​රෝගීන්ගේ පීඩාවට සහන ලබාදෙන වැඩ පිළිවෙළක්


මෙලොව ජීවත්වන අපට සදාකාලික නොමැරී ජීවත් වීමට හැකි නම් ඒ තරම් වටිනා දෙයක් නැතැයි කෙනෙකුට සිතිය හැක. නමුත් අවාසනාවකට සත්‍යය එය නොවේ. උපදින සැවොම මරණින් තම ජීවිතය අවසන් කළ යුතුමය.  


ලංකාව දියුණු වෙමින් පවතින රටක් වුවද කලාපීය අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල් සමඟ සංසන්දනය කරන විට බෝවන රෝගවලින් සහ මන්දපෝෂණය නිසා මිය යන ප්‍රමාණය ඉතා අඩුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 වර්ෂයේ ප්‍රකාශිත දත්තවලට අනුව ලාංකික පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 71 ක් වූ අතර කාන්තාවකගේ එය වසර 78 ක් විය. සෞඛ්‍ය පහසුකම්වල දියුණුවත් සමඟ මෙම වයස් ප්‍රමාණයන් තවදුරටත් වැඩිවනු ඇත. මෙවැනි වැඩි ආයු අපේක්ෂාවක පසුබිමක් යටතේ මරණයට හේතු වන කාරණය බොහෝ දුරට නිදන්ගත රෝග වෙයි. මේ අතර පිළිකා නිදන්ගත හෘද, වකුගඩු, අක්මා, පෙනහලු සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ප්‍රධාන වෙයි. මෙම රෝගයන් සෑදුණු විට එම රෝගීන් දැඩි පීඩාවන් මධ්‍යයේ දිගු කලක් ජීවත්වන අතර එම රෝග මර්දනය සඳහා ඉලක්ක කරගත් ප්‍රතිකාරවලට අමතරව ඔවුන්ගේ පීඩාවලට සහනයක් ලබාදී ජීවන තත්ත්වය නගාසිටුවීමට යම් ප්‍රතිකාර ක්‍රමවේදයක් අත්‍යවශ්‍යම වෙයි. නූතන සහන සත්කාරය (Pallative Care) යෝජනා කරනු ලබන්නේ මෙම අඩුව සපුරාලීම සඳහාය.  


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථකථනයන්ට අනුව සහන සත්කාරය වනාහී ජීවිතයට තර්ජනයක් ගෙන දෙන රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවල ගුණාත්මක බව (Quality of Li​fe) නගාසිටුවන ප්‍රයන්තයකි. මෙහිදී මොවුන්ට කායිකව (Physical), මානසිකව සහ සාමාජියකව (Phychosocial) සහ ආධ්‍යාත්මිකව (Spiritual) පීඩා ගෙන දෙන ප්‍රශ්න වළකාලීමටත්, කල්තබා හඳුනාගෙන නිවැරදිව අධ්‍යයනය කර නිසි ප්‍රතිකර්ම කිරීමෙන් සහනය අත්කර දීමටත් කටයුතු කරනු ලැබේ.  

 


සහන සත්කාරය තුළ මෙම රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට විඳින්නට සිදුවන වේදනා, පීඩා සහ අනෙකුත් පීඩාකාරී රෝග ලක්ෂණවලට විසඳුම් තිබේ. කෙසේ වෙතත් මෙහිදී සුවකළ නොහැකි රෝගයන්ගෙන් පීඩා විඳින රෝගීන් ඉලක්ක කර උපකාර කරන අතර ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තහවුරු කරන අතරම ඔවුන්ගේ මරණය සාමාන්‍ය ක්‍රියාදාමයක් ලෙස සලකනු ලැබේ. එසේ නොමැතිව සුවකළ නොහැකි තත්ත්වයේ පසුවන රෝගීන්හට සුව කිරීම ඉලක්ක කරගත් අතුරු ආබාධ බහුල ප්‍රතිකාර ලබා දීමෙන් ඔවුන් ජීවත් වන කෙටි කාලය තුළ අනවශ්‍ය පීඩා රැසකට ඔවුන්ව ලක්කිරීම සාධාරණ නැත. ඇතැම් විට ඉහත ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ නිසා එම රෝගීන් සාමාන්‍යයෙන් මිය යාමට නියමිත කාලයට පෙර මියයාමේ අව‌දානමක් ද ඇත. එබැවින් සහන සත්කාරය මගින් රෝගියා සාමාන්‍යයෙන් සුවකළ නොහැකි තත්ත්වයේ පසුවන රෝගය නිසා ස්වභාවිකව මිය යෑමට නියමිත කාලයට පෙර මිය යාමට හෝ ජීවිත කාලය ඕනෑකමින් දිගුකර හෝ පීඩා විඳින කාලය වැඩි කිරීමට ප්‍රයාස නොකරනු ඇත. කෙසේ නමුත් සහන සත්කාරයේ ඇති හොඳකම නිසා ඉතා උසස් ජීවන තත්ත්වයක් බුක්ති විඳිමින් මෙම රෝගීන් තමුන්ට ජීවත් වීමට හිමිව තිබූ කාලයට වඩා වැඩි කාලයක් ජීවත්වනු නිරීක්ෂණය කර තිබේ. රෝගියා පූර්ණ මිනිසකු ලෙස සලකා ඔහුට හෝ ඇයට හෝ මතුවන කායික ගැටලුවලට අමතරව මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික ගැටලුවලටද සහන සත්කාරය මගින් පිළියම් යෙදීම එහි වඩාත් සාර්ථකත්වයට සහ විශේෂත්වයට හේතු වෙයි.  


ජීවිතයට තර්ජනයක් වෙමින් ජීවිත කාලය සීමාකරනු ලබන රෝගයකින් පෙළෙන රෝගියකු බොහෝ විට සමාජයෙන් ඉවත්ව සිටීමට ප්‍රයාස දරන අතර තමාට කිරීමට හැකියාව තිබෙන වැඩ ප්‍රමාණය පවා නොකර හුදෙකලා වීමට තැත් කරනු දැකගතක හැකිය. පවුලේ සාමාජිකයන් විසින්ද ඔහුට හෝ ඇයට හෝ කිසිදු වැඩක් කිරීමට ඉඩ නොදෙමින් තහංචි රැසක් මධ්‍යයේ තම නිවෙස තුළම සිරකරුවකු බවට පත්කරනු ලබන බව දැකගත හැකිය. නමුත් සිදුවිය යුත්තේ ඊට හාස්පසින්ම වෙනස් දෙයකි. තමාට කළ හැකි සෑම කටයුත්තක්ම කිරීමට හැකි තරම් රෝගියා උනන්දු කළ යුතුය. වෙනදා මෙන්ම නොව මෙහිදී වැඩ කිරීමෙන් බලාපොරොත්තු විය යුත්තේ වැඩය නිම කිරීම නොව තම මානසික සහ කායික තෘප්තිය උදෙසා විඩාව දැනීම වනතෙක් කිසියම් කාර්යයක් කිරීමය. සහන සත්කාරය මගින් රෝගියාගේ මරණය තෙක්ම ඔහුව හෝ ඇයව හෝ හැකි තරම් ක්‍රියාශීලීව තැබීමට අවශ්‍ය පන්නරය ලබා දෙනු ඇත. රෝගියා ජීවත්වන කාලය තුළදීත්, ජීවිතය අවසන් කළ විටදීත් පවුලේ සාමාජිකයන් හට අනේක විධ පීඩාවලට ලක්වීමට සිදුවනු ඇත. සහන සත්කාරය මගින් මෙම පීඩා හැකි තරම් අවම කරගැනීම සඳහා අවශ්‍ය කරන සහාය ලබාදෙනු ඇත. මෙහිදී සාමූහික කණ්ඩායමක් ලෙසට රෝගියාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා දෙන අතර මෙම කණ්ඩායමට වෛද්‍යවරුන්, හෙද නිලධාරීහු, භෞත චිකිත්සකයෝ, මනෝ චිකිත්සකයෝ, ඖෂධවේදීහු, සායනික සමාජ සේවකයෝ, පූජ්‍ය පක්ෂයේ අය සහ ස්​ෙව්ච්ඡා සේවකයෝ අයත් වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සෑම රටකම සමස්ත සෞඛ්‍ය ආවරණය තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක් ලෙස සහන සත්කාර සේවය නම් කර තිබුණද ලංකාව තුළ තවමත් ඉහත සඳහන් කළ සහන සත්කාර කණ්ඩායම නිර්මාණය කර නැත.  


 කිසියම් රටක් තුළ කොතරම් දුරට සාර්ථක ලෙස සහන සත්කාර සේවය ක්‍රියාත්මක වන්නේ ද යන්න තීරණය කරන නිර්ණායකයන් ඇත. ඉන් එකක් වනුයේ මධ්‍ය ප්‍රමාණයේ සහ දැඩි ප්‍රමාණවලින් වේදනා විඳිමින් ජීවිතයට තර්ජනයක් ගෙන දෙන රෝගවලින් පෙළෙමින් මියැදෙන රෝගීන්ගේ එම වේදනා සමනය කිරීමට එම රටවල සෞඛ්‍ය සේවා වසරකට කොපමණ මෝෆීන් ප්‍රමාණයක් යොදාගෙන ඇත්ද යන්නය. වසර 2012 සිට 2013 දක්වා ලංකාවේ පිළිකා නිසා මිය ගිය රෝගීන් ප්‍රමාණය 13950 ක් වූ අතර ඉන් 80% ක්ම මධ්‍යම සහ අධික වේදනා විඳිමින් ද HIV රෝගය නිසා මිය ගිය ප්‍රමාණය 100 ක් වූ අතර ඉන් 50% ක්ම ඉහත ආකාරයට වේදනා විඳිමින් මිය ගොස් තිබුණි. එම කාලය තුළ මෙසේ මියගිය පිළිකා සහ HIV රෝගීන්ගේ වේදනා සමනය කිරීමට ආසන්න ලෙස යොදාගෙන තිබුණේ මෝෆීන් කිලෝ ග්රෑම් 16.3 ක් පමණි. එමගින් වේදනාව සමනය කළ හැකිව තිබුණේ ඉහත රෝගීන්ගෙන් 24% ක ප්‍රමාණයකට පමණි. ඉහත වේදනා විඳිමින් මියගිය HIV සහ පිළිකා රෝගීන් සඳහා අවම වශයෙන් මෝෆීන් 69 kg ක් යොදාගත යුතුව තිබුණි. මෙහිදී වේදනාව සමනය කිරීමට මෝෆීන් අවශ්‍යව තිබූ අනෙකුත් රෝගවලින් පෙළුණු රෝගීන්ට අවශ්‍යව තිබූ මෝෆීන් ප්‍රමාණය ගණනය සඳහා ඇතුළත් කර නොතිබූ බව පාඨක ඔබට වැටහෙනවා ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ සහන සත්කාරය ලැබිය යුතුව තිබෙන රෝගීන්ට ‘හොඳ මරණයක්’ (Good Death) ලංකාව තුළ ලබාගත හැකිද? රටක සහන සත්කාර සේවාවේ ගුණාත්මක බව මනින තවත් නිර්ණායකයක් වනුයේ ‘යහපත් මරණ දර්ශකය’ යි. මෙම දර්ශකයට අනුව ලෝකයේ හොඳම මරණයක් ලබාගත හැකි රට මහා බ්‍රිතාන්‍යය වන අතර එහි මිම්ම 93.9 කි. ලංකාවට හිමි වන්නේ එම දර්ශකය තුළ රටවල් පෙළගැස්වූ කල 65 වන ස්ථානය වන අතර එහි මිම්ම 27.1 කි. වියට්නාමය, මොන්ගෝලියාව සහ කෙන්යාව වැනි දියුණු වෙමින් පවතින රටවල් අපට වඩා ඉදිරියෙන් සිටින බව මෙහිදී ලැජ්ජාවෙන් වුවද පැවසිය යුතුය.  


ලෝක ගිලාන ගිමන්හල් සහ සහන සත්කාර දිනය 2017 වසරේ යෙදී තිබෙනුයේ ඔක්තෝබර් මාසයේ 14 වනදාටය. එම දිනය හෝ නිමිති කරගෙන ඉබිගමනින් දියුණුව කරා යන ලාංකීය සහන සත්කාර සේවයට ප්‍රවේගාත්මක දියුණුවක් අත්කර දීමට පන්නරය ලබා දීමට ලාංකීය වූ අපි එකාමෙන් පෙළගැ​සෙමු. 

 

 

 

 

 

 

 

ෂාම ගුණතිලක  
පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය