භාරතදේව සභාව

මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළ විය.
‘ඔබ බයගුල්ලෙක්..’
ගායන්ගේ කටහඬ ප්‍රකෝපකාරී විය. ඔබ සොයා පැමිණීම ගැන පවා මා කණගාටු වෙනවා.
ගායන්ගේ මේ අපහාස වදන් භීමට ඇසිණි. පස් පාණ්ඩවයන් අතරින් බලසම්පන්නම සහෝදරයා වන භීම, අර්ජුන මෙන් කාරුණික හදවතක් ඇත්තෙකු නොවේ. ඉක්මණින්ම කෝපයට පත්වෙන ඔහු ගායන්ගේ සුරතින් අල්ලා තමන් වෙත ඇද ගත්තේය. ඊළඟට බෙල්ලෙන් අල්ලා දෙවරක් සෙලවූ භීම, ගායන්ට බැණ වැදුණේය.
මගේ සහෝදරයාට අපහාස කරන්න තරම් ශක්තියක් උඔට කොහෙන්ද? දැනගනින් මම උඹව ගෙනිහින් ක්‍රිෂ්ණට බාර දෙනවා. එතකොට ක්‍රිෂ්ණ උඹේ ඉරණම විසඳයි. උඹ වගේ අසමත්ජාතියෙකුට ලැබිය යුතු දඬුවම එයයි.
ගායන්ට හුස්ම ගැනීම අපහසු වී ඇස්දෙක උඩ ගියේය. ඒ සමඟම ජීවිත ආශාව ඉස්මතු වී අමාරුවෙන් සුසුමක් පිට කළේය.
භීමගේ උපදේශය එළෙසින්ම පිළිගන්නට අර්ජුන කැමැති වූයේ නැත. එසේ වෙතත් මේ ගාන්ධර්වයා නාහෙට නාහන එකෙක් බව ඔහු දැන උන්නේය. ඇත්ත වශයෙන්ම අර්ජුන යනු කිසිවකු සමඟ සටන් කරන්නට කැමැති පුද්ගලයෙක් නොවේ. එහෙත් ගායන් හදන්නේ තමන් සටනට ඇද දමන්නටය. විශේෂයෙන් ක්‍රිෂ්ණ සමග සටන් කරන්නට ඔහුට කිසිම වුවමනාවක් නොමැත. අර්ජුන ගායන් දෙස හෙලුවේ කෝප සහිත බැල්මකි.
‘නාරායන, නාරායන’ යන ගීතවත් ස්වරය අර්ජුනට ඇසුණේ ඒ මොහොතේමය. තම පිටුපසින් ඇසුණු ඒ හඬත් සමඟම ඉසිවර නාරදගේ රුව දිස්විය. අර්ජුනත් භීමත් නාරද දෙස බැලූහ.
‘මොකක්ද මෙතන සිද්ධ වෙන්නෙ?
ඉසිවර නාරද විමසුවේය.
සිදුවූ සියල්ල ඔහු නොඅඩුව දැන සිටි නමුදු අර්ජුන මුළු කතාවම විස්තර කර කීවේය.
ඉසිවර නාරද සංසුන්ව කන්දීගෙන සිටියේය.
‘උතුමාණනි, මා කුමක්ද කළ යුත්තේ?’ අර්ජුන අනතුරුව විමසුවේය.
‘කළයුතු කුමක්දැයි මා දන්නේ නැහැ.’
ඉසිවර නාරද හිස සෙලවූයේය. අනතුරුව ගායන් සහ අර්ජුන දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.
‘‘අර්ජුන, මෙතන තියෙන ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මං කැමැති නැහැ. නමුත් ඔබ පොරොන්දු වුණා නම් ගාන්ධර්වයාට පිහිට වෙනවා කියා. ඔබ එය කළ යුතුයි. එය ඔබේ වගකීම. එය ඔබේ කාර්යය.’’
අර්ජුන හිස සැලුවේය. ඉසිවර නාරද පවසන වදන් නිවැරැදි බව අර්ජුන දැන සිටියේය. එසේ නම් ඔහු ක්‍රිෂ්ණ සමග සටනට එළැඹිය යුතුද? තම ආදරණීය මිතුරා සමඟ සටන් කළ යුතුද?
නාරදගේ දඟකාර කම එතෙනින් අවසන් වූයේ නැත. ඊළඟ මොහොතේ ඔහු පෙනී සිටියේ ද්වාරකා මැදුරේය. එහෙත් වෙනදා මෙන් ඔහු පිළිගැනීමට කිසිවෙක් යුහුසුළු වූයේ නැත. මැදුරු සේවකයන් සියල්ලෝම පාහේ අන්දමන්දව සිටියහ. ක්‍රිෂ්ණ ඇවිලෙමින් සිටියේය. එබැවින් සේවකයන් සිටියේ බියට පත්වය.
‘‘ක්‍රිෂ්ණ උතුමාණෙනි. මෙහි කිසියම් වෙනසක් සිදුවී තිබෙන බවක් පෙනෙනවා. ඔබේ දෙනුවන් වෙනස් යම් කිසිවක් සිදුවෙලාද?’’
සංසුන් ස්වරයකින් නාරද ඇසුවේය.
පපුව පිරෙන්නට හුස්මක් ගත් ක්‍රිෂ්ණ මදක් සංසුන් වූයේය. අනතුරුව උදෑසන සිදුවූ සිද්ධිය අඩුවක් නැතුවම විස්තර කළේය.
‘‘ගායන් කියන ගාන්ධර්වයා කොහේ ගියාද කියලා මට හොයාගන්න බැහැ. කොයි මොහොතක හෝ ඔහු මට හමුවුණොත් ඒ මොහොතේම මා ඔහු මරා දමනවා.’’
ඉසිවර නාරද විමතියට පත්විය. ‘‘ඔබ කියන්නෙ ගායන් කියන ගාන්ධර්වයා ගැනද ක්‍රිෂ්ණ?’
ක්‍රිෂ්ණ සිය හිස සලා එය අනුමත කළේය.
‘‘මම දන්නවා ඔහු ඉන්න තැන. ඔහු මේ මොහොතේ ආරක්ෂාව පතා හැංගිලා ඉන්නෙ. ඔහු හංගගෙන ඉන්නෙ කව්ද කියලත් මං දන්නවා....’
‘‘ඔබ කියන්නේ කවුරුන් හෝ ඔහුව සඟවාගෙන ආරක්ෂා කරන බවද?’’
ක්‍රිෂ්ණ උනන්දුවෙන් ඇසුවේය.
‘ඒ කව්ද? ඒ කව්ද?’
ඉසිවර නාරද සිනාසුණේය. ‘‘අර්ජුන... පාණ්ඩව අර්ජුන.. ඔහු තමයි ගාන්ධර්වයාව ආරක්ෂා කරන්නෙ.’
එසේ කියූ නාරද ඉසිවරයා නෙත් යටින් ක්‍රිෂ්ණ දෙස බැලුවේය. තව මොහොතකින් අර්ජුන හා ක්‍රිෂ්ණ අතර හටගන්නා සටන දැක ගැනීම ඔහුගේ ප්‍රාර්ථනය විය.
එහෙත් ක්‍රිෂ්ණ සටන් කරන්නට හිතුවේ නැත.
‘අර්ජුන කරන්නේ ඔහුගේ කාර්යය. ඒ නිසා මා අර්ජුන සමඟ සටන් කළ යුතු නැහැ. ඇත්තටම ඔහු සමඟ සටන් කරන්නටත් මට බෑ....’
ක්‍රිෂ්ණ මිමිනුවේය.
අනතුරුව ඔහු ගියේ තම සහෝදරිය වෙතය. සුභද්‍රා නම් වූ ඇය ක්‍රිෂ්ණගේ මුහුණින් දුටුවේ වෙනසකි.
‘මොකද ක්‍රිෂ්ණ.. ඔබේ පෙනුම වෙනස් වෙලා. මොකක්ද සිද්ධ වුණේ...’
සුභද්‍රා විමසුවාය.
‘‘ගායන් කියන ගාන්ධර්වයා මාව ඔහුගේ අශ්ව කරත්තයට යට කළා සුභද්‍රා ඇස් ලොකු කරගෙන සහෝදරයා දෙස බලා සිටියාය.
නමුත් කුමාරයා ඔහුව මගෙන් ආරක්ෂා කරගෙන සිටිනවා.
සුභද්‍රා බලා සිටියේ පුදුමයෙනි. ක්‍රිෂ්ණ යනු බොහෝ ශක්තිමත් පුද්ගලයකු බව ඇය දැන සිටියාය. එසේම ඔහු බෙහෙවින් ඥානාන්විතය. ක්‍රිෂ්ණ පිළිබඳ කතන්දර රැසක්ම ඇය දැන සිටියාය. ඔහු කිසිසේත්ම පසු බසින්නකු නොවේ. එහෙත් ගාන්ධර්වයා යම් කිසිවකු විසින් සඟවා ගෙන සිටින්නේ නම් ඔහු වෙත ගොස් තම තරහ පිරිමහ ගන්නට ක්‍රිෂ්ණ කටයුතු නොකරන්නේ ඇයිදැයි සුභද්‍රා කල්පනා කළාය.
‘කව්ද ඒ වැඩේ කළේ ක්‍රිෂ්ණ?’
සුභද්‍රා ඇසුවාය.
‘‘ඔබේ සැමියා, ඔෙබ් සැමියා අර්ජුනයි ගායන්ව රැකගෙන ඉන්නෙ.’’
සුභද්‍රාගේ ඇස් දෙක විශාල විය.
‘‘ඒ කියන්නේ අර්ජුන, ක්‍රිෂ්ණට එරෙහි වෙලා. මේක වෙන්න බැරි වැඩක්. අර්ජුන ක්‍රිෂ්ණට එරෙහි වෙලා ඔහු සමඟ සටන් කරයි කියලා මට නම් හිතන්න බැහැ. ක්‍රිෂ්ණ ඔබට යම් වරදක් සිදුවෙලා. කරුණාකර නැවත සොයා බලන්න. කරුණාකරලා.’’
සුභද්‍රා පැවසුවාය.
‘මට විශ්වාස කරන්න අමාරුයි.’
ක්‍රිෂ්ණ, සුභද්‍රා දෙස බැලුවේ මෘදුවය.....‘මට අර්ජුන එක්ක සටන් කිරීමට වුවමනා නැහැ. නමුත් ඔබට පුළුවන් දෙයක් කරන්න. ඔබ ගිහින් අර්ජුන සමග ගායන් ගැන කතා කර බලන්න.’’
සුභද්‍රා මොහොතක් පමා වූයේ නැත. ඇය වහාම පාණ්ඩවයන් වෙත ගියාය. ඇය පළමුව ගියේ අර්ජුන වෙතටය.
‘අර්ජුන, මොකක්ද මේ ක්‍රිෂ්ණ මා එක්ක කියන්නෙ. ඔබ මොනවද මේ කරන්නෙ. ක්‍රිෂ්ණට එරෙහි වුණු මිනිහෙක්ව ඔබ ආරක්ෂා කරනවායි කියන්නෙ. උඹට අමතක වුනාද ක්‍රිෂ්ණ කියන්නේ උඹේ මිතුරෙක් බව. ඥාතියෙක් බව. ඇයි උඹ එහෙම කරන්නෙ?’
‘ඔබ හිතනවද මම ක්‍රිෂ්ණ සමඟ සටන් කරයි කියා....’
අර්ජුන ඇසුවේය. අනතුරුව ඔහු සිදුවූ සියල්ල නොඅඩුවම ඇය සමග පැවසුවාය.
තම සැමියා ගායන් රැකබලා ගන්නේ ඇයිදැයි සුභද්‍රාට පසක් විය.
‘‘ඒ වුණාට අර්ජුන, ක්‍රිෂ්ණට එරෙහි වුණු එකාව ඔබ ආරක්ෂා කරන්න එපා. ඌට යන්න අරින්න...’’ සුභද්‍රා කීවාය.
එවිට අර්ජුන ඇයට කීවේ ඉසිවර නාරද ගේ වදන්ය. ගායන් ආරක්ෂා කිරීම තම කාරිය බව ඉසිවර නාරද පැවසූ අයුරු අර්ජුන, සුභද්‍රාට කීවේය.
සුභද්‍රා ආපසු ද්වාරකාවට ගියාය. ක්‍රිෂ්ණ සිටියේ ඇයගේ වදන් ඇසීමටය.
‘‘මං පරාදයි ක්‍රිෂ්ණ.... මගේ ස්වාමිපුරුෂයා කරන්නෙ ඔහුගෙ වගකීම. නමුත් ඔහු දැනටමත් ඔබ සමඟ සටනින් ජයග්‍රණය කර අවසන්...’’
සුභද්‍රා නෙතු මතුපිට රැඳුණු කඳුළු පිසගත්තාය.
ක්‍රිෂ්ණ හිස සැලුවේය.
‘හෙට මම අර්ජුනට විරුද්ධව සටන අරඹනවා.’
ඔහු තම සොහොයුරිය අමතා කීවේය.
තම හමුදාව කැඳවූ ක්‍රිෂ්ණ අර්ජුනගේ මැදුරට ගියේය. අර්ජුනද සටනට සූදානම් වූයේය. ක්‍රිෂ්ණ ඔහුගේ ස්ථාවරය වෙනස් නොකරන බව අර්ජුන දැන සිටියේය.
‘‘අර්ජුන... නැවත වතාවක් හිතන්න.’’
ක්‍රිෂ්ණ පැවැසුවේය.
අර්ජුන, ක්‍රිෂ්ණ වෙත හෙලුවේ වියළි සිනාවකි.
‘‘ක්‍රිෂ්ණ කරුණාකර මා හා විහිළු කිරීමෙන් වළකින්න. මම මෙතන ඉන්නෙ ඔබත් සමග සටන් වදින්න.’’
ක්‍රිෂ්ණ තවදුරටත් තම කාලය නාස්ති කරන්නට ගියේ නැත. සටන ඇරඹීමට ඔහු තම හමුදාවට අණ කළේය.
ක්‍රිෂ්ණ ගේ හමුදාව පැත්තෙන් ඊතල කිහිපයක් මුදා හැරිණි. එහෙත් ඒ හැම ඊතලයක්ම වළක්වන්නට අර්ජුන සමත් විය. ඔහුගේ පලිහවල වැදුණු ඊතල ටාං හඬ නගමින් බිම පතිත විය. ඊළඟ වටයේදී මුදාහල ඊතල වලටද උරුම වූයේ ඒ ඉරණමමය. ඊතල කොයිතරම් විද්දත් ඒ එක ඊතලයක් වත් අර්ජුනගේ හමුදාවේ සෙබළකුට වැදුණේ නැත.
මේ අයුරින් පැය කාලක් පමණ කළ සටන ප්‍රතිඵල විරහිත විය. කෝපයට පත් ක්‍රිෂ්ණ තමා සතු බිහිසුණු ආයුධයකින් පහර දෙන්නට තීරණය කළේය. ඔහු තමා සතු බිහිසුණුම අවිය වූ සුදර්ශන චක්‍රය එළියට ගත්තේය.
එය දුටු අර්ජුන ද ඔහු සතු භයානකම අවිය වූ පශුපටාස්ත්‍ර අවිය සුරතට ගත්තේය. පශුපටාස්ත්‍ර අවිය වූ කලී ශිව සතු භයානකම අවියකි. මෙය අර්ජුනට ලැබුණේද ශිවගෙනි.
මෙම අවි දෙකම අතිශයින්ම භයානක ප්‍රතිඵල ගෙනෙන ආයුධ දෙකකි. ඇත්තම කිව්වොත් මේවා පරමාණු බෝම්බ වැනිය. මේ අවියක් පුපුරා ගියහොත් ඉන් විනාශ වෙන්නේ අර්ජුනගේ හෝ ක්‍රිෂ්ණගේ හෝ හමුදා පමණක් නොව මුළු ලෝකයමය. එබැවින් තවදුරටත් මේ සටන කරගෙන යන්නට ඉඩ දිය යුතු නැති බව බ්‍රහ්ම වටහා ගත්තේය.
ඔහු වහාම අර්ජුන සහ ක්‍රිෂ්ණ අභියස පෙනී සිටියේය.
‘‘ක්‍රිෂ්ණ අර්ජුන ඔය අවි පහත දමන්න.’’
බ්‍රහ්ම කෑ ගසා කීවේය. ‘ඔය ආයුධ මුළු ලෝකයම වනසා දමනවා. ඔබ දන්නැද්ද ඒ බව. දැන් ඔය සටන නතර කරන්න.’
බ්‍රහ්මගේ අණට කීකරු වූ අර්ජුන සහ ක්‍රිෂ්ණ වහාම සටන නතරකර ඔවුනොවුන්ගේ බිහිසුණු අවි පහත හෙලුහ.
‘මම ඔය ගැටලුව විසඳන්නම්.’
අර්ජුන හා ක්‍රිෂ්ණගේ මැදට පැමිණි බ්‍රහ්ම පැවසුවේය.
අර්ජුනත් ක්‍රිෂ්ණත් සංසුන්ව සිටියහ.
අර්ජුන ඔබ ළඟ සිටින ගායන් දැන් ක්‍රිෂ්ණට බාරදෙන්න.
බ්‍රහ්ම අණ කළේය.
නමුත් අර්ජුන බ්‍රහ්ම දෙස බැලුවේ ඒ ඉල්ලීම ඉටුකරන්නට අකමැත්තෙනි.
‘‘මා කියන දෙයට ඔබ දෙදෙනාම කැමැති විය යුතුයි. වහාම ගායන් ක්‍රිෂ්ණට බාර දෙන්න.’’
බ්‍රහ්ම කීවේ කෝපයෙනි.
ගායන්, බියෙන් බියෙන් ක්‍රිෂ්ණ වෙත ගියේය.
කෝපයෙන් දැවෙමින් සිටි ක්‍රිෂ්ණ ගායන් දුටු පමණකින් ඔහු තමා වෙත ඇද ගත්තේය. කෝපයෙන් දත් මිටි කෑ ඔහු ඊළඟ මොහොතේ ගායන් මරා දැමුවේය.
අර්ජුන, බ්‍රහ්ම දෙස බැලුවේ අසරණවය. තමන්ගෙන් රැකවරණය ඉල්ලා සිටි අසරණයා තම ඇස් ඉදිරිපිටදීම මරා දැමූ විට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් කිව යුතුද?
බ්‍රහ්ම සංසුන්ව අර්ජුන දෙස බැලුවේය. ක්‍රිෂ්ණ දෙස ද බැලුවේය. තම අභිමතාර්ථය ඉටුකර ගත් බැවින් ක්‍රිෂ්ණ සිටියේ සතුටෙනි. එහෙත් අර්ජුන සිටියේ ශෝකයට පත්වය.
කාමන්දලම් බඳුනෙන් වතුර ටිකක් ගත් බ්‍රහ්ම ඒ විශ්මිත වතුර, ගායන්ගේ මළ සිරුර මත ඉස්සේය. මොහොතකට පසු යළි ප්‍රාණය ලද ගායන් ඇස් අර බලා නැගී සිටියේය. කිසිවක් සිදුනොවූ පරිද්දෙන් අර්ජුන දෙස බැලූ ගායන් සතුටින් සිනාසුණේය.
බ්‍රහ්මටත් අර්ජුනටත් ස්තූතිය ප්‍රකාශ කළ ගායන්, ක්‍රිෂ්ණ දෙසද බැලුවේය. ඉන්කිබිති ඔහු තම නිවෙස වෙත යනු පිණිස අශ්ව කරත්තයට නැග්ගේය.
ක්‍රිෂ්ණ, සිනාවකින් මුව සරසාගෙන අර්ජුන වෙත ගියේය. තම මිතුරා දෙස සෝබර නෙතින් බැලූ ක්‍රිෂ්ණ ඔහුගේ සුරත වැළඳ ගත්තේය.
‘‘අර්ජුන, මම මේ සටනට ආවේ ඇයි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති...’’
ක්‍රිෂ්ණ මේ කියන්නට සැරසෙන්නේ මොනවාදැයි තේරුම් ගන්නට අර්ජුන උත්සාහ ගත්තේය.
‘‘ඔබ මේ සටනට පිවිසියේ ඔබේ ආදරණීයම මිතුරා සමගයි. නමුත් මෙය උතුම් සටනක්. ඔබේ අරමුණු වුණේ. ඔබේ ආරක්ෂාව නෙවෙයි. වෙනත් පුද්ගලයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතය පරදුවට තබා කළ සටනක්. ඔබේ අරමුණු උතුම්.’’
අර්ජුන ක්‍රිෂ්ණ වෙත සිනාවක් පෑවේය.
‘‘අපේ මිත්‍රත්වය, ඥාතිත්වය මේ සටන නිසා විනාශ විය යුතු නෑ.’’
ක්‍රිෂ්ණ ඊළඟ මොහොතේ අර්ජුන වැළඳගත්තේය.
ශාන්ත කුමාර විතාන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd