ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු දිය සුළියක් වැනි යමක් දකින්න ලැබුණි. ඡායාරූප ගන්නා අවස්ථාවේදී චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගෝලයේ කැලැඹීමක් යැයි විද්‍යාඥයෝ මුලින් සිතූහ. කෙසේ නමුත් එය වායු ගෝලයේ කැලැඹීමක් නොවිණි. බැලූ බැල්මට එය දිය සුළියක් ද නොවිණි. ඊට හේතුව, එහි අසාමාන්‍ය වර්ණයයි. චන්ද්‍රිකාවට දකින්න ලැබුණු ‘සුළිය’ දීප්තිමත් ලූමිනස් කොළ පැහැයෙන් යුක්ත විය. ඡායාරූප අනුව නම් එය සාගරය කලඹවමින්, මීටර් දහස් ගණනක් පුරා එය විසිරී පැතිරී පවතී.
ඡායාරූප දකින්න ලැබීමෙන් භූ විද්‍යාඥයෝ ඒ ගැන මවිතය පළ කළහ. ඔවුන්ගේ උනන්දුව ඊට යොමු වූයේ අසාමාන්‍ය දීප්තිමත් කොළ වර්ණය නිසාය. ලොව ප‍්‍රධාන පෙළේ භූ විද්‍යාඥයෝ කිසිවකු මීට පෙර මෙවැනි දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත අද්භූත සුළියක් දැක තිබුණේ නැත. ඒ අනුව, බෝල්ටික් සාගරය කලඹන මෙම ‘දිය සුළිය’ කුමක්දැයි සෙවීම ලහිලහියේ ආරම්භ විය.
චන්ද්‍රිකාව ඡායාරූපයට නැගූ දසුන් විශාලනය කර වැඩි දුරටත් පරීක්ෂාවට ලක් කෙරුණි. එහිදී විද්‍යාඥයන්ට තවත් පුදුමජනක දෙයක් දකින්න ලැබුණි. එනම්, කොළ පැහැති ‘දිය සුළිය’ සේ පෙනෙන මුහුදු කලාපයේ, නැවක් ගමන් කරන අයුරුය. ‘දිය සුළිය’ සැබැවින්ම ප‍්‍රචණ්ඩ දිය සුළියක් නම්, මේ නැවේ ඉරණම තීන්දුවී හමාරය. එය නිසැක වශයෙන්ම මුහුද විසින් ගිලගනු ඇත. එහෙත් එවැන්නක් සිදු නොවිණි. ඒ අනුව, දීප්තිමත් කොළ වර්ණයෙන් යුක්ත ‘සුළිය’ අබිරහසක් බවට පත් විය.
බෝල්ටික් මුහුද පිහිටා ඇත්තේ යුරෝපා මහද්වීපයේය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වැනි යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506 කි. දූපත් රැසක් ද පිහිටා ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප‍්‍රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප‍්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.




බෝල්ටික් මුහුදු පතුළේ ගිලුණු නැව් සහ එම නැව්වලින් රැගෙන යමින් තිබුණු බඩු භාණ්ඩ, පමණක් නොව, සැහැල්ලූ ගුවන් යානා පවා ඇත. ටයිටැනික් නැව මූදුබත් වීමේ මහා ඛේදවාචකයෙන් පසු, ඒ හා සමාන තවත් ඛේදචාචකයක් සිදුවිය. ඒ, ‘එම්.එස්. එස්තෝනියා’ නමැති මගී නෞකාව බෝල්ටික් මුහුදේ ගිලී යෑමේ සිද්ධියයි. එය ද ලොව කැළැඹූ නාවික අනතුරක් ලෙස සැලකෙයි. එම නැව් අනතුරින්, කුඩා දරුවන්, කාන්තාවන්, පිරිමින් ඇතුළු 900 ක පිරිසක් මුහුදේ ගිලී මරුමුවට පත් වූහ.
බෝල්ටික් මුහුදු කලාපයේ මෙතරම් නැව් අනතුරු සිදුවන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන්ට ගැටලුවකි. ඊට හේතුව මුහුදේ ප‍්‍රචණ්ඩ ස්වභාවයද? නැව් සහ නැව්වල ගමන් කරන පිරිස් ගිල ගන්නා බිහිසුණු දිය සුළියක් නිසාද? නිරීක්ෂණ චන්ද්‍රිකාව විසින් ඡායාරූප ගත කරනු ලැබුවේ එවැනි බිහිසුණු දිය සුළියක් ද? යන්න ප‍්‍රශ්නාර්ථයක් විය. මෙවැනි දිය සුළි අභ්‍යවකාශයේ ඇති කළු කුහර වැනි යැයි විද්‍යාඥයෝ පහදා දෙති. කළු කුහර කරන්නේ ද ඊට කිට්ටු වන සියල්ල උරා ගැනීමය.
චන්ද්‍රිකා ඡායාරූපයේ දකින්න ලැබෙන නැව සුළිය දෙසට ඇදී යමින් තිබෙන්නේ, දිය සුළියේ බලයට එය හසුවුණු නිසාදැයි යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයෝ කල්පනා කරන්න වූහ. කෙසේ නමුත්, දිය සුළියක්සේ දිස්වන එය මුහුදේ පුළුල් පරාසයක් පුරා පැතිරී පවතී. එහෙයින්, එය දිය සුළියක් විය නොහැකි යැයි පැවැසිණි. එපමණක් නොව, එය දිය සුළියක් නම්, එය දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වන්නේ ද නැත.
එය දිය සුළියක් නොවේ නම්, එය මුහුදට කාන්දුවුණු කිසියම් දෙයක් විය හැකි යැයි අදහසක් පළ විය. සාගරය දූෂණය වීමක් නිසා සිදුවූවක් යැයි සැක පහළ විය. බෝල්ටික් මුහුදු පතුළේ ඇති යම් ද්‍රව්‍යයක් මතුපිටට මතුවී ආවා යැයි අනුමාන කෙරුණි. ඒ අනුව බෝල්ටික් මුහුද හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු සොයා බැලීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.
නාසිවාදීහු යනු 1933 සිට 1945 තෙක් කාලයේ දරුණු ඒකාධිපති අදහස් දැරූ ජර්මන් සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝය. දෙවැනි ලෝක යුද සමයේ දී, නාසිවරු, ගෑස් කුටි භාවිතා කරමින්, ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ගෑස් කුටිවලට දමා මරා දැමූහ. මිලියන ගණනක් දෙනා එසේ මරා දැමූහ. සිර කඳවුරුවල සිටි සිරකරුවන් යොදා ගනිමින් නාසි විද්‍යාඥයෝ මාරක රසායනික අවි අත්හදා බැලූහ.
බිහිසුණු අනාවරණයකින් විද්‍යාඥයන් කැළැඹුණේ එවිටය. එම අනාවරණය පසුපස දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය සහ නාසි හමුදාවේ සම්බන්ධයක් ද ඇත. නාසිවාදීහු යනු 1933 සිට 1945 තෙක් කාලයේ දරුණු ඒකාධිපති අදහස් දැරූ ජර්මන් සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝය. දෙවැනි ලෝක යුද සමයේ දී, නාසිවරු, ගෑස් කුටි භාවිතා කරමින්, ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ගෑස් කුටිවලට දමා මරා දැමූහ. මිලියන ගණනක් දෙනා එසේ මරා දැමූහ. සිර කඳවුරුවල සිටි සිරකරුවන් යොදා ගනිමින් නාසි විද්‍යාඥයෝ මාරක රසායනික අවි අත්හදා බැලූහ.
යුද්ධය අවසන් විය. ජර්මනිය පරාජය විය. මිත‍්‍ර හමුදාවට නාසිවරුන්ගේ නවීන රසායනික අවි තොග හමුවිය. රසායනික අවි (විස වායු සහ දියර ආදිය) විනාශ කිරීම වහාම කළ යුතු දෙයක් විය. මිත‍්‍ර හමුදා එක්වී, මාරක රසායනික අවි විනාශ කිරීමට තෝරා ගත්තේ අඳුරු බෝල්ටික් මුහුදු පතුළය. බ්‍රිතාන්‍යයත්, එවකට සෝවියට් සමූහාණ්ඩුවත් එක්වී, බැරල්වල දමා හොඳින් සීල් තබා, රසායනික අවි සියල්ල මුහුදු පතුළට දැමුණි. ඔවුන් එසේ මුහුදු පතුළට විසි කළ රසායනික අවි බැරල් තොගය ටොන් 65,000 ක් යැයි පැවැසෙයි.
එසේ නම්, ලස්සන දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන ‘දිය සුළිය’ සැබැවින්ම දිය සුළියක් නොව, දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදා භාවිතා කළ විස රසායන දියර කාන්දුවක්දැයි විය හැකිය. මිත‍්‍ර හමුදා විද්‍යාඥයන්, රසායනික අවි අඩංගු ලෝහ බැරල් මුහුදු පතුළට විසි කළේ ඒවා හොඳින් වසා සීල් තබමිනි. ඒත් දැන් එම බැරල් බෝල්ටික් කරදිය නිසා මේ වනවිට මළ බැඳීමට ලක්වී, විනාශ වෙමින් පවතී. විස රසායන ද්‍රව්‍ය බැරල්වලින් කාන්දුවීම වැළැක්විය නොහැකි දෙයක් බව පැහැදිලිය.
බෝල්ටික් මුහුදේ ගවේෂණයක් කළ කිමිදුම්කරුවන් කණ්ඩායමක් පැවැසුවේ ඔවුන්ට මුහුදු පතුළේ තිබී ‘මස්ටර්ඩ් ගෑස්’ විස රසායනයේ කොටස් හමුවුණු බවය. ‘මස්ටර්ඩ් ගෑස්’ යනු විස රසායන ද්‍රව්‍යයකි. මෙය සම මත දියපට්ටා ඇති කරන වාෂ්පශීලී විස දියරයකි. වර්තමානයේ ‘මස්ටර්ඩ් ගෑස්’ භාවිතය තහනම්ය.
මුහුදු පතුළෙන් ‘මස්ටර්ඩ් ගෑස්’ සංඝටක හමුවීමත් සමඟ නාසි හමුදාවේ විස රසායනික ද්‍රව්‍ය පිරවූ ලෝහ බැරල්වල කාන්දුවක් සිදුවන්නේදැයි සොයා බැලීමට විශේෂ මෙහෙයුමන් ඇරැඹිණි. ලොව ප‍්‍රධාන පෙළේ විද්‍යාඥ කණ්ඩායම් රැසක් ඊට සම්බන්ධ වූහ. මහා පරිමාණයෙන් විස මුහුදට කාන්දුවෙලාදැයි සොයා බැලීමට ඔවුහු පුළුල් ගවේෂණයක් සිදු කළහ. එසේ කාන්දුවක් සිදුවී ඇත්නම් එය මහා පරිමාණයේ පරිසර විනාශයක් එසේත් නැතිනම් සාගර විනාශයක් විය හැකි බවට බිය පළ විය.
චන්ද්‍රිකා ඡායාරූප කෙරෙහි සාගර ජීව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අවස්ථාවේදීය. දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත ‘දිය සුළිය’ ගැන ඔවුන් හොඳින් සොයා බලන්න විය. කොළ පැහැති සුළිය දිය සුළියක් නොවන බවත්, එය නාසි රසායනික විස කාන්දුවක් නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. රසායනික විස කාන්දුවක් නොවුණත්, එය ඊට වඩා බිහිසුණු දෙයක් බව ඔවුහු අනතුරු අඟවන්න වූහ. මිනිසා විසින් නිර්මාණය කළ විස රසායනවලටත් වඩා බිහිසුණු එය ස්වභාවික දෙයකි.
දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන්නේ මාරක ක්ෂුද්‍රජීවීන්ය. කොළ පැහැයෙන් දිස්වන්නේ බෝල්ටික් මුහුදේ පැතිර යමින් පවතින සාගර ඇල්ගී විශේෂයකි. එසේ නම්, එය ලොකු ගැටලූවකි. ඇල්ගී පැතිරයෑම විස රසායනික අවි සේම බිහිසුණු වන්නේ සාගරය ඒවායින් විනාශ වීමය. උඩු ගුවනට දිස්වුණු සුළිය නිර්මාණය වූයේ ක්ෂුද්‍රජීවීන් බිලියන ගණනක් එක්වීමෙනි. සුළිය වර්ග සැතපුම් 1,45,000 ක් පුරා පැතිර පවතී. දිය රැළි මගින් මෙම ඇල්ගී බෝල්ටික් මුහුදේ සිට ලොව පුරා සෙසු මුහුදු සහ සාගරවලට ව්‍යාප්ත වේවි. ඉදිරියේ දී දීප්තිමත් කොළ පැහැයෙන් යුත් ‘දිය සුළි’ මෙන් වැඩි වැඩියෙන් අපට දකින්න ලැබේවි යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අල්ගී ගමන් කරන සැම තැනම සිදුවන්නේ විනාශයයි. ඒවා ජලයේ ඇති ඔක්සිජන් උරා ගනී. එවිට ජලජ ශාක ජීවීන් ආදී සියල්ල මියයයි. සාගරය අමු සොහොනක් බවට පත් කරයි. ඇල්ගී පාලනය කිරීමට නොහැකිව අසීමිත ආකාරයට පැතිර ගියොත් සිදුවන සාගර විනාශය අතිමහත් බව සාගර ජීව විද්‍යාඥයෝ බිය පළ කරති. ‘බෝල්ටික් මුහුදේ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් සුළියේ අබිරහස විසඳූ සාගර ජීව විද්‍යාඥයෝ අවසන් වරට මෙසේ පැවැසූහ. ‘බැලූ බැල්මට ඒක හරිම ලස්සනයි. දීප්තිමත් කොළ පැහැය. නැහැ. ඒක ලස්සන නැහැ. ඒක තමයි මරණයේ පැහැය.’



ලූසිත ජයමාන්න
ඩිස්කවරි නාළිකාවේ ‘වට් ඔන් අර්ත්’ ඇසුරිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd