කෙසේ වෙතත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඒ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් තබා ඉඟියක්වත් කර නැත. ඉදිරි ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් මාස හයක්. ඔය මාස හයට මොන ජාතික ආණ්ඩු හැදිල්ලක්ද දැන් තියෙන ආණ්ඩුව ඔය විදියටම යාවි යනුවෙන් තවත් දේශපාලනඥයෝ පිරිසක් පවසති. කෙසේ වෙතත් දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ මාස හයකට හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය පියවරක් ගනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයට තවත් ඇමති ධුර කිහිපයක් අවශ්‍යයි. ශ්‍රීලනිපයෙන් ආපු පිරිසට ඇමති ධුර දෙන්න ඕනේ. එජාපයේ රංගෙ බණ්ඩාර සහ සරත් ෆොන්සේකා වගේ අයට ඇමති ධුර දෙන්න ඕනේ. ඒ නිසා ශ්‍රීලනිපයට කෙසේ වෙතත් එජාපයට නම් අනිවාර්යෙන්ම ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව තිබෙනවා යැයිද දේශපාලන විචාරකයෝ පවසති. මේ අතර තවත් ආරංචියකින් පැවසෙන්නේ ජාතික ආණ්ඩු යෝජනාව සහ එම ජාතික ආණ්ඩුවේ ඇමති ධුර පිළිබඳ ලේඛනය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා තිබෙන බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 70 වැනි උපන් දිනය ඉකුත්දා සැමරුවේය. අගමැතිවරයා උපන් දිනය වෙනුවෙන් ස්ථාන කිහිපයක සාද පැවැති අතර කොළඹ අරලියගහ මන්දිරයේ මෙන්ම කොළඹ තරු පන්තියේ හෝටලයකද සාද සංවිධානය කර තිබිණ. කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබිණ. එම රාත්‍රී භෝජන සංග්‍රහයේදී අග්‍රාමාත්‍යවරයා කතාවක්ද කළේය. ඔහුගේ කතාව අතරවාරයේ විශේෂ දේශපාලන කරුණක්ද අගමැතිවරයා කීවේය. ඇත්ත වශයෙන්ම අපි දන්නවා චීනයේ නායක ඩෙන්ග්සියාඔපින් චීනය ගොඩනගන්න බාරගත්තේ වයස අවුරුදු 70 දී. එතුමා චීනය ගොඩනගන්න සමත් වුණා. ඒවගේ තවත් උදාහරණ ඕන තරම් තියෙනවා. ආදී වශයෙන් රනිල් වික්‍රමසිංහ කරුණු කීවේය. අගමැතිවරයාගේ එම කතාවෙන් ඉඟියක් කරන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ තරගයට එන බවකැයිද දේශපාලන අංශවල කතාබහට ලක්වී තිබේ. මේ අතර අරලියගහ මන්දිරයේ පැවැති උපන් දින සාදයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් අළලා සකස් කළ කෙටි වාර්තා වැඩසටහන් දෙකක් ද ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. අගමැතිවරයාගේ උපන් දින සාදයට ජනාධිපතිවරයා පැමිණ සිටියේ නැති අතර ඇමති සජිත් ප්‍රේමදාස ද අරලියගහ මන්දිරයේ සාදයට පැමිණ නොසිටි බවද පැවසේ.

විජිත් විජයමුණි සොයිසා මේ වනවිට දේශපාලන නූල්බෝලයක පැටලී සිටී. ඔහුට මීළඟ මහ මැතිවරණයේදී තරග කිරීමට දේශපාලන පක්ෂයක් සොයා ගැනීමේ ගැටලුවක් මතුවී තිබේ. විජිත් විජයමුණි සොයිසා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මොණරාගලින් තරගකරනවාද එසේත් නැත්නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනවාද යන්න පිළිබඳව සංවාදයක පැටලී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විජයමුණි සොයිසා එක්සත් ජාතික පක්ෂයට එන්න සාකච්ඡා කරනවා. එතුමාට මොණරාගලින් ඡන්දයට එන්න බැරිනම් කටාන ආසනය ලබාදීමට එජාපය කැමතිවෙලා. කටාන ආසනය එතුමාට විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා විජිතමුණි සොයිසාට කටානෙන් ඡන්දය ගන්න පහසුයි යැයි එජාපයේ ප්‍රබලයෙක් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හවුල්කරගෙන මීළඟ ජනාධිපතිවරණය නොකළ යුතු බවට මහින්ද රාජපක්ෂ පිළේ මන්ත්‍රීවරු කීපදෙනෙක් අදහස් පළකරමින් සිටිති. කාංචන විජේසේකර සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට හවුල් නොකරගත යුතු බවටය. එහෙත් කාංචනගේ සහ රොෂාන්ගේ අදහස්වලට මහින්ද පිළේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. කාංචනලට තාම දේශපාලනය ඒතරම් තේරෙන්නේ නැහැ. මේක බෙදිලා වෙන්වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෛත්‍රීපාලත් හවුල්කරගෙන අනෙකුත් සුළු දේශපාලන පක්ෂත් හවුල්කරගෙන සටනක් කරන්න වෙනවා යැයි එම ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති.

ජිනීවා ප්‍රශ්නයද දිගින් දිගටම අවුල්සහගත තත්ත්වයකට පත්වෙමින් තිබේ. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ ජිනීවාහිදී අත්සන් කළ වාර්තාව තමන් නොපිළිගන්නා බවය. මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන මනෝ තිත්තවැල්ල මහතා අගමැතිවරයාගේ උපදෙස් මත ජිනීවාහි තානාපතිවරයා ලවා මෙම වාර්තාව අත්සන් කළ බවත් ඒ ගැන ජනාධිපතිවරයා දැනුවත් නොවී සිටි බවද එම කතාවලින් පැවසේ. ජිනීවාහිදී අත්සන් කළ වාර්තාවට ජනාධිපතිවරයා එලෙස විරෝධය දක්වද්දී අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තරය දිනාගනිමින් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ආණ්ඩුව ගත් පියවර වඩාත් යහපත් බවය. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතින නොහොඳ නෝක්කාඩුකම් තවත් දුරදිග යවන්නක් බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාකිස්ථාන ජාතික දිනය ඉකුත් 23 වැනි දිනට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් ඉකුත් සඳුදා පස්වරුවේ කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක උත්සවයක් සංවිධානය කර තිබිණ. ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කර තිබූ එම ජාතික දින උත්සවයට දේශපාලන පක්ෂ නායකයන් රැසකටම ආරාධනා කර තිබිණ. මෙවර පකිස්තාන ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ඇමති රාවුෆ් හකීම්ය. මහින්ද රාජපක්ෂ, මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බිමල් රත්නායක, අතුරලියේ රතන හිමි ආදී පිරිසක් පැමිණ සිටි අතර එක්සත් ජාතික පක්ෂයෙන් සහභාගි වූයේ මුජිබුර් රහුමාන්, රෝසි සේනානායක සහ අර්ජුන රණතුංග වැනි කිහිපදෙනකු පමණි. මහින්ද රාජපක්ෂ සහ අමුත්තන් පිරිසක් උත්සව සභාව නිමවීමට පෙරම පිටවී ගිය අතර කතානායක කරු ජයසූරිය පැමිණියේ තරමක ප්‍රමාදයකින් පසුවය. එම උත්සවය අතරතුර දේශපාලනඥයෝ ජාතික ආණ්ඩුව ගැනද සාකච්ඡා කළෝය. මාධ්‍යවේදීන් හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් සඳහන් කළේ කිසිසේත් නැවත ජාතික ආණ්ඩුවක් ස්ථාපිත නොවන බවය.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව පැවසෙන ගෝඨාභය රාජපක්ෂ ඉකුත් බදාදා අලුයම ඇමරිකාව බලා පිටත්ව ගියේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික 
සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය බවය. ගෝඨභය රාජපක්ෂගේ එකම පුත්‍රයා ඇමරිකාවේ 
රැකියාවක නිරතව සිටින අතර ඔහු හමුවීමට සහ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් තිබෙන ගැටලුව 
නිරාකරණය කර ගැනීම සඳහා ගෝඨාභය විදේශගතවෙන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී සිදුවී තිබෙන අතපසුවීමක් නිසා ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් තිදෙනෙක් ඉන්නවා. මුළු සංඛ්‍යාව තුන්දෙනයි. පනතේ සඳහන් වෙන්නේ ගණපූර්ණයත් තුනයි කියලා. යම් හෙයකින් එක් සාමාජිකයකු විදේශගත වුණොත් හදිසියේ රෝගාතුර වුණොත් තීන්දු තීරණ ගන්න බැරිවෙනවා. ඒ නිසා ගණපූර්ණය දෙකක් වෙන්න ඕනේ. නැත්නම් එක් සාමාජිකයකු විදේශ ගතවුණොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු තාවකාලිකව පත්කිරීමේ බලය ජනාධිපතිට තියෙන්න ඕනේ. ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයැයිද සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයට අනුව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව පස්දෙනෙක් කර තිබුණි. එහි ගණපූර්ණය ලෙස සඳහන් කර තිබුණේ තුනකි. 18 වැනි සංශෝධනයෙන් කොමිසමේ සාමාජික සංඛ්‍යාව තුනට අඩු කළත් ගණපූර්ණය වෙනස් කෙරුණේ නැත.

19 වැනි සංශෝධනයෙන්ද ඒක නිවැරැදි වූයේ නැත. වර්තමානයේ යම් ගැටලුවක් මතුව ඇත්තේ පුරප්පාඩුව පවතින දකුණු පළාත් සභාවේ මන්ත්‍රී ධුරයට වෙනත් පුද්ගලයකු පත්කිරීමට නොහැකි වීමය. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් මහතා විදේශගතව ඇති බැවින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සති දෙකක කාලයක් තිස්සේ පමාවෙමින් තිබේ. දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට පත්වීමට නියමිතව සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ උඩින් සිටින ගා.දේනෙත්තිය. මහාචාර්ය හූල් නැවත 
දිවයිනට පැමිණීමට දින කිහිපයක් ගත වන හෙයින් දේනෙත්තිගේ පත්වීම පමාවනු ඇත. මේ අතර දකුණු පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් මස 9 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමටද නියමිතය.

මේ දිනවල දේශපාලන තලයේ තවත් මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ද විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වෙමින් තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විවිධ සංවිධාන නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ දේශපාලන තත්වයන් පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී ද විශේෂ අවධානයක් යොමුවී තිබුණි. ඒ පසුගිය අඟහරුවාදා දිනයේදී ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ නායකයින් හමුවූ අවස්ථාවකදීය. “20 වැනි සංශෝධනය ගැන කතා කරපු හැම දෙනාම කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියලා. ටීඑන්ඒ එක මුල ඉඳලම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටිය බව කිව්වා. මහින්දලා කිව්වේ තමන් එක්ක ඉන්න අනෙක් පක්ෂත් එක්ක මේ ගැන කතා කරන්න ඕනෑ කියලා. රනිල් වික්‍රමසිංහලා කිව්වෙත් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ සමඟ කතා කරලා තීරණය කියන්නම් කියලා. එහෙත් මේ අය කල් ගන්න එක කරන්නේ. 20 මඟහරින්න වෙට්ටු දැමීමක් මේ කරන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. “සමහරු 20ට ආසයි බයයි. සාකච්ඡා කරද්දී කැමැති වගේ පෙන්නුවට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අවුල්වෙයි කියලා මේක මඟහරිනවා. මේ යන විදියට පාර්ලිමේන්තුවේ 2/3ක් ගන්න එක ලේසි වෙන පාටක් නැහැ. පොරොන්දු වෙච්ච අයත් මේක මඟහරින එකයි ප්‍රශ්නේ. සමහරු අපෙන් අහනවා මෛත්‍රී එක්ක මේ ගැන කතා කරන්නේ නැද්ද කියලා. ඇත්තටම මෛත්‍රී තමයි අපිත් එක්ක කතා කරන්න ඕනෑ. මොකද එයානේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු දීලා බලයට ආවේ.” ලාල් කාන්ත කියා සිටියේය. “ඒත් ඇත්තටම අද පාර්ලිමේන්තුවෙ 2/3 ගැන හිතුවොත් මෛත්‍රීට කරන්න පුළුවන් බලපෑමක් නැහැ.” බිමල් රත්නායක පෙන්වා දුන්නේය. 

“ව්‍යවස්ථාවට අනුව කොහොමත් මේ අවුරුද්දේ නොවැම්බර් අන්තිම වෙනකොට ජනාධිපතිවරණයක් තියන්න ඕනෑ. ඒ නිසා ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න වෙනවා. රටේ ජනතාවට මේ දෙපැත්තම දැන් එපා වෙලා. ඒ නිසා අපි පුළුල් ජනතා පෙරමුණක් හදන්න ඕනෑ ජනාධිපතිවරණයත් ඉලක්ක කරලා. අපේ රටේ සිවිල් සංවිධාන, බුද්ධිමතුන්, ඇතැම් දේශපාලන නායකයන් ඉන්නවා මේ ක්‍රමයට විරුද්ධ. ඒ නිසා සියලු දෙනා එකතු කරපු මධ්‍යස්ථානයක් හැකි ඉක්මනින් ගොඩනගන්න පියවර ගන්න වෙනවා.” විජිත හේරත් පැහැදිලි කළේය. “ඔව්, අපි මෙච්චර කාලයක් අපේ නොවන අය සමඟ විවිධ ගිවිසුම් ගහලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පියවර ගත්තා. එහෙත් බලයට ආපු හැම කෙනෙක්ම පොරොන්දු කැඩුවා. ඒ නිසා අපි අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ. අපි පුළුල් ජනතා ව්‍යාපාරයක් එක්ක හොඳ සටනක් දෙන්න ඕනෑ.” ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජනා කළේය.