැමි උපාසකයා එදින පසළොස්වක පෝය දවසක් වූ බැවින් විහාරස්ථානයට ගොස් සිල් සමාදන් විය. එදින ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනය අතරතුර උන්වහන්සේ දෙවියන්ට පින්දීමේ ගාථා දේශනා කරන අතරතුර මෙකී කපුවා වැඳගෙන ඔහුගේ මුළු සර්වාංගයම වෙව්ලන අයුරු ප්‍රදර්ශනය කළේය.
ස්වාමීන් වහන්සේ කරුණු විමසන කල්හි ඔහු ප්‍රකාශ කළේ ඔහුට දේව වරමක් ඇති බවත් මේ අවස්ථාව වන විට විහාරස්ථානයේ සෑම ගසකම දෙවියන් වැඩම කර ඇති බව ඔහුට පෙනෙන බවත්ය.
ඔහු එය කියනවාත් සමගම සෙසු උපාසක උපාසිකාවෝ “සාදු සාදු සාදු” යැයි හඬ තළමින් ගස්වලට වඳින්නට පටන් ගත්හ.
හැන්දෑවේ සිල් පවාරණය කර හමාර වූ පසු උපාසක උපාසිකාවෝ මේ දේව වරමක් ඇතැයි පවසන කපුවා ළඟට පැමිණ පොර කකා ඔහුගේ දුරකතන අංකය ලබා ගත්හ.
දින දෙක තුනක් ගතවිය. කාන්තාවෝ වැල නොකැඩී එම දේවාලයට පැමිණ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගනිමින් සිටියහ. එක දවසක් තරුණ පහේ කාන්තාවක උපාසකයාගේ දේවාලයට පැමිණියාය. වසර කිහිපයක් විවාහ වී සිටියත් තමාට දරු පල නොමැති බවත්, ඔහුගේ හාස්කම් පිළිබඳ දැනගත්තේ අසවල් විහාරස්ථානයේදී බවත් සඳහන් කළාය.
වහාම කාන්තාව දේවාලය ඇතුළට ගත් කපුවා දෙවියන්ට කන්නලව් කිරීම පටන් ගත්තේය.
ගතවූයේ ඉතා කෙටි වේලාවකි. කපුවා මරළතෝනි දීගෙන දේවාලයෙන් එළියට බැස ප්‍රධාන පාරට පැමිණ අසල්වාසීන්ට කෑගසා ඇත.
ශබ්දය ඇසී මිනිසුන් කිහිප දෙනෙක් පැමිණ කාරණාව විමසා වහාම දේවාලයට ඇතුළු වූහ.
දරු පල පතා පැමිණි කාන්තාව “මම තමයි කාලි අම්මා, මේක කාලි දේවාලයක් වුණාට මේ හොර කපුවට තවම ඇත්ත කාලි හම්බවෙලා නෑ. අහිංසක ගෑනුන්ගෙන් ප්‍රයෝජන ගන්න හොර තක්කඩියා. අද තමයි මේකා කෙහෙල් ගහට කෙටුවේ. මම දුන්නා ඌට මදි නොකියන්නම, මම තමයි කාලි” යනුවෙන් පැවසුවේ යක්ෂාරූඪව බුරුල් වී තිබූ තමාගේ ඇඳුම සකස් කර ගනිමිනි. තමාට අපචාර කරන්නට සූදානම් වූ කතන්දරයද ඇය අසල්වාසීන්ට දිගහැරියාය.
සිද්ධිය පොලිසිය දක්වා ගියේය. මෙම උපාසක කපුවා ලංකාවේ විවිධ පළාත්වලට ගොස් මෙවැනි අපචාරවල නියැලී ඇති බවත් ඔහු නීතියට අත්‍යවශ්‍යව සිටි අපරාධකාරයකු බවත් පොලිසියේදී හෙළිවිණි.
“බුදු අම්මෝ, මට දරුවෝ ඕන නෑ, මෙහෙම තනිකඩව ඉන්න එක දාහෙන් සම්පතයි” යනුවෙන් එම කාන්තාව පොලිසියේදී පවසා ඇති බවත්, හොර කපුවා “බුදු අම්මෝ මටත් ආයෙ දේවාල ඕන නෑ, සර්ලා දෙන දඬුවමක් මට දෙන්න,” යැයි ඇඟේ පතේ තැලුම් අතගගා කෙඳිරිගාමින් පැවසුවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd