පසුගිය සතිය පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වූ කරුණු අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුසියන් සංචාරය ප්‍රමුඛතාවක් හිමි කරගනු ලැබීය. දශක හයක රාජ්‍ය තාන්ත්‍රික සබැඳියාව තහවුරු කරගැනීමට ජනපතිඳුන්ගේ රුසියන් සංචාරය ඉවහල් වූ බව නිසැකය. ආර්ථික, සංචාරක, තාක්ෂණික, අධ්‍යාපනික, සංස්කෘතික ක්ෂේත්‍රයන්ට අදාළලව ගිවිසුම් රැසක් රුසියාව සමග අත්සන් කරනු ලැබීමෙන් ප්‍රතිලාභ රැසක් අනාගතයේ දී රටට හිමිවනු ඇත.


ශ්‍රී ලංකාව නැගෙනහිර යුරෝපය සමග සබඳතා ගොඩනගාගනු ලැබුවේ 1956දීය. 1974 නිල රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවකට අනුව රුසියාවට ගිය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගෙන් පසු රුසියානු ජනාධිපති විලැද්මිර් පුටින්ගේ ආරාධනා අනුව රුසියාවට ගිය රාජ්‍ය නායක නාමාවලියට එකතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ නාමයයි.


රුසියාව සැමකල්හිම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළ රාජ්‍ය පද්ධතියේ ප්‍රමුඛයෙකි. කර්මාන්ත, වාණිජ, වෛද්‍ය, ඉංජිනේරු ක්ෂේත්‍ර තුළ උන්නතියට දක්වන ලද මැදිහත්වීම වෙනත් කිසිදු රාජ්‍යයකට නොදෙවෙනිය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ලබා දෙන අනුග්‍රහය ද විශාලය. කොටි ත්‍රස්තවාදය මැඩලීමේ ක්‍රියාන්විතයේ දී රුසියාවෙන් ලද ගුවන්, නාවුක, තාක්ෂණික සහයෝගය ශ්‍රී ලාංකිකයන් තුළ සදානුස්මරණීය වනු ඇත. එමෙන්ම එක්සත් ජාතිීන්ගේ මහා මණ්ඩල සමුළුවල දී අපේ රටට එල්ල වූ යුද අපරාධ චෝදනා, මානව හිමිකම් කඩවීම් චෝදනා නැගෙන කල්හි සෘජුව ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව පෙනී සිටියේ සදාකාලික දැඩි මිතුරු සෙනෙහස පාමිණි. පසුගිය සතිය පුරාම මේ සම්බන්ධ බොහෝ මාධ්‍ය තුළ තොරතුරු පළ වූ හෙයින් මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ වෙනත් ඉසව්වක් වෙතය.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාන්ගේ රුසියන් රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ලාංකික දේශපාලනයේත්, ලෝක දේශපාලනයේත් තීරක හැරවුම් ලකුණක් මතු කරනු නිසැකය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ව විවේචනයට බඳුන් කළේ ඉන්දියාව ඇතුළු බටහිර කුමන්ත්‍රණයක නිර්මාණයක් ලෙසිනි. ශ්‍රී ලංකා රාජ්‍යය මෙහෙයවනු ලබන්නේ බටහිර රාජ්‍යයන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික න්‍යාය පත්‍රයට අනුගතව බවට ද චෝදනා නැගුණි. බෙදුම් රේඛාවන්ට අනුගත නොවී නොබැදී ප්‍රතිපත්තිය තමාගේ රාජ්‍ය තාන්ත්‍රික දැක්ම බවට පත් කර ගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් භාවිතාවෙන් මෙම අවලාදවලට පිළිතුරු සැපයීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් හා ජාතික ආණ්ඩුව අනුගමනය කරන මාධ්‍යමික පිළිවෙත තවදුරටත් අනුමත කළ අවස්ථාව වන්නේ රුසියන් ජනාධිපති විලැද්මිර් පූටින් මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ රාජ්‍ය තාන්ත්‍රික නිල ආරාධනාව විසිනි. ඒ සංචාරයේදී පිළිගැනීම්, සංවාද, ගිවිසුම් ගත දෑ තුළින් තහවුරු කරන සත්‍යය ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව නිවැරදි පිළිවෙතකට ප්‍රවිශ්ටවී ඇති බවයි.


ශ්‍රී ලංකාව අයත් අපුර්ව හා අනර්ඝ පුරාවස්තුවක් වන කස්ථානයක් රුසියන් ජනාධිපතිවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේනයන්ට මෙම රුසියානු සංචාරයේදී පිරිනමනු ලැබීය.


ඓතිහාසික පුරාවස්තු හා සංස්කෘතික උරුම ලෝලියකු වන රුසියන් ජනපති විලැද්මිර් පූටින් මහතා නිර්ලෝභීව මෙම කස්ථානය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත තිළිණ කිරීම තමාගේ කුළුපග මිත්‍රත්වය හා ළෙංගතුකම ප්‍රකට කිරීමකි. එමෙන්ම ගැඹුරු සංඥාවක් පළ කිරීමකි.


මෙම කස්ථානය 1906දී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට රැගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වැනිදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේදී රාජකීය හා ප්‍රභු භාණ්ඩ වෙන්දේසියක දී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වශයෙන් ද අගයක් ඇති භාණ්ඩයකි. රුසියානු සමුහාණ්ඩුවේ සහ පෞරාණික වස්තුන් රැස්කරන ධනවතුන් සහ ආයතන තුළද මෙවැනි වස්තුන් ඉතා දුර්ලභය. රුසියානු සමුහාණ්ඩුවේ අපරාධ නීති සංග්‍රහයේ 243 වගන්තියේ පෞරාණික වටිනාකමකින් යුතු පුරාවස්තු හා සංස්කෘතික අගයෙන් යුතු වස්තුන්ට හානි කිරීම, විනාශ කිරීම අපරාධයකි. පුරාවස්තු ආරක්ෂා කිරීමේ මෙම වගන්තියට කස්ථානය ද අයත්වේ. මෙය රුසියාවට එතරම් අනර්ඝ වස්තුවකි.


මෙම කස්ථානය 19 වැනි සියවසේදී මෙරට නිමවුවකි. පෞරාණික ආයුධ සම්බන්ධ විශේෂඥයකු වන ඊශ්‍රායල් ජාතික ඇලෙක්ස් ෆර්ගර් මහතාගේ මතයට අනුව මෙම කස්ථානය මහනුවර රාජධානියට අයත් වූවකි. ලාංකික ප්‍රභූ සමාජය ආරක්ෂාවත්, ගෞරවයත් සමාජ තත්ත්වය නිරූපණය කිරීම උදෙසා කස්ථාන පලඳිනු ලැබීය. සාමාන්‍ය ජන සමාජයේ අයට ඒ සඳහා අවසරයක් නොවු අතර යුද්ධයක දී මෙලෙස වාරණයක් නොවු බව සහතිකය. මේ කස්ථානය මහනුවර යුගයේ විසූ ප්‍රභූ නිලමෙ කෙනෙකු පරිහරණය කරන ලද්දක් ලෙස සැලකේ. මෙය ලෝහ ගිනියම් කර කලාත්මක කැටයමින් නිර්මාණය වූවකි. එය රනින් ආලේපිතය. මෙය මි.මී. 480.05ක් දිගින් යුක්තය. මි. මි. 23.5 පළලින් සමන්විතය. එය බහා ඇති කොපුව මී.මී. 535.05 න් යුක්ත වන අතර කොපුවේ පළල මී.මී. 635ක් වේ. නවන ලද තියුණු කඩු තලයක් සහිත වූවකි. කඩු මිටේ පිට කොටස රත්තරන්වලින් උසස් ලෙස නිපදවා ඇත. කඩු මිට රන් පැහැ ලෝහයකින් නිමවා ඇත. කඩු මිටේ ඉහළ කොටසින් මිථ්‍යා සත්වයකුගේ අයාගත් මුඛය දිස්වේ. එම සැලසුම් රටාව සිංහ රුපය මෙනෙහි කරවයි. සිංහයාගේ දෑස් දීප්තිමත්ව තියුණු රත් පැහැයක් සහිත අර්ධ වශයෙන් විනිවිද පෙනෙන ලෙස නිම වූවකි. එය නිර්මාණයට ගත් අමු ද්‍රව්‍ය මිටේ පසුපස ඉහළ කොටස සවිමත් කිරීමට භාවිත කර ඇත. මිට අලංකාර මල් සැරසිල්ලකින් වර්ණවත් කර ඇත.


අත් ආරක්ෂණ වළල්ල කැටයමින් නිර්මාණය කර ඇත. එහි දිගම කොටස වක්‍රව උඩු අතට එනම් මිථ්‍යා සත්වයාගේ මුඛය දෙසට පවතී. එහි කුඩාම කොටස යාන්තමින් උඩු අතට වක්‍රව පවතී. කඩුවේ යටිකුරුව පිහිටා ඇති කොටස් ද කඩුව යට කැටයම් කර ඇති කොටස්ද කඩුව දෙසට වටකුරු කර තිබෙන කොටස්ද මිටට ඇතුළත් මෙම කඩුවේ මල් නිර්මාණ සහ මිථ්‍යා සත්ව නිය ද කැටයමින් සමන්විතය.


කඩු කොපුව පිටත ආවරණය කහ පැහැති ලෝහයකින් නිපදවා ඇත. ඇතුළත ලී තහඩුවකින් නිමවා තිබේ. කොපුව වටා මනරම් මල්වැල් කැටයමින් යුක්තය. මෙය බෞද්ධ නිර්මාණ කෞෂල්‍යය මතු කරන්නකි.


රුසියන් ජනාධිපතිතුමන්ගේ මෙම කස්ථාන තිළිණය හුදෙක් සාම්ප්‍රදායිකව කෙරෙන තිළිණයකට එහා ගිය ජාතික හා ජාත්‍යන්තර සංඥාවක් ලෙස සැලකීම වටී.


පසුගිය දශකය තුළ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූයේ ජාත්‍යන්තර දේශපාලන සබඳතා ගෝලීයකරණයට යටත් බවය. එය නූතනයේ ජාතික ආරක්ෂණවාදී පිළිවෙතකට රාජ්‍ය ප්‍රතිපත්ති සැකසෙන බව සත්‍යයකි. රුසියාව, පිලිපීනය, උතුරු කොරියාව, ඕස්ටේ්‍රලියාව මේ මාවතේ බොහෝ දුර ගමන් කළ රාජ්‍යයන්ය. ඇමෙරිකානු රාජ්‍යය ඩොනල්ට් ට්‍රම්ප් අත්පත් කර ගැනීමෙන් මේ ප්‍රවාහය බටහිර තහවුරු වීම වේගවත් වී ඇත. මේ මාවතට ප්‍රංශය, ජර්මනිය, ජපානය ප්‍රවේශ වූ විට ලෝක යථාර්ථය වනු ඇත්තේ ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුගතව හැසිරෙන විලාශයයි. 


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රුසියාව දක්වන ඓතිහාසික මිතු දම නව අරුතකට ප්‍රවිෂ්ට වීම රුසියන් ජනාධිපතිතුමන්ගේ මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ හමුවීම තුලින් දේශපාලනිකව කියවා ගත යුතුය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්ථාවරත්වයත් ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් රුසියන් ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමේ අභිලාෂය තහවුරු කිරීමක් ලෙස කස්ථාන තිළිණය හරහා අරුත් ගැන්වෙන බව කල්පනා කිරීම වටී.


තම රාජ්‍යයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන් වෙත තිළිණ දීම සම්ප්‍රදායකි. එකී තිළිණ තම රටේ ඓතිහාසික සංස්කෘතික හා පාරිසරික උරුමයන්ට අදාළව සංකේතවත් කරන දෑය. එහෙත් රුසියන් ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත ප්‍රදානය කළ තිළිණය ශ්‍රී ලාංකික අනන්‍යතාව මතුකරන ඓතිහාසික සංකේතයකි. මෙය රුසියාව සංස්කෘතික වස්තුවක් ලෙස රැක ගත්තකි.

රුසියන් ජනාධිපතිතුමන් මේ පෞරාණික වස්තුව යළි ශ්‍රී ලංකාවට ලබාදීමේ සංඥාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පාලනය තමන් පිළිගන්නා බව ධ්නිතවත් කිරීමත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආර්ථික සමෘද්ධිය, ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් අනුදත් මග අනුමත කිරීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සරල නිරහංකාර ජීවන විලාශයත්, ජාත්‍යන්තර සබැඳියා ප්‍රවේශයේ ඇති යථාර්ථය අනුමත කිරීමක් ලෙස ද සැලකිය යුතුය. එමෙන්ම ලාංකික භූ දේශපාලන සිතියම ඇතුළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ස්ථාවරත්වය තහවුරු වී ඇති බව පිළිගැනීමකි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි වන ජාත්‍යන්තරයට බලගතු රාජ්‍යයක් ලෙස රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්භීතව ඍජුව මැදිහත් වන බවට වන සංඥාව ද මේ කස්ථාන තිළිණය විසින් ධ්නිතවත් කරන බව සඳහන් කළ යුතුය.


සනත් දේවින්ද