වේලාව සවස හයයි තිහට පමණය. තරුණයෙක් පරිගණක පොතක් මිලදී ගැනීම සඳහා අගනුවර පිහිටි පොත් සාප්පුවකට ගොඩවිය. පහත මහලේ සිටි තරුණිය ‘‘මොනාද ඕනේ?’’ යනුවෙන් විමසුවාය. ‘‘කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ ඔහුගේ පිළිතුර විය. ‘‘සෙකන්ඞ් ෆ්ලෝ එකට යන්න’’ ඇය කීවාය. එතැනට පැමිණි ඔහුට සේවකයන් දෙදෙනෙක් පිළිසඳරේ යෙදී සිටුනු දැක ගන්නට ලැබුණි. ඔවූහු තරුණයාව දුටුවත් ගණන් නොගෙන කතාව කරගෙන ගියහ. තරුණයා පොත් රාක්කවලින් පරිගණක පොත් සොයන්නට විය.
අවසානයේදී පරිගණක පොත් යනුවෙන් සඳහන් වූ පොත් රාක්කයක් ඔහුට හමුවිය. කතාව නිමාකර පැමිණි එක් සේවකයෙක්, ‘‘මොකක්ද පොත?’’ යනුවෙන් විමසුවේ කිසිම ගරුත්වයක් නොදක්වමිනි. ‘‘මම හොයන්නේ කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ තරුණයා පැවසීය. ‘‘හාඞ්වෙයාර් පොත් නැහැ’’ සේවකයා පොල්ලෙන් ගසන්නාක් මෙන් පිළිතුරු දුනි. තරුණයා තම උත්සාහය අත්නොහැර පොත් එකිනෙක අදිමින් අවශ්‍ය පොත සොයන්නට විය. එවිට පැමිණි තවත් සේවිකාවක් ‘‘මොනාද හොයන්නේ’’ යනුවෙන් ඇසුවාය. ‘‘කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ ඔහු කීය.
එවිට මුලින් කතාකළ සේවකයා, ‘‘ඔයාට මම කලිනුත් කීවානේ හාඞ්වෙයාර් පොත් නැහැ කියලා’’ යැයි පැවසුවේ ඈනුමක් ද මුදා හරිමිනි. කෙසේ හෝ අවසානයේදී නැතැයි පැවසූ ‘‘හාඞ්වෙයාර්’’ පොත තෝරාගත් ඔහු සේවකයින් අමතා, ‘‘කස්ටමර් කෙනෙක් ආවාම ඔයාලගේ ලේසියට පොත් නැහැයි කියන්න එපා. දැක්කානේ නැහැයි කියපු පොත හම්බ වුණා. ඔහොම කම්මැලි වුණොත් ඔයාලගේ මුදලාලිට දෙයියන්ගේම පිහිටයි’’ යනුවෙන් පැවසීය.