1972 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේ එක්තරා දිනයක එවකට මෙරට පැවැති සියලුම පුවත්පත් වල ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එවකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරය ඉසිලූ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් කළ ප්‍රකාශයක් අනුවත් සැකසුණු එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ ගම් මට්ටමේ විසූ එක්සත් ජාතික පාක්‍ෂිකයන් තිගැස්සීමට ලක්වූ කරුණකි. එනම් “ආණ්ඩුවට එක්වන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තමන්ට ආරාධනා කරන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම්” බවයි.


“මොකක්ද මේ ජේ. ආර්. මහත්තයා කියලා තියෙන්නේ? මේ මනුස්සයට පිස්සු හැදීගෙන එනවද?”


එම ප්‍රවෘත්තිය දැක කලබල වූ රටපුරා වෙසෙන එක්සක් ජාතික පාක්‍ෂිකයන් එලෙස ඔවුනොවුන් හා කථා කරගත්තේ එම ප්‍රවෘත්තිය අදහා ගැනීමට පවා නොහැකිවය. 


“මේ ගැන එක පත්තරේක විතරක් පළවෙලා තිබුණ නං බොරුවක්ය කියලවත් හිතන්න තිබුණා. ඒත් ඒ කතාව අද හැම පත්තරේකම වැටිල තියෙනවනේ....!”යි කී එම පිරිස අතර සිටි ඇතැමෙකු ජේ. ආර්. ගේ ‘බ්‍රෙමාර්’ නිවසට දුරකථන ඇමතුම් දුන්නද නිවසේ තිබූ දුරකථන දෙකම එදින උදෑසන සිට අක්‍රීය කර තිබුණේය. එවකට කොල්ලුපිටියේ පිහිටි ‘සිරිකොත’ මන්දිරයට කථා කළ තවත් පිරිසකට අසන්නට ලැබුණේ ඔවුන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. 


මේ අතර ඒ දිනවල තරමක් අසනීප ගතියකින් සිටි එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතා එදින ඬේලිනිවුස් පත්‍රයේ මුල පිටුවේ පළවී තිබුණු එම ප්‍රවෘත්තිය දැක කිසිවක් නොපැවසුවද පැයකටත් වැඩි කාලයක් එක දිගට තම දුම් පයිප්පය ඉරුවේ දැඩි කෝපයකිනි. තම ස්වාමියා එලෙස එක දිගට පයිප්පය ඉරීමේන් ඔහුගේ අසනීප තත්ත්වය වැඩි දියුණු වෙතැයි සිතූ කරෝලිස් නැමැති විශ්වාසවන්ත සේවකයා ලොක්කාගේ දුම්කොළ ටින් එක සඟවා තැබුවේ බැරිම තැනය. 


මේ අතර එදින උදෑසන පුවත්පත්වල පළවී තිබූ එම ප්‍රවෘත්තිය කියවා කලබල වූ තවත් පිරිසක් වූයේ ඒ වනවිට සමගි පෙරමුණ ආණ්ඩුවේ මැති ඇමැතිකම් දැරූ සම සමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලනඥයන්ය. විශේෂයෙන්ම ඔවුන් කලබලවූයේ ජේ. ආර්. ආණ්ඩුව සමග එක්වුවහොත් ආණ්ඩුව තුළ තම පක්‍ෂවලට ඇති බලය අඩුවී යනු ඇතැයි යන සැකයෙනි. 


ඔවුන් තුළ පැවැති එම සැකසංකා දුරුවූයේ “නෑ...නෑ... අපිනං ජේ. ආර්.ට එහෙම දේකට කතා කරල නෑ!”යි එම පක්‍ෂයේ ප්‍රබලයන් කීප දෙනෙකු කළ විමසීමකදී අගමැතිනිය විසින් දෙන ලද පිළිතුරෙන් පසුවය. ඉන් අනතුරුව ඔවුන්ගේ සැකය යොමුවී තිබුණේ එවකට සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි අති බලසම්පන්න පුද්ගලයන්වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයාත්, අගමැතිනියගේ පුත්‍රයාවූ අනුර බණ්ඩාරනායකත් වෙතටය. එහෙත් ඔවුන් කියා සිටියේද තමන් ජේ. ආර්.ට එවැනි අදහසක් නොදුන් බවයි. කෙසේ වෙතත් ජේ. ආර්. ගේ එම ප්‍රකාශය එ.ජා.ප.යේ ප්‍රබලයන්ට එතරම් අරුමයක් දැනවූ පුවතක් නොවීය. එසේ වූයේ ඔහු 1971 දෙසැම්බර් මාසයේ 18 වැනිදා පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමටද ඊට සමාන අදහසක් ඉදිරිපත් කර තිබූ බැවිනි. එහිදී පක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතා ආණ්ඩුව විසින් ගෙනයන ජනතා විරෝධී ක්‍රියා කලාපය මත තම පක්‍ෂය ආණ්ඩුවට එරෙහි වියයුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට පටහැනි අදහසක් ගම්‍යවන සංශෝධනයක් ජේ. ආර්. විසින් ගෙන ආවද ඒ පිළිබඳව පැවැති ඡන්ද විමසීමේදී එම සංශෝධනය අන්ත පරාජයකට ලක්වී තිබුණේය. 


ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එම හිතුවක්කාර ක්‍රියා කලාපය මත ඔහු පක්‍ෂයේ විනය මණ්ඩලය හමුවට කැඳවිය යුතු බවට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත්වී තිබුණේ මේ අතරතුරය. එම විනය මණ්ඩලය අවස්ථා කීපයකදී ඔහු තමන් හමුවට කැඳවා තිබුණද පක්‍ෂයේම වැඩි පිරිසකගේ ඉල්ලීම මත හෙතෙම ඊට සහභාගි නොවීය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ විපක්‍ෂනායක ජේ. ආර්. ජයවර්ධන මහතා එ.ජා.ප.යෙන් නෙරපා හැරීමට පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කිරීමය. 


“එහෙම කොහොමද මාව පක්‍ෂයෙන් අයින් කරන්නේ?”යි ඇසූ ජේ. ආර්. එ.ජා.ප නායක ඩඞ්ලි සේනානයක මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය. 
ජේ. ආර්. තම පක්‍ෂනායකයාට එරෙහිව අධිකරණය හමුවට යාම එකල ඇත්ත සහ ජනදින පුවත්පත් වලට කදිම ප්‍රවෘත්තියක් විය. එහෙත් ලේක්හවුස් සහ ටයිම්ස් පුවත්පත් ඒ ගැන පළකර තිබුණේ ඇල් මැරුණු ස්වභාවයකිනි. දවස පත්‍ර ආයතනය ඒ ගැන මධ්‍යස්ථව ප්‍රවෘත්ති පළකර තිබුණේය. 


“යූ.ඇන්.පී. එකේ ලොක්කන් දෙන්නා හැප්පෙනවා. දැන් ඉතින් ඒ පක්‍ෂය සදහටම කපෝතියි!”


ආණ්ඩුවේ ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට නොයෙකුත් කල කොලොප්පන් කළද ඔවුහු ඊට පිළිතුරු නොදී මඟ ඇර සිටියහ. කෙසේ වෙතත් රටපුරා විසිරී සිටි එ.ජා.ප. අනුගාමිකයන්ට නම් තම පක්‍ෂයේ නායක දෙපළ මෙලෙස ඔවුනොවුන්ට එරෙහිව අධිකරණය හමුවට යාම ඉවසා සිටීමට පවා නොහැකි සිද්ධියක් විය. එසේ වූයේ ඔවුන් තුළ තම පක්‍ෂය කෙරෙහිවූ ළැදිකම නිසාය. 


මේ අතර සිරිකොත මූලස්ථානයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් දිනමිණ පත්‍රයේ පළවූ ප්‍රවෘත්තියක සඳහන් වූයේ නායක දෙපළ සියලු තරහ මරහ අතහැර යළි සමගි නොවුණහොත් තමන් සිරිකොත මංදිරයට පැමිණ සිරුරට ගිනි තබාගෙන මියයන බවට තර්ජනය කරමින් ගම් මට්ටමේ පාක්‍ෂිකයන් කීපදෙනෙකුගෙන්ම ලිපි ලැබී තිබෙන බවයි. 


එහෙත් ඒ කිසිවකුට එවැනි දැඩි තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවීය. එසේ වූයේ එවකට ජා-ඇල එ.ජා.ප. මන්ත්‍රීවරයා වූ පාරිස් පෙරේරා මහතා ඇතුළු තවත් ප්‍රබලයන් කීපදෙනෙකු මැදිහත්වී තම නායකයන් දෙපළ සමගි කරවූ බැවිනි. අන්තිමේදී ඩඞ්ලි සහ ජේ. ආර්. දෙදෙනා නුගේගොඩ පැවැති එ.ජා.ප. රැලියකටද සහභාගි වූයේ ඔවුනොවුන් අතර තිබූ සියලුම අමනාපකම් අමතක කරමිනි. 

 


(රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මහා සම්ප්‍රදායේ කතාව ඇසුරෙනි)

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර