සන්නිවේදන විද්‍යාව පිළිබඳව ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය


ලක්‌බ්මේ නම තැබූ දියණියෝ

වාසනා මෛත්‍රී හේරත්

“මම කුඩා කාලයේදී ඉගෙනීමට ඒ තරම් උනන්දුවක් තිබුණ ළමයෙක් නෙමෙයි. මම හිතාගෙන හිටියේ මට ඉගෙන ගන්න බැහැ, මම අදක්ෂ ළමයෙක් කියලා. දවසක් මගේ තාත්තා කිව්ව පුතේ, අපිට දෙන්න දෑවැදි වත්කම් නැහැ. දෙන්න තියෙන එකම දෑවැද්ද අධ්‍යාපනය විතරයි කියලා.  


පාසල් කාලේ ඉගෙන ගන්න ආසාවක් උනන්දුවක් නොතිබුණු මාව මහාචාර්යවරියක් දක්වා ගෙනාවේ මගේ අප්පච්චිගේ ශක්තිය. ඒත් අදටත් මට විශාල දුකක් තියෙනවා. මොකද අප්පච්චිගේ හීනය එයා ජීවත්ව ඉද්දී මට සැබෑ කරන්න බැරි වුණා... විශ්වවිද්‍යාල අවසාන විභාගයේ පළමු පන්තියේ සාමාර්ථයක් අරගෙන තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට මට යන්න පුළුවන් කියන සතුටුදායක පුවත අරගෙන ගෙදර එනකොට තාත්ත අපිව මේ ලෝකේ තනිකරලා යන්නම ගිහින්... එදා මගේ ලෝකයම කඩා වැටුණත් අප්පච්චි වෙනුවෙන් එයාගේ හීනය දක්වා මම යනවා කියන ධෛර්යය එදා මම හිතට ගත්තා... ඒ අාපු ගමන තමයි මේ”.   


ඇයගේ හඬ හැඟීම්බර විය...  


සෑම කෙනෙකුටම ජීවිතේ හීන කියන දේවල් දවසින් දවස වැඩිවෙනවා. ඒ සමහර හීන කාලයත් සමඟ නැති වෙලා යනවා. සමහර හීන මැරෙනකම්ම හදවතේ තැන්පත් වෙලා තියෙනවා. හැබැයි ඒ හීන ඉලක්ක කරා යන්නේ බොහොම අතළොස්සයි. විශේෂයෙන් පිරිමියාට වඩා ගැහැනියට තමන්ගේ ඉලක්ක කරා යෑම අභියෝගාත්මකයි. ඒ අභියෝග ඉතාම කෙටි කාලයකින් සැබෑ කරගත් මේ අපූරු කතාව මහාචාර්යවරියක පිළිබඳවය. අද මවක් බිරිඳක් මෙන්ම රැකියාව සහ සමාජ පරිසරයේ අවශ්‍යතා හිසේ පටවාගත් ඇය සැමවිටම බාහිරින් දකින ළද බොළඳ ලලනාවට වඩා ශක්තිමත් ගැහැනියක යැයි ඇගේ කතාව උදාහරණ දෙනු ඇත.   


ඇය මෙරට සන්නිවේදන විද්‍යාව පිළිබඳ පත්වූ ලංකාවේ ළාබාලම මහාචාර්යවරියයි. ජනසන්නිවේදනය පිළිබඳව මෙරට සිටින මහාචාර්යවරුන් අතළොස්ස අතරට සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් එකතුවීම ආඩම්බරයක් සේම විශේෂත්වයකි. ජීවිතය ධනාත්මක සහ ආත්ම ශක්තියෙන් ගොඩනගා ගැනීමට දිරිය ගත් ගැහැනුන් අතර ඇගේ කතාව තවත් සුවිශේෂි කතාවකි. ඇය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වගේම මෙරට සන්නිවේදන විද්‍යාව පිළිබඳව ලංකාවේ ළාබාලතම මහාචාර්යවරිය ද වෙන වාසනා මෛත්‍රී හේරත් මහත්මියයි.   


බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයෙන් සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරූ ඇය කුඩා කාලයේ සිටම කලාවට බොහෝ සෙයින් ප්‍රියකළ අතර නර්තන හැකියාවද නැටුම් ගුරුවරියක වන මවගෙන් ඇයට දායාද විය. 

 
“මගේ අම්මයි අප්පච්චියි දෙන්නම ගුරුවරු. අම්මා නැටුම් ගුරුවරියක් මම පවුලේ දෙවැනි දරුවා. මට ඉන්නේ අක්කයි නංගියි මල්ලියි. අපි අතර පුංචි කාලේ ඉඳලා හරිම ශක්තිමත් බැඳීමක් තිබුණා. ඒ වගේම අම්මයි අප්පච්චියි ගුරුවරු නිසා අපිට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඒ දෙන්නා ගොඩක් මහන්සි වුණා. ඒ වගේම ගෑනු දරුවෝ තුන්දෙනෙක් නිසා අප්පච්චි අපිව පරිස්සම් කළේ මැණිකක් වගේ. අඩුම තරමේ අප්පච්චි මත්පැන් බොන යාළුවෙක්වත් ඒ දවස්වල ගෙදරට එක්ක එන්නේ නැහැ. අපිව හරියට ආරක්ෂා කළා. අපි හරිම සාමාන්‍ය පවුලක්. ලොකුවට සල්ලි භාගේ තිබුණේ නැහැ. හැබැයි අප්පච්චි ළඟ අපිට දෙන්න බැහැ කියලා දෙයක් තිබුණේ නැහැ. දෙමාපියෝ දෙන්නට ලැබුණේ පොඩි වැටුපක් වුණත් අපිට උගන්වන්න අම්මයි අප්පච්චියි සෑහෙන දුක් වින්දා. ඒවා අපි දැක්කා. අපි වෙනුවෙන් දුක් විඳින හැටි දැක්කම සාමාන්‍ය පෙළ කිට්ටු වෙනකොට මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කියලා හිතුණා. මට ඕන වුණේ අම්මගේ අප්පච්චිගෙයි දාඩිය කඳුළුවලට වටිනාකමක් දෙන්න”.  
අපොස සාමාන්‍ය පෙළ කඩඉමෙන් ඌව පළාතේ ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිඵල ලබා ගත් ඇය උසස් පෙළ සඳහාද කලා විෂයයන්වලට යොමු වෙමින් ඒ සාමාර්ථ 4ක් ලබා ඌව පළාතේ විශිෂ්ටයන් අතරට ඇය එක්විය.   


 “සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණාම ගොඩක් දෙනා කිව්වේ විද්‍යාව අංශයෙන් හරි ගණිත අංශයෙන් හරි උසස් පෙළ කරන්න කියලා. ඒත් මට ඕන වුණේ කලා අංශයෙන් උසස් පෙළ කරන්න. අම්මා නැටුම් ගුරුවරියක් නිසා මමත් නර්තන සම්ප්‍රදායන් කිහිපයක් ප්‍රගුණ කළා. පාසල් කාලේ මම ලොකු වෙලා අරයා වෙනවා මෙයා වෙනවා කියලා හීන බලාපොරොත්තු තිබුණේ නැහැ. ඉගෙන ගන්න උනන්දුවක් ආසාවක් නොතිබුණු මට ඉගෙන ගන්න ආසාව ඇති කරලා අරමුණු ඔස්සේ ගෙනියන්න අප්පච්චි ගොඩක් මහන්සි වුණා. ඇත්තටම මගේ නංගියි අක්කයි මල්ලියි මට වඩා ඉගෙන ගන්න හරිම දක්ෂයි. උසස් පෙළට ආවට අම්මගේ උනන්දුව එක්ක මහන්සිවෙලා වැඩ කළා. හැබැයි ඒ කොතනකවත් කථිකාචාර්යවරියක් වෙන්නවත් මහාචාර්යවරියක් වෙන්නවත් මගේ හීනෙකවත් තිබුණේ නැහැ. අඩුම තරමේ මට එහෙම හිතිලාවත් නැහැ. කොහොම හරි උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේත් මට ඕන වුණේ නර්තනය දිගටම හදාරන්න ඒ අතරතුර ජනසන්නිවේදනය කියන විෂය ටිකක් අධ්‍යයනය කරන කොට ඒකට ආසාවක් ඇති වුණා.   


ජනසන්නි​වේදන උපාධිය හදාරන්න කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී රූපවාහිනි නිවේදිකාවක් ලෙසද ඇයට කටයුතු කරන්නට අවස්ථාව උදා විය. බාහිර වැඩ කටයුතු අතරතුර ඇය අධ්‍යාපන කටයුතුවලටද මුල් තැන දෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය සඳහා ප්‍රථම පංතියේ ගෞරව සාමාර්ථයක් හිමිකරගත්තාය. ඉන්පසුව 2004 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක ලෙස පත්වීම් ලැබූ ඇය අනතුරුව රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරියක් ලෙස පත්වීම් ලැබුවාය. එතැනින් ඇය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ එහි ආරම්භක කථිකාචාර්වරියක ලෙසය.   
“මම ජනසන්නිවේදන විශේවේදි උපාධිය සඳහා ප්‍රථම පංතියේ ගෞරව සාමාර්ථයක් හිමිකරගත්තත් කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන්න ලැබේවි කියලා විශාල බලාපොරොත්තු තියාගත්තේ නැහැ. මම කොහොමත් ජීවිතේ කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙමෙයි. කොහොම හරි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට කථිකාචාර්වරියන් බඳවා ගන්නවා කියලා දැකපු දැන්වීමට මමත් අයදුම් කළා. ඒත් ඒ විශ්වවිද්‍යාලයේ මගේ විෂය තිබුණේ නැහැ. එහි සන්නිවේදන කුසලතා කියලා විෂයක් තිබුණා. ඒක සෑම සිසුවෙකුටම අනිවාර්ය විෂයක්. මම ඒ විෂයට අයදුම් කළා. එදා පටන් 2006 ඉඳලා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භ කළ දිනයේ ඉඳලා අද වෙන තෙක් අවුරුදු 15ක් මම එහි සේවය කරනවා”. 

 
එතකොට ඔබ ආචාර්ය උපාධිය ලබා ගත්තේ? මාගෙන් පැනයකි. 

 
“ආචාර්ය උපාධිය ලබා ගත්තේ 2014. එහිදී මම පර්​ෙ‌ය්ෂණය කළේ තරුණ දරුවන්ගේ සන්නිවේදන කුසලතා යන විෂය. සන්නිවේදන මනෝ විද්‍යාව, වෘත්තීය අධ්‍යාපනය වැනි විෂයන් හදාරලා විශ්වවිද්‍යාල සිසුන්ගේ සන්නිවේදන කුසලතා සංවර්ධනය කරන්න අවශ්‍ය ආකෘතියක් සහ ඉගෙනුම් විධි ගැන මම විශ්වවිද්‍යාල විෂය නිර්දේශයට හඳුන්වා දුන්නා...   


සන්නිවේදන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි, දර්ශනපති, දර්ශන විශාරද, ආචාර්ය උපාධිය අද මහාචාර්ය දක්වා ඉක්මණින්ම ඒ ඒ කඩයිම් පසු කරන්නත් අවස්ථාවන් ලැබුණා. ඒක ඇත්තටම වාසනාවක් විදිහට මම දකිනවා.   


මම කථිකාචාර්යවරියක් විදිහට එනකොට සුදුසුකම් තිබිලත් සුදුසු තැන නොලැබුණු අවස්ථා අභියෝග තිබුණා. පළමු දේ ගැහැනියක් වීම, බොහෝ තැන්වලදී අපිට අභියෝගයක්. හැබැයි දක්ෂතාව තිබුණට ඉක්මණින් ඒ කඩයිම් පසුකරලා යන්න පුංචි වාසනාවක් මට තියෙන්න ඇති කියලා හිතනවා. හැබැයි බොහෝ තැන්වලදී ගෑනු ළමයෙක් වීම අවාසියක් වුණා.   


පුංචි කාලේ මට පිරිසක් ඉදිරියේ කතා කරන්න හයියක් තිබුණේ නැහැ. පාසල් කාලේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගැටලු තිබුණා. ඉංග්‍රීසි ඉගෙන යන්න හරිම අමාරු වුණා. ඉංග්‍රීසි බැරි නිසාම සමහර වෙලාව ඉගෙන ගන්න ආසාව අඩු වුණා. ඉංග්‍රීසි හදාගත්තේ උසස් පෙළට ආවට පස්සේ. තනි උත්සාහයෙන්. සමහර තැන්වලදී ප්‍රතික්ෂේප වුණ නිසාම මම උනන්දුවෙලා ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අද මම විශ්ව විද්‍යාලයේ උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එදා සමාජය ඉදිරියේ කතාකරන්න ආත්ම ශක්තියක් නොතිබුණු මම අද ජාත්‍යන්තර මට්ටමට ගිහින් කතා කරනවා. ඒ හැම දෙයක්ම මම ජීවිතේ උත්සාහයෙන් ගොඩනගාගත්ත දේවල්. මට බැරි වුණ කිසිම දෙයක් මම බැහැ කියලා අතහැරලා දැම්මේ නැහැ”.   


අන්තර්ජාතික මට්ටමේ පර්​ෙ‌ය්ෂණ ලිපි ගණනාවක් පළ කර ඇති මහාචාර්යවරිය අන්තර්ජාතික ප්‍රකාශන කිහිපයකම සංස්කාරක මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරන්නීය.   


“මගේ අත්දැකීම් අනුව විශ්වවිද්‍යාල හෝ පාසල් සිසුවකු​ගේ මනස වෙනස් කිරීම මගින් ඒ දරුවා සම්පූර්ණයෙන්ම වෙනස් කර හොද අධ්‍යාපනයක් වෙත යොමු කරන්න පුළුවන්. මම මානසික උපදේශනයට ගොඩක් කැමතියි. තරුණ කාලයේ ඇතැම් තරුණ දරුවන් වැරදි තීරණ නිසා සිය දිවි අහිමි කරගන්න පෙළඹෙනවා. සමහර අයට යහපත් ජීවිතයක් ලබාදීමට උපදේශන තුළින් මට හැකි වී තිබෙනවා.   


මේ වන විට ඇය අතින් ලියවී ඇති කෘති සංඛ්‍යාව 13කි. ඇය ලේඛන කලාවට පිවිස ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකව සිටියදීය.   


දෘශ්‍ය සාක්ෂරතාව හා සංවර්ධන සන්නිවේදනය, මාධ්‍ය චින්තන, මාධ්‍ය අධ්‍යාපනය පරිවර්තන සන්නිවේදනය, A First Look at Human communication, කාන්තා ප්‍රකාශන හා සන්නිවේදන අරමුණු  - පර්​ෙ‌ය්ෂණ පාඩම් කිරීම විනෝදාංශයක් කරගන්නේ මෙහෙමයි, A collection of case studies in social science, සන්නිවේදනය හා සන්නිවේදන කුසලතා න්‍යායාත්මක ප්‍රවේශ, සන්නිවේදන කුසලතා ප්‍රාසාංගිකත්වය හා අභ්‍යාසය ඇය අතින් රචිත කෘති කිහිපයකි. 

 
2008 වසරේදී විවාහ දිවියට පත් වූ ඇය මේ වනවිට එකොළොස් හැවිරිදි දියණියකගේ ආදරණීය මවකි. 

 
“මගේ දුව හසාරා ආශිර්වාදිනී. මට මගේ ජීවිතේ ලැබුණු වටිනාම දේ ඇය. දෝණි නිසා මම මගේ ජීවිතේ ගොඩක් දේවල් දරාගත්තා. මවක් විදිහට මා ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය ඉටු කරනවා. මේ සමාජය තුළ මම කිසිම වෙලාවක ඇයව තනි කරන්නේ නැහැ. ගැහැනු දරුවකුට හොඳ ආරක්ෂාවක් ඕන. ඒක ලබාදෙන්න පුළුවන් එකම කෙනා තමයි ඇයගේ අම්මා. අම්මකුගේ ආදරය රැකවරණය දියණියක් දියමන්තියක් කරන්න පුළුවන්. මම නිතරම උත්සාහ කළේ මගේ දුව ඉදිරියේ ආදර්ශ ආකෘතියක් වෙන්න. මම මාව හදාගත්තා. මම දෙයක් කරන්න කලින් ඇය ගැන ගොඩක් හිතනවා.   


ජීවිතේ අහිමිවීම්, අභියෝග, ප්‍රතික්ෂේප වීම් මම භාරගත්තේ හරිම උපේක්ෂාවෙන්. මට ජීවිතේ නොලැබුණු දේවල්වලට පසුතැවෙන්නේ නැහැ. ජීවිතේ ගැන හිතන්නේ හරිම සරල විදිහට. මට ජීවිතේ දෙස උපේක්ෂාවෙන් බලන්න කියලා දුන්නේ අප්පච්චි”.

  
කාන්තාවක් විදිහට ඉදිරියට යද්දී යම් යම් බාධක එල්ල වුණත් දක්ෂතාව වර්ධනය කරගනිමින් ඉදිරියට යන්න හොඳ ආත්ම ශක්තියක් තිබේ නම් සියල්ල ජයගත හැකි බව අැගේ අද්දැකීමයි.   


“කාන්තාවක් විදිහට මම ආපු ගමන දිහා හැරිලා බැලුවොත් ඒක ඉතාම අසීරු ගමනක්. කාන්තාවකට වැරදුනොත් හිනාවෙන්න ලොකු පිරිසක් බලාගෙන ඉන්නවා. ගැහැනියව හංවඩු ගහන්න මුළු සමාජයම බලාගෙන ඉන්නවා. ඒක අතීතයෙත් එහෙමයි. අදත් එහෙමයි. මනසින් වැඩ කළොත් කොච්චර ගල් ගැහුවත් කොච්චර හංවඩු ගැහුවත් ගැහැනිය වට්ටන්න බැහැ. මම විශාල දුක් කම්කටොලුවලට මුහුණ දීපු කෙනෙක්. ජීවිතය ප්‍රශ්න කොච්චර ආවත් ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලලා සතුටින් හිනාවෙලා ඉන්නා කියලා දුන්නේ මගේ අප්පච්චි. දුවෙකුට අප්පචිචි තරම් මේ ලෝකේ කිසිම පිරිමියෙක් ආදරේ නැහැ. මගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්නේ මගේ මාපියෝ. ගැහැනු දරුවකුට අධ්‍යාපන දැනුමක් විතරක් දීලා මදි ජීවිතේ අභියෝගවලට මූණ දෙන්න උගන්වන්න. මගේ අප්පච්චි මට ඒ දේවල් කියලා දීපු නිසා අද මම කොන්ද කෙළින් තියන් සමාජයේ ජීවත් වෙනවා.   
මම විශ්වවිද්‍යාල අවසන් විභාගය ලියලා ප්‍රතිපල අරගෙන අප්පච්චි පුදුම කරවන්න ගෙදර එනකොට අප්පච්චි අපි හැමෝම තනිකරලා ගිහින්.  මහාචාර්යවරියක් දක්වා ආපු ගමන මගේ හීනයක් නෙවෙයි. මම සැබෑ කළේ මගේ අප්පච්චිගේ හීනය. මහාචාර්යවරියක් වීම ගමන ජීවිතේ ආයෙත් පටන් ගත්තා වගේ දැනෙනවා. මගේ විශ්වවිද්‍යාල සේවා කාලය තව අවුරුදු 22ක් ඉදිරියට තියෙනවා. මට තවත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉදිරි කාලයේදී මේ රටට මගෙන් විය යුතු උපරිම දේ ලබාදීම මගේ අරමුණයි. මම ඉගෙන ගත්තේ ගොඩක් දුක් විඳලා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මට කළ හැකි සියලු දේ කිරීම තමයි මගේ අවසන් බලාපොරොත්තුව.

 

 

නදීශා අතුකෝරළ