අගනුවරින් පිම්මේ ඇවිත් උපනගරයක මඳක් ගිමන් හැර නැවතත් ගම්බිම් බලා යන බස් රථයකි. 
කටකපා එල්ලාගත් මගීන්ගෙන් බසය පිරී තිබේ. කොන්දොස්තරට සතුටුය. රියැදුරුටත් එසේමය.
බහිනවා....! අයෙක් කියයි. කොන්දොස්තර එය දෙගුණ වන සේ හඬ වැඩිකර රියැදුරුට කියයි. බසය නවතයි නැවතත් ඉදිරියට යයි.
ඉස්සරහ බහිනවා... පස්සෙනුත් බහිනවා... ඔය ඉස්සරහ කඬේ ළඟ දාලා යන්න. ඔය ආදී වදන් රැසක් කොන්දොස්තරගේ කටින් පිටවෙයි.
කෙමෙන් කෙමෙන් බසයේ මගීන් බසයේ ආසන ගණනට අඩු විය. පසුපස අසුනක වාඩි වූ කොන්දොස්තර මුදල් ගනින්නට විය. බැසීමට අවශ්‍ය අය සීනුව නාදකොට බැස ගියේය. 
එක් ප‍්‍රසිද්ධ නැවතුමකට බසය ළඟාවෙද්දී උරහිසක එල්ලාගත් බෑගයක් ද සමග තරුණියක් අසුනින් නැගිට්ටාය. සීනුව නාද කිරීමට අත ඉහළට එසවීය.
නැවතත් අත පහතට ගත්තේය. නැවතත් අත එසවීය. නැවතත් පහතට ගත්තේය. ඇයට සීනුව නාද කිරීමට යම් කිසි අපහසු බවක් තිබිණි.
ඇය සෙමින් සෙමින් බසයේ ආසනවල ඇඳි අල්ලමින් රියැදුරු අසුන ළඟට ළං වූවාය. මුදු මොළොක් අන්දමින් රියැදුරුගේ පිටට තට්ටු කළාය.
රියැදුරුට එය ගණනක් වූයේ නැත. බසය වේගයෙන් ඉදිරියට යයි. ඒත් සමගම යාබද අසුනේ මගියෙක් නැගිට වේගයෙන් සීනුව නාද කළේය. තරුණිය බැස ගියාය.
පිටට තට්ටු කරලත් ඇයි ඔයා බස් එක නතර කළේ නැත්තේ... ඒ ළමයා බෙල් එක ගහන්න උත්සාහ කළා... හුඟ සැරයක්. ඒත් එයා ඉහළට අත උස්සද්දී එයාගේ ඇගේ වැඩි කොටසක් අනෙක් අයට පේන්න ගත්තා. හිරිඔතප් බිඳගන්න බයට තමයි ඔයාගේ පිටට තට්ටු කළේ. මගියා එසේ කියද්දී වේගයෙන් ගමන් කරමින් තිබූ බස් රථයේ තවත් වේගය වැඩිකිරීම සඳහා ගියරයක් මාරු කරමින් මගියාට මෙසේ කීවේය.
හිරි ඔතප්! එයාගේ හිරිඔතප් එයා තට්ටු කරන කොට මම පස්ස බැලූවා නම් බස් එකේ අනෙක් මගීන්ගේ හිරි ඔතප් විතරක් නොවෙයි බිඳෙන්න  ඕන සේරම බිඳෙන්න තිබ්බා...
පොදු ප‍්‍රවාහනයක යනකොට ගැළපෙන ඇඳුමක් ඇන්ද නම් ඔය හැම දෙයක්ම පරිස්සම් කරගන්න පුළුවන්.