ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් 33

කැරලිකරුවන් ගේ වනගත කඳවුරු ආරක්ෂක අංශ වටලෑමෙන් පසුව​

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ලබන අප්‍රේල් මස නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. මෙවර පළවන්නේ ජවිපෙ 2 වැනි කැරැල්ලේ පරාජයෙන් පසු කැරලිකරුවන් 450ක් පමණ වනගත කඳවුරු 21කට පසුබැස ගිය අන්දම පිළිබඳවය.

වසර 1989 දෙසැම්බර් වනවිට ජවිපෙ 2 වැනි කැරැල්ලට එක්ව සිටි සහ තවදුරටත් එහි රැඳී සිටි කැරලිකරුවන්ට දැවැන්ත මර්දනයකට මුහුණදීමට සිදුවිය. ජවිපෙ 2 වැනි කැරැල්ල පරාජය වුවහොත් කළ යුත්තේ කුමක්ද යන්න ගැන විධිමත් සැලසුමක් කැරැල්ලට පෙර නොවීය. එවැනි සැලසුමක් තිබුණේ නම් එය දන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය පමණි. එහි ඉතිරිව සිටි එකම දේශපාලන මණ්ඩල සභිකයා වූ සෝමවංශ අමරසිංහ ද පසුබැස ගොස් නවාතැන් වෙනස් කරමින් 1990 මාර්තු 17 ඉන්දියාවට පලායන තෙක් ආරක්ෂාව තකා සැඟව සිටියේය.   


කැරැල්ලේ පරාජයත් සමඟ බොහෝ දිස්ත්‍රික්කවල ඉතිරි වූ පිරිස් ස්වකීය කලාප නායකයින් ගේ අභිමතය පරිදි සිය ආරක්ෂාව සලසාගැනීම සඳහා වනයට පසුබැසීමට තීරණය කරන ලදී. එය අවස්ථාවේ හැටියට කළ හැකි එකම විකල්පය බව කැරලිකරුවන් ගේ අදහස විය. ඔවුන්ගෙන් අති බහුතරයම ග්‍රාමීය හෝ නාගරිකව ජීවත්වන ඥාතීන් හෝ මිතුරන්ට අයත් ස්ථානයන්හි සැඟවීමට සහාය නොදීම මෙයට හේතුව විය.   


වසර 1971 අප්‍රේල් කැරැල්ලේද කැරලිකරුවන් 400කට ආසන්න පිරිසක් කණ්ඩායම් වශයෙන් මාතර සහ ගාල්ල හරහා සිංහරාජයට 102ක්ද, කෑගල්ල හරහා විල්පත්තුවට 200කට ආසන්න පිරිසක්ද, අනුරාධපුර හරහා රිටිගල සහ විල්පත්තුවටද තවත් කැලෑබද ප්‍රදේශවලටද පසුබැස තිබිණි.   


 පැවති අරාජික තත්ත්වයන් හමුවේ අත්අඩංගුවට පත් නොවී ඉතිරිව සිටි ජවිපෙ කැරලිකරුවන්ට කළ හැකි වූයේ විසිරුණු පිරිස් ලෙස අවිධිමත්ව සිටිමින් සිය නිවෙස්වලින් බාහිරව දන්නා හඳුනන ස්ථානයන්හි සැඟව සිට සුළු වශයෙන් සම්බන්ධතා පවත්වා ගැනීමය. ඉන් ඇතැමුන් ඝාතනයට පත්වූ කැරලිකරුවන් ගේ දරු පවුල් නඩත්තු කිරීම සහ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා සොරකම් සහ මංකොල්ලකෑම්වල නිරත වූහ. කැරැල්ල අතහැර ගිය සුළු පිරිසක්ද සංවිධානාත්මකව ඒ මුවාවෙන් පෞද්ගලික ජීවිත ගොඩනගා ගැනීම සඳහා මංකොල්ලකෑම්වලට එක්වූහ. ආරක්ෂක හමුදාවේ සහ අතුරු හමුදා කණ්ඩායම්වල ඉතා සුළු පිරිසක්ද කැරලිකරුවන් ගේ නම භාවිත කරමින් මුදල් සහ රන් ආභරණ කොල්ලකෑහ.   


මෙයට අමතරව ‘විවිධ ක්‍රම සහ විධි’ උපයෝගි කරගනිමින් ඇතැම් කැරලිකරුවන් විදේශගත විය. තවත් පිරිසක් කැරැල්ල වඩාත් සංවිධානාත්මකව ගොඩනැගීම සහ තම ජීවිතාරක්ෂාව සඳහා කුඩා කණ්ඩායම් වශයෙන් පසුබැස ගොස් වනගත කඳවුරු ගොඩනගා එහි සැඟව සිටිමින් ක්‍රියාකාරකම් දියත් කළහ.   
ජවිපෙ කැරලිකරුවන් ගේ එවැනි වනගත කඳවුරු 21ක් පමණ 1989 දෙසැම්බර් සහ 1990 ජනවාරි මාසයන්හි ආරම්භ විය. එම කඳවුරු 21 සිටි ජවිපෙ 2 වැනි කැරැල්ලේ කැරලිකරුවන් සංඛ්‍යාව 450ක් පමණ විය. ඉන් වනගත කඳවුරු 5ක් පමණ ඉතා සංවිධානාත්මක මුහුණුවරකින් පැවති අතර අවසාන වනගත කඳවුර විසිරුවා හැරියේ වසර 3කට ආසන්නව 1992 දෙසැම්බර් 15 වැනිදාය.   


කැරලිකරුවන් ගේ වනගත කඳවුරු 21න් 15ක් පමණ 1990 අප්‍රේල් මස අවසානයේදී විසුරුවා හරින ලදී. ඒ ඉන්දියාවට පසුබැස ගිය ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් 1990 අප්‍රේල් විරු සමුළුව නිමිත්තෙන් කැසට් පටයක පටිගතකර එවන ලද ප්‍රකාශයක් අනුවය. සෝමවංශ අමරසිංහ ජීවත්ව සිටින බවට ජවිපෙ සාමාජිකයින්ට ලැබුණු ප්‍රථම පැහැදිලි සාධකයද එය විය. නැවත ජවිපෙ ගොඩනැගිය යුතු බවත්, එය මෙසේ විය යුතු බවත් අමරසිංහ ගේ එම කැසට් පටයේ සඳහන් විය. එහි වැඩිදුරටත් සඳහන් වූයේ තම ක්‍රියාකාරි ස්ථානයන් සහ නවාතැන් වෙනස්කර ආරක්ෂා සහිත ස්ථානයන් වෙත යොමුවන ලෙසත් දිගුකාලීන සබඳතා ගොඩනගාගත හැකි පරිදි එය සිදුවිය යුතු ආකාරයත්ය. වනගත කඳවුරුවල සිටි කැරලිකරුවන්ට සහ සැඟව සිටි කැරලි නායකයින්ට එම කැසට්පටිය බෙදාහරින ලද්දේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 1990 ජනවාරි සිට 1990 මාර්තු දක්වාද 1990 මැයි සිට 1990 අගෝස්තු දක්වාද කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ කොළඹ සරසවි වෛද්‍යපීඨයේ සිව් වන වසරේ සිසු අතුල සේනාරත්න හෙවත් පණ්ඩිතරත්න හෙවත් සාලිය හෙවත් ශිරන්ත ගේ සම්බන්ධීකරණයෙනි. වනගත කඳවුරුවල සිටි කැරලිකරුවන් දෙදෙ​ෙනක් රජයේ ප්‍රාදේශීය ලේකම්වරුන් වශයෙන්ද සේවයට එක්වූහ.   
මේ සෑම වනගත කඳවුරකම වාගේ කැරලිකරුවන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට සිදුවූ නිසා වරින්වර මාර්ගයේ යන එන වාහන නවතා සහ ප්‍රදේශයේ පොහොසත් ව්‍යාපාරිකයින්ගෙන් ආහාර සහ මුදල් පැහැරගත් අවස්ථාද විය. ඒ අවට ප්‍රදේශවල වතුයායන්හි සහ වගාබිම්වල මාසික වැටුප් මුදල්ද, සිගරට් වෑන් රථවල එක්වූ මුදල්ද පැහැරගත් අවස්ථා කිහිපයක් විය. මෙම වනගත කඳවුරුවල පැවැත්ම දුෂ්කර වූ අතර ජීවිතාරක්ෂාව සහ ජවිපෙ යළි ගොඩනැගිම සඳහාද විවිධ සාකච්ඡා සංවාද ඇතිවිය. නගර සහ ගම්මාන ආශ්‍රිතව රහසිගතව සිටි පුද්ගලයන් සහ සංවිධාන අතර සබඳතාද ගොඩනගා ගනු ලැබීය. රාත්‍රී කාලයේ කැලයේ ගල්තලා සහ ගස් උඩ සාදාගත් මැසිවල නිදාගන්නා ලදී.   
වනගත කඳවුරුවලට අවශ්‍ය සහල් ඇතුළු අතවශ්‍ය භාණ්ඩ සතියකට වරක් රාත්‍රී කාලයේදී ගම්මානවල සිට කඳවුරට ගෙන එනු ලබයි. කැලෑ සතුන් වන වඳුරන්, රිළවුන්, ඌරන්, ගෝනුන් සහ උඳුපියලිය කෑමට පැමිණෙන වල් මීයන් අල්ලාගෙන මස්කර හෝ වේලා කල්තබා ගතහැකි ආහාර වශයෙන් සකසා ලබාගත් අතර ආශ්‍රිත ගම්මානවල හේන් බහුලව තිබූ හෙයින් බටු, බණ්ඩක්කා, වට්ටක්කා වැනි එළවළුද මුංඇට සහ කුරක්කන් වැනි ධාන්‍ය වර්ගද ලබාගැනීම පහසු විය.   


බොහෝ කඳවුරුවල අධ්‍යාපන කඳවුරු, උදෑසන ශාරීරික ව්‍යායාම්, පෙරවරුවේ සංවාද සහ නිර්මාණ කුසලතාවන් ඔප්නැංවීම, රාත්‍රී විමුක්ති ගී ගායනා කිරීම වැනි දෑ සිදුවිය. කඳවුරු 2ක පමණ මුල් භාගයේදී අවි පුහුණුවද ලබාදෙන ලදී. මොරටු සරසවියේ එන්.ඩී.ටී. සිසු උදේනි, වෙන්නප්පුවේ ගරුසිංහ, බූස්ස පරණවත්තේ උපන් රුහුණු සරසවි ශාස්ත්‍ර පීඨ සිසු දේව මයිකල් සිල්වා හෙවත් ස්ටැන්ලි හෙවත් දේවේන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු ගේ මෙහෙයවීමෙන් අධ්‍යාපනය ලබාදීම සිදුකරන ලදී. කඳවුරු විනයට යටත් වූ අතර එහි සිටි අයට අවසරයකින් තොරව පිටතට යාම තහනම් විය.   


කඳවුරු ජීවිතය තුළ පොදු නීති මාලාවක් විය. ගෙනෙන ආහාර සුදුසු පරිදි ආරක්ෂිතව ගබඩා කිරීම, රාත්‍රී සහ දහවල මුර සේවය, උදෑසන 5ට පමණ කළුවර තිබියදී අවදි වී පෙරවරු 8 වනවිට සියලු ආහාර පිස අනුභව කිරීම, මානසිකත්වය බිඳ නොවැටෙන පරිදි ක්‍රියාකාරකම් පවත්වාගැනීම ඒ අතර විය.   


ජවිපෙ 2 වැනි කැරැල්ලේ වනගත කඳවුරු 1989 දෙසැම්බර් සිට පැවති ස්ථාන 21 මෙසේය. අම්පාර අඹගහවැල්ල එකොළොස්ගොල්ල කැරලිකරුවන් 21ක් සිටි වනගත කඳවුර 1991 ජනවාරි 19 අම්පාර පොලිස් පරීක්ෂණ සම්බන්ධීකරණ ඒකකය මගින් වටලන ලදී. කැරලිකරුවන් දෙදෙනෙකු මරුමුවට පත්වූ අතර සෙසු අය පලායෑමට සමත් වූහ. පොලිස් පරීක්ෂක ඩී.සී. ද සොයිසා ගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකළ අතර එහි තිබී තුවක්කු, ඩෙටනේටර්ස්, එස්ලෝන් බට සහ කඳවුරු ආම්පන්න විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.   
අම්පාර දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමට අයත් මාදුරුඔය රක්ෂිතයේ දොලගල්වල කැරලිකරුවන් 12ක් සිටි කඳවුර 1990 දෙසැම්බර් 07 ආරක්ෂක අංශ විසින් වැටලීමේදී කැරලිකරුවන් 5ක් ඝාතනයට පත්විය. අම්පාර පොලිස් අධිකාරි එම්.එස්. නූර්දින්, සහකාර පොලිස් අධිකාරිවරුන් වන රවි විජේගුණවර්ධන, එම්.පී. සමරදිවාකර ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම කඳවුර වටලන ලදී. මෙහි තිබී රූපවාහිනී යන්ත්‍ර 3ක්, ටයිප්රයිටරයක්, ටෙන්ට් රෙදි, ගැල්වනයිස් බට, තඹ කම්බි, මෝටර් රථ බැටරි, ප්‍රථමාධාර කට්ටල, ආහාර ද්‍රව්‍ය සහ විදුලි පන්දම්ද අත්අඩංගුවට ගන්නා ලදී.   


 අම්පාර දමන පොලිස්වසමේ එක්ගල්ඔයදී කැරලිකරුවන් 21 විසින් විජේවීර ඝාතනයෙන් පසු වනගත කඳවුරක් පිහිටවූ අතර එය වැටලීමට 1989 දෙසැම්බර් 12 රාත්‍රී 7ට ආරක්ෂක අංශ ගියේ අත්අඩංගුවට ගෙන සිටි අම්පාර දිස්ත්‍රික් දේශපාලන ලේකම් වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි හෙවත් උපාලි සමගිනි. එහිදී කැරලිකරුවන් අටවා තිබූ බිම් බෝම්බයක් පුපුරායාමෙන් පසු හමුදා වාහනයේ ගමන්ගත් උපාලි ආරක්ෂක අංශ මගින් වෙඩිතබා ඝාතනය කරන ලදී. යුධ හමුදාවේ සෙබළුන් වූ එන්. සමරවික්‍රම (24), සුනිල් කුමාර (22), විජයකෝන් (22) සහ රියැදුරු සලීම් (45) යන අය බරපතළ තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කරන ලදී. අම්පාර දිස්ත්‍රික්කයේ කැරලිකරුවන් 19ක් පමණ කුමණ රක්ෂිතයට පසුබැස ගිය අතර තෙමසකට පමණ පසු ඔවුහු හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා යළි වෙන් වෙන්ව නව දිවි පෙවෙත් ඇරවූහ.   


ඇඹිලිපිටිය හිඟුකණමැදිආර ප්‍රදේශයේ වන ළැහැබක් මැද වැවක් අසල පිහිටි ගල්ගුහා ආශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන ගිය කැරලිකරුවන් 27ක ගේ වනගත කඳවුරක් ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් මගින් 1990 දෙසැම්බර් 08 වටලා කැරලිකරුවන් 12ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම වැටලීම සිදුකළේ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ආනන්ද සමරසේකර ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමදාස සහ උපපොලිස් පරීක්ෂක මිණිපුර ඇතුළු කණ්ඩායමක් මගිනි.   


බදුල්ලේ පට්ටිපොළ ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටි කැරලිකරුවන් 15ක ගේ වනගත කඳවුරක් බදුල්ල පොලිසියේ මෙහෙයුම් අංශය මගින් 1990 නොවැම්බර් 19 වටලා එහි තිබූ අවි ආයුධ සහ උපකරණ තොගයක් සොයා ගන්නා ලදී. ඌව සහ මධ්‍යම පළාත්හි කැරලිකරුවන් පුහුණු කළ ස්ථානයක් වශයෙන් මෙය සැලකූ අතර වැටලීමේදී කැරලිකරුවන් කිහිපදෙනෙකුට ජීවිත හානි සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැරලිකරුවන් 27ක් නොච්චියාගම හරහා 1990 ජනවාරි මස විල්පත්තුවට පසුබැස ගිය අතර එහි මාස 4ක් සිටීමෙන් පසු යළි සමාජගත විය.   


හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් කැරලිකරුවන් 60ක ගේ වනගත කඳවුරක් ඇඹිලිපිටිය කලාපයේ සූරියකන්ද, බුත්කන්ද සහ ගමකන්ද ආශ්‍රිත ප්‍රදේශයන්හි පැවතිණි. එහි නායකයා වූයේ රුහුණු සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසර සිසු හම්බන්තොට පන්නගමුවේ උපන් ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු හෙවත් බර්ටි හෙවත් තුෂාර හෙවත් විජේසිංහය. කැරැල්ල අවසාන කාලයේ හම්බන්තොට දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා වූයේද ඔහුය.   


වසර 1990 අගෝස්තු ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු භාරයේ සඟවා තිබුණු කැරලිකරුවන්ට අයත් කිලෝ 30ක පමණ රත්තරන් ඇතුළු සම්පත් කොල්ලකෑම සඳහා ජවිපෙම ක්‍රියාකාරින් වූ තිස්සමහාරාමයේ සුදර්ශන අතුළු පිරිසක් විසින් කොළොන්න ගමකන්දේදී පිහියෙන් ඇන ප්‍රේමචන්ද්‍රව ඝාතනය කරන ලදී. හම්බන්තොට කලාපයට අයත් සූරියවැව, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම සහ හම්බන්තොට කැරලිකරුවන් 20ක පමණ පිරිසක් යාලට පසුබැස ගිය අතර ඔවුහු මත්තල කැලේ, හම්බේගමුව පොලිස් වසමේ කහකුරුල්ලන් පැලැස්සේ වංගෙඩිආර සහ කොටවෙහෙරමංකඩ කන්නිපිටිය ප්‍රදේශවල ස්ථානගත විය. එහි නායකයා සේනාධීරය.   


හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් 17ක පමණ කණ්ඩායමක් ගෝනදෙණිය කන්දට පසුබැස ගිය අතර පසුව දෙබොක්කාව හරහා පසුබැස ගොස් මුරුතුවෙල අංක තුනේ යාය සහ ඒ අවට ප්‍රදේශවල හේන් ගොවිතැන් කරමින් රහසිගතව කලක් ජීවත් වූහ. එමෙන්ම තංගල්ල බෙලිඅත්ත කලාපයට අයත් කැරලිකරුවන් 25ක් පමණ වලස්මුල්ල සහ කටුවන ලඳු කැලෑවලටද රත්මලේ කන්දටද පසුබැස ගිය අතර එහි නායකයා බුද්ධිකය. කළුතර දිස්ත්‍රික්කයේ කැරලිකරුවෝ 30ක් පමණ හිනිදුම කීනියාවල, කෙළින්කන්ද සහ බදුරලියේ අත්වැල්තොට කැලයට පසුබැස ගියහ.   


මාතලේ මුල් පෙළේ කැරලිකරුවන් 23 දෙනෙක් ලග්ගල ආසනයේ දියබෙදුම කැලේ රිදීඇල්ල ප්‍රදේශයේ කඳවුරු ගැසූහ. මෙහි නායකයා වූයේ දඹුල්ල සීගිරිය පොල්අත්තාවේ උපන් බණ්ඩාර ප්‍රේමතිලකය. අවසාන කාලයේ මාතලේ දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ බණ්ඩාර පේරාදෙණිය සරසවියට 1981 ඔක්තෝබර් 3 ඇතුළත් වූ අතර ඉන් 1985 අගෝස්තු පිටවූයේ වානිජ විශේෂ උපාධිධාරියෙකු ලෙසය. හඳුන්ගමුව ප්‍රාථමික විදුහලේ සහ සීගිරිය තල්කොටේ විදුහලේ සේවය කළ බණ්ඩාර ප්‍රේමතිලක කැරැල්ලට පූර්ණකාලීන එක්වන විට රාජ්‍ය පරිපාලන විභාගයෙන් සමත්ව මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු වශයෙන් නම්කර තිබිණි.   


මාතලේ රිදීඇල්ල කඳවුරට 1990 අප්‍රේල් 4 එල්ල කළ ප්‍රහාරයෙන් කැරලිකරුවන් 12ක් එම ස්ථානයේම මිය ගියේය. බණ්ඩාර මියගියේ කැරැල්ලේදී මියගිය කැරලිකරුවන් ගේ දරු පවුල්වලට ජීවත්වීමේ අවශ්‍යතාවන් සඳහා සීගිරිය සංචාරක හෝටලයක වැටුප් මුදල් පැහැරගැනීමට 1990 අප්‍රේල් 27 තැත්කිරීමේදී ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයකිනි. සිව්දරු පවුලක දෙවැනියා වූ බණ්ඩාර ගේ සොහොයුරෙකුද කැරැල්ලේදී ඝාතනයට පත්වූ අතරද නිවසද ගිනිබත් කෙරිණි. බණ්ඩාර ගේ බිරිඳ ශ්‍රියානිය. පසු කලෙක ඇය සමෘද්ධි නිලධාරිනියකි.   


රත්නපුර දිස්ත්‍රික්කයේ පසුබැස ගිය කැරලිකරුවෝ 47ක් කණ්ඩායම් තුනක් යටතේ උඩවලව කැලේ කෙළවරක පිහිටි කල්තොට දියමින්න, බලංගොඩ වැලිගපොළ, හටන්ගල, ගල්පාය සහ කොට්ටිමුල්ල යන ගම්මාන සිය කඳවුරු බවට පත්කර ගත්හ. ඉන් 9ක් කාන්තාවන් වූ අතර නායිකාව නිමාලිය. සෙසු අය අතර නිවිතිගල කුමාරි, ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දයානි, රෝහිණී සහ කුමුදුද වූහ. කණ්ඩායමේ සාමාජිකයින් අතර කලවානේ බෙම්පියගොඩ නැකති මුල්ලගම පදිංචි අලහකෝන් විදානලාගේ අබේරත්න, තිස්සමහාරාමයේ රන්ගේ චන්ද්‍රසිරි, බලංගොඩ වැලිපොතයායේ පියතිලක හෙවත් වනරාජා, හන්නසිංහ තිලකවර්ධන, පීරිස්, ආතර් සහ කුරුවිට සුනිල් ඇතුළු කිහිපදෙනෙක් විය.   
ටී-56 තුවක්කුවක් සහ ෂොට්ගන් එකක්ද කණ්ඩායම සතුවිය. ගල්ලපාය කඳවුරේ වනජීවී නිලධාරින් විසින් සතුන් දඩයක්කරුවන් යැයි සිතා කඳවුරක් වැටලූ අතර අත්අඩංගුවට ගත් දෙදෙනා පසුව මුදවා හරින ලදී. ගල්පාය දොල අසලදී ආතර් ආරක්ෂක අංශ මගින් ඝාතනයට පත්වූ අතර ඔහුගේ මළසිරුර ගොඩකවෙල පොලිසියට ගෙනයන ලදී. එහෙත් ඇතමෙකු ප්‍රකාශ කරන්නේ කුමන්ත්‍රණකාරීව ආතර් ඝාතනය කළේ කැරලිකරුවෙකු බවය. ජවිපෙ වනගත පුහුණු කඳවුරු සඳහා සුදුසුම ස්ථානයන් සමන් පියසිරිට සොයාබලා තෝරාදෙන ලද්දේ ආතර් විසිනි. පියතිලක පසුව ලුණුගම්වෙහෙරේ පදිංචිය. රත්නපුර දිස්ත්‍රික්කයේ කඳවුරුවල අවසානය වනතෙක් රැඳී සිටි කැරලිකරුවන් 17 දෙනා 1990 ඔක්තෝබර්හි විසිර ගියහ.   


වනගත කඳවුරු ඉතා සාර්ථකව දීර්ඝ කලක් පවත්වාගෙන ගියේ මාතර දිස්ත්‍රික්කයෙන් පසුබැස ගිය කැරලිකරුවන්ය. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ කැරලි නායකයින් පළාගිය පසු කලාපීය නායකයින් කිහිපදෙනෙකු ගේ ඉදිරිපත්වීමෙන් මෙම කඳවුරු 5 පිහිටුවන ලදී. එම දිස්ත්‍රික්කයේ මුලටියන කඳවුරේ 19ක්ද, සිංහරාජ කඳවුරේ 18ක්ද, දෙදියගල කඳවුරේ 23ක්ද, දෙදියගල උපකඳවුරේ 05, උඩුගම ඕපාත හල්ගහවල කඳවුරේ 16 වශයෙන්ද කැරලිකරුවෝ 81ක් වසර 3කට ආසන්න කාලයක් සිටියහ.   


මාතර දිස්ත්‍රික්කයේ වනගත කඳවුරු 1989 දෙසැම්බර් 12 සහ 13 හක්මන, දෙනගම, හොරපාවිට සහ නරවැල්පිට ප්‍රදේශයන්හි දෙදිනක් තුළ 76 දෙනෙකු ආරක්ෂක අංශ විසින් ඝාතනය කිරීමෙන් පසු ආරම්භ වූ අතර අවසාන කඳවුර නිමාවට පත්වූයේ 1992 දෙසැම්බර් 15 වැනිදාය. මෙම සියලු කඳවුරු 1990 අගෝස්තු සිට අවසානය තෙක් සංවිධානාත්මකව සැලසුම් සහගතව විධිමත් සම්බන්ධීකරණයක් යටතේ සියලුම වනගත කැරලිකරුවන්ට රැකවරණය සපයමින් සහ ඔවුන් නඩත්තු කරමින් මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක විය. අවසානයේ ඒවා විසුරුවා හරින ලද්දේ සිවිල් සමාජයට සියලු දෙනා මුදාහැරීමෙන් අනතුරුවය.   

 

 තිස්සමහාරාමයේ යාල ප්‍රදේශයේ පැවති ජවිපෙ 2 වැනි කැරැල්ලේ කැරලිකරුවන් ගේ වනගත කඳවුරක් විනාශ කළ ආරක්ෂක අංශ එහිදී ඝාතනයට පත්වූ කැරලිකරුවන් දෙදෙනෙකු ගේ මළසිරුරු සමග

මාතර වනගත කඳවුරුවල කැරලිකරුවන් 1990 අතින් ඇඳ එළිදක්වන ලද මාසික සඟරාවක මුල් කවර

 

 


මාතර දිස්ත්‍රික්කයේ කැරලිකරුවන් ගේ වනගත කඳවුරු පිළිබඳව කෙටි විස්තරයක් මෙසේය.   


මුලටියන වනගත කඳවුර: දෙදියගල රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව පැවති මෙහි කැරලිකරුවන් 19ක් ආරම්භයේ විය. මෙහි නායකයා වූයේ මුලටියන කොට්ඨාසයේ සන්නද්ධ නායකයෙකු වූ වේරගොඩය. දෙවැනි නායකයා වූයේ මුලටියන තැපැල්හලේ සේවය කළ සීනිපැල්ලේ දහනායක ගේ ඥාති සොහොයුරෙකු වූ මාතර දිද්දෙනිපොත සිරිල් දහනායකය. එහි සිටි අයගෙන් 6 දෙනෙකු වයස 15ට අඩු නාරම්දෙණිය මහා විදුහලේ සිසුන්ය. මුලටියන කඳවුරට ඇතුළුවන්නේ කඹුරුපිටිය ඌරුබොක්ක පාරේ කිලෝමීටර් 20ක් ගිය විට ප්‍රධාන පාරෙන් කිලෝමීටර් 10ක් පමණ ඇතුළට ආ පසුවය.   


හක්මන කලාපයට කැරැල්ලේදී ටී-56 තුවක්කු 03ක් සහ ෂොට්ගන් 50ක් පමණ තිබූ අතර ඉන් රිපීටර් සහ ෂොට්ගන් 10ක් ග්‍රීස් ගා බැරල්වල බහා කඳවුරට නුදුරින් වළ දමා තිබිණි. කටුගොඩ නමැති ගස් කපා ලෑලිවලින් මැසි ගසා තිබූ අතර එහි එකවර 5 දෙනෙකුට නිදාගත හැකිය. කටුගොඩ ගසේ පොඩි අතු අමුවෙන්ම දර සඳහා පාවිච්චිය ගත හැකිවීම නිසා එය පහසු විය. රක්ෂිත වනාන්තරය තුළ දිය උල්පත් සහ ඇළ මාර්ග තිබිණි. දිනකට වේල් දෙකක් බැගින් උදෑසන 8ට සහ සවස 4ට ආහාර පිසින ලදී. මුලටියන සහ දෙදියගල කැලෑවේ යටි වගාව තිබූ බැවින් කැරලිකරුවන්ට සැඟවීම පහසු විය.   


වනගත කඳවුරුවල රැඳවියන් ගේ අවශ්‍යතා සඳහා අකුරැස්ස මානික්ගොඩ තේ කම්හලකින් රුපියල් 130,000ක්ද උඩුගම තේ කම්හලකින් රුපියල් 60,000ක්ද වැටුප් මුදල් පැහැරගන්නා ලදී. ග්‍රාමීය බැංකුවලින් කොල්ලකන ලද රත්තරන් හෙවත් කහ කිලෝ 3ක් පමණද අවශ්‍යතා සඳහා වළලා තිබිණි. දකුණේ හමුදාව 1990 ජූලි සිට උතුරට යවන ලද බැවින් 1990 අගෝස්තු වනවිට මර්දනය යම් තරමකින් අඩුවිය.   


වසරක් පැවති මුලටියන වනගත කඳවුර එහි සාමාජිකයින් කොළඹට යෑම සහ ඥාති නිවෙස්වලට යෑම නිසා විසුරුවා හරින ලදී. කොළඹ හෙට්ටියාවත්තේදී සිරිල් දහනායක සහ වේරගොඩ පසුව පොලිස් අත්අඩංගුවට පත්වී නිදහස ලැබූ අතර ඔවුහු ජාතිය ගලවාගැනීමේ පෙරමුණ හරහා 1994 මහා මැතිවරණයටද සහාය විය.   


සිංහරාජ වනගත කඳවුර: මොරවකින් ගොස් දංගල හන්දියෙන් හැරී දෙල්ලව ගමට යා යුතු අතර ඉන් පසුව කිලෝමීටර් 8ක් පමණ පයින් යෑමෙන් මෙම කඳවුරට ළඟාවිය හැකිය. දෙල්ලව සහ මිල්ලව ගම් දෙකට මායිම්ව කඳවුර පිහිටා තිබූ අතර එහි කැරලිකරුවවෝ 18ක් එක්ව සිටියහ. එහි නායකයා වූයේ දෙනියාය වරල්ල පැලවත්තේ රංගය. කොරියන් භාෂා පුහුණුකරුවෙකු වූ රංග මාස 3ක් කඳවුරේ සිට කොළඹට ගොස් 1993 කොරියාවට සංක්‍රමණය විය. රංග ගෙන් පසු කඳවුරේ නායකත්වය හිමිවූයේ යටියන කඩවැද්දුවේ උපන් ඉන්දිකටය. දෙනියාය අකුරැස්ස කලාපයේ කොට්ඨාස සන්නද්ධ ලේකම්වරයෙකු වූ ඉන්දික 19 හැවිරිදිය.   


මෙම කඳවුරේ කාන්තා අංශයේ ක්‍රියාකාරිකයින් අතර හක්මන සීනිපැලැල්ලේ හීන් අක්කා (26) සහ ගුණසිරි ගේ නැඟණිය වන දෙනියායේ ජයරංගල සුදු නංගීද (22) වූහ. කඳවුරේ සෙසු අය අතර බානගල රංජිත්, නෙළුවේ රණසිංහ, මොරවක වැලිව මාලන්, ඌරුබොක්කේ සඳුන්, මොරවක කුරුප්පු, වැලිගම විජේසේකර, අලපනාදෙණියේ උදාර, ශාන්ත සහ සුදු මල්ලී ඇතුළු කිහිපදෙනෙක් විය. කඳවුරේ විනය ඉහළ මට්ටමක පැවතිණි. එහෙත් සිංහරාජ වනන්තරයේ කිලෝමීටර් 3ක් පමණ යනතෙක් උස ගස්වලින් පමණක් සමන්විතව යටි වගාවක් නොමැතිවීම සැඟව සිටීම දුෂ්කර කරුණකි.   


ඉන්දික ගේ නායකත්වයෙන් යුත් 6ක් දෙල්ලව ගම අසල කළුබෝවිටියන සමුපකාරයක් කඩා එහි සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලම වාගේ 1990 අගෝස්තු 22 පැහැරගත් අතර පසුව මොරවක පොලිසියේ මූලස්ථාන පරීක්ෂක මුණසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් කඳවුර වටකර වෙඩිතබා ඔවුහු අත්අඩංගුවට ගත්හ. මෙහිදී කැරලිකරුවන් වූ යටියන ඉන්දික ඇතුළු කැරලිකරුවන් 5 මරුමුවට පත්විය. තවත් කිහිපදෙනෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මෙම කඳවුරේ ඉතිරිව සිටි සීනිපැලැල්ලේ හීන් අක්කා සහ දෙනියායේ ගුණසිරි ගේ නැඟණිය බංගම නිවසක මාස 6ක් නතර කරන ලදී.   


දෙදියගල වනගත කඳවුර: අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර් 15ක් පමණ ගියවිට බංගම උපනගරය හමුවේ. ඉන් දකුණට හැරීගොස් දෙදියගම ගමට පිවිස වමට හැරී දෙදියගම ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් දෙදියගම රක්ෂිත වනයට ඇතුළු වී කිලෝමීටර් 8ක් පමණ ගියවිට දෙහිගහමෝදර හමුවේ. එයද පසුකර කිලෝමීටර් 5ක් කැලය මැදින් ගිය පසු බදුල්ලගහ ඇල්ල හමුවේ. දෙදියගල කඳවුර දෙහිගහමෝදර සහ බදුල්ලගහ ඇල්ල අසල පිහිටුවා තිබිණි. කඳවුරේ සැපයුම්කරු වූයේ චන්ද්‍රසිරි රත්නායක හෙවත් කලූය. දෙදරු පියෙකු වූ චන්ද්‍රසිරි ගේ නිවසද ගිනි තැබූ අතර සොහොයුරෙකුද ආරක්ෂක අංශ මගින් ඝාතනයට පත්විය.   

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක්.   

 


දෙදියගල වනගත කඳවුරේ ආරම්භයේදී 23ක් සිටි අතර කඹුරුපිටිය කලාප සන්නද්ධ ලේකම් කේ.ජේ. ගමගේ හෙවත් රණතුංග සහ 71 කැරලිකරුවෙකු වූ වැලිකැටියේ ප්‍රේමරත්න එහි නායකයෝ වූහ. පුතෙකු සහ දියණියන් 4 දෙනෙකු ගේ පියෙකු වූ ප්‍රේමරත්න 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව සිටි අතර ඔහුගේ නිවසද 1988 ගිනිතබා විනාශකර තිබිණි. ප්‍රේමරත්න ගේ පස් හැවිරිදි පුත්‍රයාද කැටන්විල හමුදා කඳවුරේ රඳවා තබාගත් අතර ආරක්ෂක අංශ මෙහෙයුම්වලට යනවිට එම දරුවාද හමුදාවේ වාහනයක ඉදිරිපස අසුනේ රැගෙන යන ලදී.   


වනගත කඳවුරේ සිටි දිගනහේනේ බුද්ධසිරි කඳවුරෙන් බැහැරයාමේදී පොලිස් අත්අඩංගුවට පත්ව කිසිදු කරුණක් හෙළිනොකිරීම නිසා ඝාතනයට පත් විය. කඳවුරේ සිටි දෙදියගල ප්‍රේමරත්න සිය පියාගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට නොහැකිවීම නිසා අතේ තිබූ බෝම්බයක් පුපුරුවාගෙන මිය ගියේය. ගම්පහ උපන් ගමරාලලාගේ සුගත් කමල්සිරි 1988 ඔක්තෝබර් 29 පැලවත්ත කඳවුරෙන් ජවිපෙ විසින් මුදවාගත් අයෙකු වූ අතර පසුව ඔහු මාතර දිස්ත්‍රික්කයට එක් වී අනතුරුව කැරැල්ලේ පරාජයෙන් පසු කඳවුරට සම්බන්ධ විය.   


කැරලිකරුවන් ගේ තාක්ෂණික අංශයේ විශේෂඥයෙකු වන කමල් 2018 වනවිට දියණියන් සිව්දෙනෙකු ගේ පියෙකු වන අතර හොරණ පදිංචිය. බිරිඳ මාලනීය. එම දෙපළ ගේ පාර්ශ්වයන්හි 8 දෙනෙක් ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඝාතනයට පත්වූහ. හොරණ ලංකානන්ද හිමි උපැවිදි වී වරල්ලේ දිසානායක නමින් කඳවුරට එක්ව සිටි අතර පසුව රෝහණ නමින් හැඳින්විණි. ඔහුද පසුව හොරණ පදිංචි දෙදරු පියෙකි. දෙවිනුවර තලල්ලේ ජයසිංහ පසුව පැවිදිවී අනුරාධපුරයේ විහාරස්ථානයකට අනුගත විය.   


කඳවුරේ සිටි සෙසු අය අතර පෝරඹ ධර්මේ, දිගනහේනේ පොඩි මහත්මයා, අතුරලියේ හල්ගොඩ සෝමදාස, අකුරැස්සේ දහම්පහල දමින්ද, හක්මන විජේසිංහ, සුරවීර ආරච්චිගේ සමන් කුමාර, හක්මන සිසිර සේනාරත්න, විල්පිට උක්ගස්හේනේ කුමාර බස්නායක සහ අනුර ඇතුළු පිරිසක් විය. දෙදියගල කඳවුර වසර 3කට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය අතර 1992 දෙසැම්බර් 15 විසුරුවා හරින විට එහි සිටි කැරලිකරුවන් සංඛ්‍යාව 6කි.   


දෙදියගල උප වනගත කඳවුර: දෙදියගල ප්‍රධාන කඳවුරට භාණ්ඩ සහ ආරක්ෂාව සලසන උපකඳවුරක් ලෙස මෙය ක්‍රියාත්මක විය. එහි සිටි කැරලිකරුවන් සංඛ්‍යාව 5කි. දොළමාවක පාරේ ගොස් කැලයට ඇතුළු වී කිලෝමීටර් 2ක් පමණ ගියවිට පිහිටුවා තිබිණි. කැටන්විල හමුදා කඳවුරේ කණ්ඩායමක් විසින් 1992 ජූනි 22 කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අකුරැස්ස මාරඹ ‘ජීවය’ නිවසේ පදිංචි ජීවරත්න සුබසිංහ, දෙදියගල අනුර සහ කපිල ඇතුළු 4 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගියහ. දිගනහේනේ පෙදරේරුවෙකු වූ සිරිල් පමණක් එහිදී දිවි බේරාගැනීමට සමත්වූ අතර පසුව ලේනම හමුදා කඳවුරට භාරවිය. කළුතර දිසා ලේකම් වශයෙන් සිටි ඝාතනයට ලක්වූ සුබසිංහ ගේ හිස කඳින් වෙන්කර බංගම හන්දියේ වැටක ගසා තිබිණි. මෙම දෙදියගල උප කඳවුර එම සිද්ධියෙන් පසු විසුරුවා හරින ලදී.   


උඩුගම ඕපාත හල්ගහවල වනගත කඳවුර: අකුරැස්ස උඩුගම පාරේ ඕපාත නගරයේ හල්ගහවල පෙදෙසින් දෙදියගල රක්ෂිතයට ඇතුළු වී කිලෝමීටර් 8ක් ගියවිට වැලිදොළ හෙවත් මහදෙනියේ කැරලිකරුවන් 16ක් සිටි කඳවුරක් විය. නායකයා වීරපානේ උපන් කෝරළේ ආරච්චිගේ සෝමවීරය. බානගල ආනන්ද හෙවත් මල්ලව, වීරපානේ සුමිත්‍ර සමරසිංහ හෙවත් නිශ්ශංක ඇතුළු කිහිපදෙනෙක් එහි විය. එම කඳවුර 1991 නොවැම්බර් 4 විසිරුවා හැරි අතර එහි සිටි කිහිපදෙනෙක් බංගම කඳවුරට අනුයුක්ත වූහ.   
වනගත කඳවුරුවල සිටි ඇතැම් ක්‍රියාකාරිකයෝ ජවිපෙ පිටත ක්‍රියාකාරිකයින් සමඟද සබඳතා පැවැත්වූහ. මාතර දිස්ත්‍රික්කයේ වනගත කඳවුරුවලින් එහි ක්‍රියාකාරිකයින් එක්වී ජවිපෙ මාතර දිසා කමිටුව නමින් සංවිධානයක් 1990 ඔක්තෝබර් ආරම්භයේදී පිහිටවූ අතර එහි රෝනියෝ ප්‍රකාශනයක්ද 1990 ඔක්තෝබර් 29 ප්‍රකාශයට පත්කරන ලදී. ජවිපෙ නායකත්වයේ අනුදැනුමකින් තොරව නාමිකව සිදුකළ එය නායක සෝමවංශ අමරසිංහ විසින් පිළිනොගන්නා ලදී. පසුව එහි අතුරුඵලයක් ලෙස 1996 නොවැම්බර් 15 ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ලෙස කලඑළි බැස්සේ එය වේ.   


මෙවැනි මත ගැටුම් ඔස්සේ වනගතව සහ නාගරිකව සැඟවී සිට ක්‍රියාත්මක වූ කොටස් ජවිපෙ යළි ගොඩනැගීමේ ප්‍රයත්නයක යෙදුණද අත්අඩංගුවට පත්ව රැඳවුම් කඳවුරුවල සිටින කැරලිකරුවන් මෙන් ජවිපෙ කටයුතුවලට විධිමත්ව මැදිහත්වීමට සහ මාක්ස්වාදී පතපොත හැදෑරීම වනගත කඳවුරුවල සිටින කැරලිකරුවන්ට දුෂ්කර විය. එයට හේතුව ආරක්ෂක අංශ විසින් සැඟව සිටි කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීම, ජවිපෙ නායකත්වයේ අරාජිකත්වය හේතුවෙන් සම්බන්ධීකරණයෙන් තොරව ඒවා පවත්වාගෙන යෑම සහ කැරලිකරුවන් අතර කල්ලි කණ්ඩායම් බිහි වී තිබීමය. 


(ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)