තම නිවසේ උඩුමහල කුලියට දී පහත මහලේ තනියම වෙසෙන තරුණයෙකි. හෙතෙම සර්පයින්ට ඉමහත් බියක් දක්වයි. ගැරැඬියෙක් වත්තට පැමිණියත් උඩමහලේ කුලී නිවැසියාට දන්වා ඌ එළවා දැමීමට උදව් ඉල්ලීම ඔහුගේ සිරිතය.
දිනක් කුලී නිවැසියාට රාත‍්‍රිය තම මිතුරකුගේ නිවසේ ගත කිරීමට සිදුවිය. රාත‍්‍රී දහයට පමණ ඔහුගේ ජංගම දුරකතනය නාදවූ අතර ඇමතුම නිවසේ අයිතිකරුගෙන් බව හඳුනාගත් ඔහු ”ඔව් මල්ලී කියන්න” යැයි පැවසීය.
”අනේ අයියේ මල් පෝච්චියේ නයෙක් ඉන්නවා. පල්ලෙහාට එනවද” යැයි තරුණයා විමසීය.
”අනේ මල්ලී මම ඉන්නේ යාළුවෙකුගේ ගෙදර” යැයි පැවසූ විට, ”අයියේ මූ ගේ ඇතුළට යයිද දන්නැහැ” තරුණයා බියපත් හඬකින් පැවසීය.
”හරි හරි බයවෙන්න එපා. තාප්පෙ අයිනේ දිග කෙක්කක් තියෙනවා නේද? ඒක අරගන්න. ගේ ඉස්සරහා පොල් ගහේ මම දැක්කා වේලිච්ච පොල් ඉත්තක් වැටිලා තියෙනවා. ඒකෙන් පොල් කොළ ටිකක් කඩලා පන්දමක් හදාගෙන කෙක්කට බඳින්න. ගේට්ටුවේ ලියුම් පෙට්ටිය ඇතුළේ ගිනි පෙට්ටියක් ඇති. ඒකෙන් පන්දම පත්තුකරලා, ගිනි ගන්න හුළු අත්ත නයාට අල්ලන්න” යැයි පැවසීය.
දුරකතනය විසන්ධි විය. විනාඩි කිහිපයකින් නැවතත් කුලී නිවැසියාගේ දුරකතනය නාද විය. එවිට ඔහු ”මොකද මල්ලී උනේ නයා දිව්වාදැයි” ඇසීය. ”ආ අයියේ ඌ නයෙක් නෙමේ. සර්ප හැවක්” යැයි තරුණයා සිනාසෙමින් පැවසීය. ”එහෙනම් ගුඞ් නයිට්” යැයි පැවසූ කුලී නිවැසියා දුරකතනය නිවා දැමීය. මෙය රාගම නගරයෙන් අසන්නට ලැබුණි.