ලංකාවේ අපූරු තැනක්

මේ ශ්‍රී ලංකාවේ පිහිටි අපූරු ස්ථානයකි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්‍රධාන දුම්රිය මාර්ගය ලෙස හඳුන්වන මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානයත් බෝතලේ දුම්රිය ස්ථානයත් අතර පිහිටි මෙම ද්විත්ව බිංගෙය බෝතලේ බිංගෙය ලෙස ප්‍රසිද්ධව ඇත.
මෙවැනි ද්විත්ව බිංගෙයක් මෙරට දී දැකිය හැකි එකම ස්ථානය එය වන අතර මෙරට ඉදිවූ ප්‍රථම බිංගෙය වන්නේ ද මෙයයි.
1864 වර්ෂයේ දී කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී අදින් වසර 155කට පමණ පෙර මෙය සෑදූ බව වාර්තාවල දැක්වේ. කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේත්, පුත්තලම මාර්ගයේත් ධාවනය වන දුම්රිය හැරුණු විට අනෙක් සියලුම දුම්රිය මේ බිංගෙය යටින් රිංගා යයි. නමුත් දුම්රියේ ගමන් කරන කිසිවෙකුට මෙහි ඇති අපූර්වත්වය දක්නට ලැබෙන්නේ නැත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසය අනුව මෙතැන මුලින්ම ඉදිකර ඇත්තේ එක් බිංගෙයකි. එය දිගින් අඩි 581ක් වන අතර දුම්රිය බිංගෙවල් අංකගත කිරීමේ දී එයට අංක 01 හිමිව ඇත. ඉන් පසු වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ දී මෙතැන තවත් බිංගෙයක් සාදා එය අංක 01 ඒ ලෙස නම්කර තිබේ. මෙම නව බිංගෙය දිගින් අඩි 400කට ආසන්න වන අතර එය මෙරට දුම්රිය මාර්ගයේ උසින් වැඩිම බිංගෙය ලෙස ද සැළකේ. කෙසේ වෙතත් 1925 දී බෝතලේ තිබූ තනි බිංගෙයට තවත් බිංගෙයක් එකතුකිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ දැකිය හැකි අපූරු ස්ථානයක් නිර්මාණය වී තිබේ.
සජීව විජේවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd