(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙළි කරන්නේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ පසුව  බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන එක්ව ලබන පස් වැනිදා පිහිටුවනු ලබන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ එකඟතාවය ඇතිව  ජනාධිපතිවරණය ජයගත හැකි හොඳම අපේක්ෂකයා සුදුසුම වේලාවේදි ප‍්‍රකාශයට පත් කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ තම පක්ෂය කිසි විටක ජනාධිපතිවරණ අපේක්ෂකයා සුදුසු වේලාවට කලින් ඉදිරිපත්කර පිළුණු කිරීමට සූදානම් නොමැති බවයි.

ලබන පස් වැනිදා නව පෙරමුණ පිහිටුවීමත් සමඟ සිදුකෙරෙන්නේ සියලු පක්ෂ එක්ව ගිවිසුම්ගත වීම බවද සිරිකොත ප‍්‍රකාශකයා කීය.

2015 වසරේදී පිහිටවූ පෙරමුණටත් වඩා ශක්තිමත් පුළුල් පදනමක් සහිතව මෙවර ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ පිහිටුවන බවද සිරිකොත ප‍්‍රකාශකයා සඳහන් කළේය.