දිවි නැඟුම වැඩ සටහන යටතේ වයඹ පළාතේ උපදේශනාත්මක රැස්වීමකි. කාන්තාවන් රැසක්  එක්ව සිටි එහි උපදෙස්  සැපයුයේ විෂය පිළිබඳ දැනුම ඇති උපදේශකවරියකි. ඉස්සර අපේ ගෙවතුවල මිදුලේ ඉඟුරු, කහ, මිරිස්, සේර, කරපිංචා,රම්පේ වගේ දේවල් වවල තිබුණා. මේවාට පෝර  ඕනෑ නෑ. ගොම ටිකක් දැම්මම ඇති. අපට මේ ගැන හොඳ  අත්දැකීමක් තියෙනවා. ඒ පුරුද්ද අද නෑ. අපි මේ ගැන ලජ්ජා වෙන්න  ඕන.  කිවේ සැබෑ වේදනාවකිනි. ”ඒක නං ඇත්ත”කවුරුත්  කීහ. රැස්වීම අවසන්ව ගෙදර එන ගමන් ගෘහණියන් දෙදෙනකු කතා කර ගත්තේ ගෙවත්ත ඒ ආකාරයට සකස්කර ගැනීමටය. පසුදා උදෑසනම කෘෂිකර්ම නිලධාරිනිය හමුවීමට  ඔවුන් ගියේ  රම්පේ, සේර පැළ කීපයක් ඉල්ලා ගැනීමටය. එහෙත් ඇය නිවසේ නොවීය. ඔවුහු තමා පැමිණි කාරණය ඇගේ සැමියාට කීහ. ”අනේ එයාගේ කයිවාරුව. මේ ගෙදර එක මිරිස් පැළයක්වත් නෑ” ඔහු කීවෙන් මේ දෙදෙනාට දෙවියන් සිහිවුනාලූ.