​දෙවි පිහිට මිථ්‍යාවක් ද?


සුදු, කළු, රළු, මෘදු, උස්, මිටි, පින්, පව් කුසල් අකුසල් ආදී වශයෙන් විශ්ව ධර්මතාව තුළ බලවේග දෙකක් පවතී. අෂ්ට ලෝක ධර්මතාව ද මේ අයුරින් ලාභ - අලාභ, අයස - යස, නින්ද‌ා - ප්‍රශංසා, සුබ - දුක්ඛ ආදී වශයෙන් මිනිසාට බලපානු ලබයි. පෙනෙන නොපෙනෙන සියලු ජීවීන්ට මෙම ධර්මතාව පොදුය. මෙම ධර්මතාවලින් පෙන්නුම් කරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග ලෝකයේ ක්‍රියාත්මක වෙන බවයි.  


සත්ත්වයන්ගේද, ශාඛ වල ද භෞතික මෙන්ම අභෞතික සියුම් ශරීරයක් (Spiritual Body) ඇති බව අද නවීන පැරා මනෝ විද්‍යාවෙන් (අධි මානසික විද්‍යාවෙන්) (Para Psychology) සොයාගෙන ඇත. එම සියුම් ශරීරයට මනෝමය කය, Astral Body, ඊතරීය ශරීරය ආදී වශයෙන් නොයෙක් නම් එහි යොද‌ාගෙන ඇත.  


 මිනිසුන්ට ඇති භෞතික කය අපට පැහැදිලිව මසැසින් බලාගැනීමට හැකි වුව ද මිනිසුන්ගේ සියුම් ශරීරය අපට බලාගැනීමට මසැසින් නොහැකි වුව ද කිරිලියන් කැමරා ආදී නවීන උපකරණයන්ගෙන් එය බලාගත හැකි වේ. දෙවියන්ගේ ඇත්තේ භෞතික කයක් නොව අති සියුම් සිරුරකි. එය අපට මසැසින් දැකිය නොහැක.  


යක්ෂ, ප්‍රේත, අසුර, පිසාච, භූත, කුම්භාණ්ඩ ආදී පියවි ඇසට නොපෙනන අශුද්ධ ආත්මවලට ද ඇත්තේ සියුම් කයවල්ය. මනෝ විද්‍යාව දියුණු වී ඇතිවුණ පැරා මනෝ විද්‍යාව අනුව බටහිර ලෝකය මෙම භූත තත්ත්වයන් ගැන නොයෙක් පර්​ෙ‌ය්ෂණ කර ඇති අතර තවමත් විවිධ පර්​ෙ‌ය්ෂණ කරගෙන යති.  


අශුද්ධ ආත්මවලින් යුත් භූත කොටස්වලින් මිනිසුන්ට වෙන හිරිහැර ගැන ද විටින් විට අසන්නට ලැබේ. ඈත අතීතයේ සිට භූත ආත්ම ගැන විවිධ කතා ප්‍රවෘත්ති අප අසා ඇත. අපිරිසිදු භූත කොටස්වලට මිනිසුන්ට අණවින කරන්නට හැකි නම් පිරිසිදු ශුද්ධ ආත්මවලට මිනිසුන්ට පිහිට විය නොහැකි වෙන්නේ කෙසේ ද? මුලින් සඳහන් කළ පරිදි කළු පැත්තක් තිබේ නම් සුදු පැත්තක් ද තිබිය යුතුය. එනම් එය ධර්මතාවයයි.  
බුදු පියාණන් වහන්සේ පළමුවැනි සඟ සැට නමට ප්‍රකාශ කළේ “චරත භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සානං” ආදී වශයෙනි. මෙතැනදී බුදුරදුන් මිනිසුන්ගේ හා දෙවියන්ගේ හිත සුව පිනිස දහම් දෙසන්නට යැයි භික්ෂූන් වහන්සේලාට වදාරන ලදී. දෙවියන් නැත්නම් බුදුන් එසේ දේශනා කරත්ද?  


එසේම රතන සූත්‍ර දේශනාවේදී බුදුරදුන් ‘තස්මාහි භූතා නිසාවේථ සබ්බේ, මෙත්තං කරොතමා නුසියාපජාය, දිවාච රත්තෝච හරත්තියෙ බලිං, තස්මාහිනෙ රක්ඛථ අප්පමත්තා’ යනුවෙන් දේශනා කළ සේක. එහිදී කියැවෙන්නේ තස්මාහි (යම් හෙයකින් තොපි එබඳු දෙව්ලොව සැපත් හැර බණ අසනු පිනිස ආවුද? මාගේ දේශනාව අති දුර්ලභ ද නොයෙක් අනුසස් ඇද්ද) එහෙයින් භූතා (අමනුෂ්‍යයෙනි) නිසාවේථ (මාගේ දෙසුම් අසව්, මානුසියා පජාය (රෝග මනුෂ්‍ය දුර්භික්ෂ ත්‍රිවිධොපද්‍රවයෙන් උපදෘත වූ) මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි, සබ්බේ, හැම දෙනාම, මෙතතංකරොථ, මෛත්‍රී කරව්. යම් මිනිස් කෙනෙක් දහවල් ද රාත්‍රියෙහි ද, බලිං හරන්ති (දෙවතා ප්‍රතිමා කොට දෙවොල් ආදියෙහි පුෂත දියෙන් හා නොයෙක් ද‌ාන මානාදියෙන් පූජා කෙරෙද්ද (පින්දෙද්ද) ඒ හෙයින් ඔවුන් අප්‍රමාදව රකිව් (ආචාර්ය දෙවුන්දර ශ්‍රී වාචීස්සර නාහිමියන්ගේ පිරුවානා පොත් වහන්සේ නම් යුත් මහ පිරිත් පොත)  


බුදුරජාණන් වහන්සේ තමන්ට දිවා රෑ දෙකෙහි පුදපූජා කරන ඒ මනුෂ්‍යයන් ආරක්ෂා කරන ලෙස සෘජුවම දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලා සිටි බව එතැනදී අදහස් කරයි. මිනිසුන් දිවා රෑ පුද පූජා බලි බිලි දෙන්නේ දෙවි දේවතාවුන්ටය.  


බුදු පියාණන් වහන්සේ එසේ වද‌ාරණ විට අවශේෂ අපි කෙසේ කිව යුතු වේද?  


එම පිරුවණා පොත් වහන්සේගේ මහා සමය සූත්‍රයේ ද දස දහසක් සක්වල දෙවිවරුන් බුදුහිමියන් ප්‍රමුඛ රහතන්වහන්සේලා බැහැදැකීමට කිඹුල්වත්පුර සමීපයේ මහා වනයට පැමිණ දහම් ඇසූ බව සඳහන් වේ. එම පිරිත් පොතේ මංගල සූත්‍රය ද දේශනාකොට වද‌ාළේ දෙවිකෙනෙකුටය. බුදු දහම දේව සංකල්පය ප්‍රතික්ෂේප නොකරයි.  


දෙවියන් ප්‍රතික්ෂේප කරන අමුතු රැල්ලක් අද බිහි වී ඇත්තේ නව විලාසිතාවක් ලෙසටය. අමුතු පැෂන් එකක් යැයි සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්විය හැකිය. බලංගොඩ ආනන්ද මෛත්‍රිය, රේරුකානේ චන්ද විමල වැනි නාහිමියන් දෙවියන්ට පුදපූජා පැවැත්වීමෙන් අවැඩක් සිදුනොවන බවත් සරණශීලය නොබිඳෙන බවත් තමාට අභිවෘද්ධිය සිදුවෙන බවත් එම හිමිවරුන්ගේ ලිපි ලේඛනවල සඳහන් කර තිබේ.  


වසර දහස් ගණනක සිට බෞද්ධයන් පිරිත් සජ්ඣායනා කොට දෙවියන්ට පින් දී දෙවි රැකවරණය අද දක්වා ලබාගෙන ඇත. මෙම සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙන්නේ ඒවායින් මිනිසාට දෙවි රැකවරණය ලැබෙන බවය. දීඝ නිකාය, මහා වග්ගය, මහා පරිනිර්වාණ සූත්‍රය, සප්ත අපරිහානිය ධර්ම රැකීම නිසා වජ්ජීන් කිසිවෙකුට යටත් කළ නොහැකි බවත්, දෙවියන් විසින් ඔවුන් ආරක්ෂා කරන බවත් එහි දැක්වේ.  


බුදුහිමියන් දේශනා කොට වද‌ාළේ දෙවියන්ට මිනිසුන්ට පමණක් නොව රට රාජ්‍යවලට පවා ආරක්ෂාව සැපයිය හැකි බවයි. සමහර අය දෙවියෝ සිටී නම් මෙවැනි රෝග පැතිරෙන්නේ කෙසේ දැයි අසයි. බුදුහාමුදුරුවෝ සිටියදී විශාලා මහනුවර තුන්බිය ඇති වූයේ මන්දැයි ඇසිය යුතුය.  


අද කොරෝනා වසංගතය ලොව ඇති වූයේ ස්වභාවධර්මයේ ක්‍රියා ප්‍රතික්‍රියා හේතුවෙනි. මිනිසා ආධ්‍යාත්මයෙන් පිරිහෙන විට ශීලයෙන් ගුණයෙන් පිරිහෙන විට ස්වභාවධර්මය පවා කිපේ. එවැනි වසංගතයක් දැන් උද‌ා වී ඇත.  


දෙවියෝ නැතිය, දෙවි පිහිට නැතිය යන්න කීමට වඩා සාධාරණ වෙන්නේ දෙවිපිහිට ලබා ගැනීමට අප සුදුසුකම් ලබා නොමැති බවය. එම සුදුසුකම ලබන්න නම් අඩුගනනේ පන්සිල් පද පහ හරියට රැකිය යුතුය. පන්සිල් ආරක්ෂා කර ද‌ාන ශීල භාවනා ආදී කුසලකර්ම කර දෙවියන්ට පින්දීමෙන් ආරක්ෂාවක් සලසා ගත හැක. සතුන් මරා මස්කමින්. මත්වතුර බොමින්, දුරාචාරයේ යෙදෙන මිනිසුන්ට කවර දෙවියෙකුට පිහිට වෙන්නට හැකි වේද? එවැනි මිනිසුන් ළංවෙන්නේ යක්ෂයන්ටය. යක්ෂයන්ගෙන් පිරුණ ලොවක් විනාශයෙන් විනාශයට පත් වේ.  


 මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන ගුණාංග වර්ධනය කොටගෙන ආගමික වත් පිළිවෙත්වල යෙදී දෙවියන්ට පිං අනුමෝදන් කිරීමෙන් දෙවි පිහිට ලබාගත හැකි වේ. පිරිත් සජ්ඣායනා කිරීමේදී ද එයින් ගුණයක් ලැබෙන්නට එය කියන අයත්, අසන අයත් සිල්වත් ගුණවත් අය විය යුතුය. වැඩි ප්‍රතිඵලයක් ලැබෙන්නේ එසේ වුවහොත් පමණි. එසේ නොවුනහොත් ප්‍රතිඵල අල්ප වේ.  


 බුදු දහම අනුව හා පැරා මනෝවිද්‍යාව අනුව බැලුවත් ඉතා සියුම් ශරීරවලින් යුතු දෙවිවරුන් සිටින බවත් අපේ සිල්වත්කම ගුණවත්කම අනුව ඒ අයට අපට පිහිට විය හැකි බවත් ප්‍රකාශ කරමි. ආගම් භේදයකින් තොරව පන්සිල් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සියලු සත්ත්වයන්ට මෛත්‍රිය පැතිරවීමෙන් විශ්ව ශක්තියත් දෙවියන්ගෙන් ලැබෙන පිහිටත් ලබාගත හැකි බව දහමට අනුව කිවහැකි වේ. ඔබට නිරෝගීව සිටින්න අවශ්‍ය නම් අඩුම තරමෙන් මස් මාංශ අනුභවයෙන් වෙන් වී, මත්වතුරෙන්, ඉවත් වී දුරාචාරයේ නොයෙදී ඉන්න. ඔබව නිරෝගී, සුවපත් වී නිදුකින් ජීවිතය ගතකිරීමට හැකිවනු ඇත. 

 

මනෝ විද්‍යා උපදේශක  
ආචාර්ය ජී. හල්ගස්වත්ත