වසවිස දමා මාළු අැල්ලූ කිරිහාමිට පව් පලදුන් හැටි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල මහතා ලියා එවූ කතාවකි.  


ගෝලයාට කළ වැරදිවලට ගුරුමාතාව සමාව අයදී   


මිතුරකුවන ප්‍රාදේශීය ලේකම්වරයෙක් සිය මෑණියන් අභාවප්‍රාප්තව වසරක් සපිරෙන දින වැඩිහිටි නිවාසයක් තෝරා දානමය පුණ්‍යකර්මයකට සියළු කටයුතු සංවිධානය කරන මෙන් මගෙන් ඉල්ලා සිටියේය.   


මියයන විට ඇගේ වයස අවුරුදු 62ක් වීමත් පිරිමි නේවාසිකයන් 40කුත් ගැහැනු නේවාසිකයන් 22 දෙදෙනකුත් සැඳෑ සමය ගෙවන වැඩිහිටි නිවාසයක් හමුවීම නිසාත් වඩාත් කැමතිව එහිදී මෙම පුණ්‍යකර්මය සිදුකිරීමට සියළු කටයුතු සංවිධානය කළෙමි. මගේ හිතවතා පවසා සිටියේ සියළු වියදම් ඔහු පමණක් දරන බයත් දානය හැරුණු විට වටිනා ත්‍යාග පිරිනමන හෙයින් නේවාසිකයන්ගේ අවශ්‍යතාවන් අනුව ලැයිස්තුවක් සකසා ඉදිරිපත් කරන ලෙසත්ය.   


වැඩිමනක් නේවාසිකයන් එදිනෙදා පරිහරණය සඳහා අවශ්‍යතා ඉදිරිපත් කරමින් චීත්ත රෙදි, කුඩා ගුවන්විදුලි යන්ත්‍ර, හිස බෑමට නවීන උපකරණ, මඩකළපු සරම්, තුවා, කොට්ට, බෙඩ්ෂීට් ඉල්ලා සිටි අතර වයස්ගත කාන්තාවක් මැක්සිම් ගොර්කිගේ අම්මා කෘතියත්, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ යන කෘති දෙකම හෝ එකක් ලබාදෙන ලෙසින් ඉල්ලීමක් කළාය.   


ඇයගේ ඉල්ලීම සුවිශේෂ වූ හෙයින් තරමක් කුළුපගව කථා කරමින් ඔබතුමියගේ අතීතය දැනගන්නට ඉතා කැමැත්තෙමියි මම පවසා සිටියෙමි. අතීතය ඉවරයි, අනාගතය උදාවී නැහැ ඒ දෙකම අවැඩයි. වර්තමානය මේ දැන් පමණක් වටී. වර්තමානයේ මම මේ වැඩිහිටි සෙවණේ නේවාසිකාවක් පමණයි. ඇගේ උත්තරය කී​වෙන් මමද නිරුත්තර වීමි. එහෙයින් ඇය ගැන පාලක පාලිකාවන්ගෙන් හෝ විමසා බලමියි අදහසක් ගොඩ නැගුනද එයට කාලවේලාව හරස් විය.   


දානය දින වැඩම කරවා සිටි ප්‍රවීණ දහම් දේශක ස්වාමීන් වහන්සේ පංච ශීලය පිහිටුවාලීමෙන් අනතුරුව ආරම්භවූයේ දානමය කටයුතුය. තම තමන්ට රිසි අයුරින් ආහාර තම තමන්ගේ පිඟන්වලට බෙදාහදා ගනිමින් පිරිස ඒවා අනුභවයට සැරසුණහ.   


සියල්ලෝම සතුටින් රස අහර භුක්ති විඳිමින් සිටින අතරතුර එක පිගානක ලූ ආහාර වේලට අයිතිකරුවෙක් නොමැතිව මේසය මත හුදකලාව තිබූ හෙයින් අපගේ ඇස් ගියේ ඒ දෙසටය. මේක නෝනගේ පිඟාන වගේ ඉසේ රදේ කියනවා ඇහුණා ඒ කිහිප දෙනෙක් පැවසුවක්ය. කිසියම් අයෙක් ප්ලාස්ටික් පිඟානකින් වසාගෙන එම බත් පිඟාන රැගෙන යන අයුරුද දර්ශනය විය.   


අනතුරුව එළඹියේ සුමධුර දහම් දේශනයයි. ඒ සඳහා හෝරා දෙකක් පමණ කාලයක් ගතවිණ. පාලිකාවක් විසින් පැවසූ නම් ලැයිස්තුව ප්‍රකාර අදාළ පරිත්‍යාගයන් සිදුවුවද එක් නමක් කිහිප වරක්ම හඩනගා ප්‍රකාශ කළද ඇය ඉදිරිපත් නොවූවාය. ත්‍යාග පාර්සලය ඔතා තිබූ පත්‍රිකාව සිදුරු ​​කොට පොත් දෙකකුත් තියෙන පාර්සලය විතරක් ඉතුරුවෙලා යයි පාලිකාවක් විසින් පවසනු ඇසිනි. එම පොත් ඉල්වා සිටියේ අර සුදු නෝනා කෙනෙක් යයි මා පවසත්ම හා අයිරාංගනී මම බලන්නම් කියමින් ඇය පිටව ගියාය. අැයට අසනීපයි කීවේ සමහර විට ඇයගේ මිතුරියක් විය හැකි හෙයින් එහෙනම් රෝහලකට ගෙන යමුයි කියමින් අප දෙදෙනාද අැය පසුපස ගියේ අයිරාංගනී මාතාවගේ කාමරය සොයාගැන්මටය.   


ඇයගේ කාමරය ඇතුළතින් ලොක් කර තිබීම නිසාවෙන් කේන්තියට පත් පාලිකාව දොස් පරොස් කියමින් දොරට තඩි බාමින් සිටිනු අපි දුටුවෙමු. කඩනවා. මම දොර කියත්ම කාමරයේ දොර දොරගුලු විවෘත විය. මේ මහ පට්ට දවාලේ බුදියනවද පාලිකාව සැරෙන් අසත්ම අැය ඇඳට ගොඩවී තුවායකින් මුහුණ වසාගත්තාය. පාලිකාව තුවාය අතට උදුරාගත් පසු ඇය නිරුත්තරව ඇස් පියාගන්නා අතරතුර අපි සැවොම එම කාමරය තුළට ගොඩවීමු. ප්ලාස්ටික් පිඟානකින් ආවරණය වූ බත් පත මේසය මත විය.   
ස්වයංක්‍රීව විදුලි බල්බයක් දැල්වෙන අයුරින් වරෙක ඇස් අරිමින් වසමින් කරනු ලැබූ ක්‍රියාව දෙස කාගෙත් බැල්ම පැවතියද අසලම සිටි ප්‍රාදේශීය ලේකම්වරයාද ඇය ගැන විමසිල්ලෙන් යුතුව කළ සෝදිසිය දැක එකිනෙකා ඇස් කරකවා පිරිස දෙස බැලීමෙන් ඇතිවූයේ නිහඩතාවකි.   


මනා පරීක්ෂාවකින් පසු ප්‍රාදේශීය ලේකම් මේ අයිරාංගනී ටීචර් නේද අප්පේ කියත්ම ඇස් යුගළ ඒ මේ අත කරකවමින් හොරහින් බලාසිටි ඇයට තව තවත් මුහුණ සඟවා සිටිය නොහැකිව විදුලිය වැදුණු අයෙක් නැගිට ප්‍රදේශීය ලේකම්වරයාගේ බෙල්ලේ එල්ලී දෙදෙනාගේම නළල් තල එක්කරවමින් හඬන්න පටන් ගත්තේ කුඩා දැරියක් මෙන්ය. “මගේ පුතේ මට සමාවෙයන් මම උඹට ගොඩක් හිරිහැර දුන්නා සමාවෙයන් දෙයියෝ මට සමාවෙයන් මම බලන්ට අාවාම මට දුක හිතුණා ඉවසන්න බැහැ පුතේ පපු කට්ටත් පිච්චෙනවා මගේ පුතේ” යැයි පැවසුවාය. ඇය කොතෙක් කඳුළු හැලුවාද කිවහොත් ප්‍රාදේශීය ලේකම්වරයාගේද එක් පසෙක එම කඳුළුවලින් තෙත්ව තිබෙනු දක්නට ලැබුණි. අනතුරුව ඇය අසලවූ පුටුවක ඇන තියාගනිමින් ප්‍රාදේශීය ලේකම්වරයාටද අසුනක් පෙන්වා වාඩිවෙන ලෙස ඉල්ල සිටියාය. මො​හොතක විරාමයෙන් පසු “ටීචර් කෝ ගාමිණී මට හමුවුණේම නැහැ” ප්‍රාදේශීය ලේකම්වරයාගේ පළමු ප්‍රශ්නය විය.


“ලොකු පුතා ගාමිණී විශ්වවිද්‍යාලට නොතේරුන හින්දා ඇමෙරිකාවට යැව්වා උපාධියක් අරන් එන්න”     කියලා. දරන්න බැරි වියදමක් මං දැරුවා රැකියාවක් ලැබුණත් වැඩි දවසක් යන්න පෙර සුදු ගෑනියකුට රැවටිලා කසාද බැන්දා. නංගිව හොඳින් බලාගන්නම් කියලා පොරොන්දු වෙලා ඒ අහිංසකීත් එරටට ගෙන්වා ගත්තා. තකට තකේ කිව්වා වගේ මගේ විරෝධය මත ඒකිත් කසාදයක් බැඳ ගත්තා. දෙන්නම ගියා විතරයි රටේ පස් පාගන්නවත් අයේ ආවා නොවේ. කෝල් කළත් උත්තර නෑ.   


දුව යවන්න මුදල් සොයගත්තේ මගේ ඉඩමයි ගෙදරයි බැංකුවකට උගස් කරලා පොලියක් ටික ටික ගෙවමින් හිටියේ මාස තුනෙන් ඉඩමයි ගෙදරයි බේරලා දෙනවා කියපු දෙන්නම කළේ නැහැ. වසර පහකට පසු බැංකුවට ඉඩමයි ගේදොරයි සින්න වුණා ගෙදර බඩු ටිකයි ගත්තේ අනෙක් සියල්ලම අයිති වෙලා මට මහපාරට වැටෙන්න සිදුකළා අන්තිමට මං මේ නිවාසයට අාවා මගේ ස්වාමියත් නැතුව දුක් විඳලා දරුවන්ට උගන්නපු පාපයද මේ ගාමිණි ගැන මටත් පුදුමයි. අපි එක පංතියේ හිටපු මිතුරෝ ඔබතුමියට මම ආරාධනා කරනවා අපේ ගෙදර ගිහින් නවතිමු මගේ අම්මට වගේ මම හොඳින් සලකන්නම්. මෙගේ නෝනත් වැඩකට යන්නෑ ගෙදර කටයුතු බලාගන්න උවමනා නිසා මගේ තාත්තත් ඉන්නේ මහගෙදර මල්ලීත් එක්ක ක්වාටස් එකේ ඉඩකඩ හොඳටම ඇති ප්‍රාදේශීය ලේකම් පැවසීය.   


දෙදෙනා අතර වූ කතාබහ අතර මම ඇය වෙනුවෙන් සකසන ලද ත්‍යාග පාර්සලය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අතට පත් කළෙමි. වහාම එය අතට ගත් ඔහු සිය සාක්කුවෙන් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් තබා ඇයට පරිත්‍යාග කිරීමට සැරසුනි. එය දැනගත් එතුමිය හුනස්නෙන් වහා නැගිට ඉදිරියට විත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ දෙපා ළඟ වැටී අනේ මගේ පුතේ මම ඔබට කළ වැරදිවලට සමාව ඉල්ලා සිටිනවා. කියා බිම පෙරළී වැඳ වැටුණාය.   


අද පුණ්‍යකර්මයට මම සහභාගි නොවුණේ මම කෑම බෙදාගෙන වාඩිවී බලනකොටම මට ඔබ කව්රුද කියන එක අඳුනගන්න අපහසු වුණේ නැහැ. ඔබතුමා ප්‍රාදේශීය ලේකම්වරයෙක් වුණා කියලා ළමයෙක් මෙහෙ දානය පිරිනැමීමකට ඇවිත් මට කිව්වා. ම​ගෙන් ඔබට හොඳදේ වෙලත් අැති. නමුත් වැරැදි වැඩියෙන් සිදුවුණා. මගේ මෝඩකමටයි එය සිද්ධ වුණේ. එයට මම තැවෙනවා. මේ උතුම් පෝයදා බණ පදයක් අහගන්න තරම් වත් පිං නැතුව ගියා මට සමාවෙන්න. සියල්ල සංසුන්වුණු පසු ආලින්දයේ අසුන් ගත් අපේ ප්‍රධාන මාතෘකාව වූයේ ගුරුතුමියයි.   


ටීචර්ගේ පුතා ගාමිණී හිටියේ අපේ පංතියේ එයා පංතියේ නායකයා ශිෂ්‍ය නායක ක්‍රීඩා නායක සාහිත්‍ය සමිතියේ සභාපති මේ සියල්ලම ලබාදීමේ පිටුපස හිටියේ ටීචර්. පංතිය භාරවුණේ ඇයටමයි. වැඩි ළකුණු ලබාගනිමින් මම ඉදිරියට එන විට ගාමිණි අඩු ළකුණු ලබත්ම පීඩනය ගෙන දුන්නේ මට. ඉතාම කනගාටුදායක සිදුවීම තමා මම පංතියේ පළවැනියා වෙලා සිටියදී පේපර්වලට ලැබූ ලකුණු අඩුවෙන් දාලා ගාමිණි පළවෙනියා කිරීම. මේ ගැන මම කරුණු ඉදිරිපත් කර විමසපු දිනේ සිට ඇය මට වෛර කළා. නපුරු වදන් වලින් බැන්ණා.   


මම සාහිත්‍ය සමිතියෙදී ගයපු ගීයකට ලැබූ අත්පුඩි නාදය විනාඩියක් විතර ලැබුණා. ගුරුවරු විතරක් නොවෙයි. විදුහල්පතිතුමත් කිව්වේ ප්‍රධාන ගායකයා වගේම මිහිරි හඬින් මම සිංදුව කිව්ව කියලා සතුටු වුණා. නමුත් පසුදා පංතියෙදී ඇය මට ගැරහුවා පමණක් නොවෙයි ලොකු ටොක්කකුත් ඇන්නා.   


ප්‍රශ්නයකදී මම නැගිට පිළිතුර කොහොම දුන්නත් පණ්ඩිතකම නම් මහලොකුවට උත්තරේ වැරැදියි. උඹට ඉගෙන ගන්න බෑ කියලා අපහාස කළා. මම මානසිකව වැටුණා මගේ අම්මා සැලෙන්න එපා කියලා මාව දිරිමත් කළා. අම්මා කියපු දේ ඇත්ත තේරුණේ අදයි.   


අවසාන වාර විභාගෙදි ගණිත පේපර් එකට මම හොඳින් පිළිතුරු ලිව්වේ මට විශ්වාසයක් තිබුණා. මා ලැබුවේ ලකුණු 20යි. මම හඩ හඩා අම්මට කිව්වා. අම්මා මාව සැනසුවා බැරිම තැන මට හොරා අම්මා ප්‍රින්සිපල්ට කියලා ප්‍රින්සිපල් මගේ උත්තර පත්‍රය බලලා කියලා තියෙනවා සියළුම උත්තර හරි ලකුණු සීයෙන් සීයයි කියලා.   


මගේ පූර්ව කර්මයකටදෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ වසරේ පංතිය භාරවුණේ ඇයටමනේ. බියට පත්වූ මම මාපියන්ට කිව්වා පාසැල් යන්නම බැහැ කියලා. යළිත් අම්මා උනන්දු කළා.   


පාසලට ගිය දවසෙම ටීචර් ඇහුවේ ඇයි ගෙදරම ඉන්ටනේ තිබ්බේ කියලා දින දෙකක් පාසැල් නොපැමිණීමෙන් දෙමාපියකුගේ ලිපියක් නැහැ කියලා අලුත් ප්‍රින්සිපල්ට වාර්තා කරලා වේවැල් පාර තුනක් අතට වැදුණා දින කීපයකට පස්සේ අපි වොලිබෝල් ගහන්න හිතිලා මම ක්‍රීඩාගාරයෙන් බෝලය ගනිද්දීම එහි හුලං ඇරලා තිබුණා. එදත් ​කෝටු පාර දෙකක් කන්න සිදුවුනා. පසුව මගේ පියා උසස්ම කොලීජියකට මා ඇතුළු කර දුන්නා. එය නොසිතූ නොපැතූ සම්පතක් බවට පෙරළුණා විතරක් නොවෙයි මනා අධ්‍යාපනයකට හොඳ මාවතක් වුණා. එදා පටන් ප්‍රාදේශීය ලේකම්වරයා සෑම පෝ දිනකම ඇ​ගේ දුක සැප බැලීමට වැඩිහිටි නිවාසයට ගියේය.   


පසුගිය පෝය දිනයෙදී මම සිරිත් පරිදි ඇහුවා ටීචර්ට මොනවද ඕනී කියලා. එවිට කිව්වා ලස්සන මල් වැටුන සුදු සාරියකට නම් ආසයි. ඒත් ඒක ඇඳන් කොහේ මම යන්නද කියලත් හිතෙනවා කියලත් කිව්වා. මම කොළඹ ගිය වෙලාව වැඩි මිලක් ගෙවලා ලස්සන සුදු සාරියක් එයට ගැළපෙන හැට්ට රෙද්දක් ගෙනාවා. මෙම පෝයදා පෙරවරුවේ ගියා ඇයට දෙන්න කියා හිතාගෙන එහෙත් අලුයම 5.00ට ඇය පරලොව ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්වරයා හැඟුම්බරව මට පැවසීය. ඔහු මේසේද ඉල්ලා සිටියේය. මම මල්ශාලාවකට දැනුම් දුන්නා. දැන් අපි එහේ යමු හාමදුරුවරු 20ක් වඩිනවා. අනෙකුත් කළමනාටික ගමු. ඉක්මනට යමු සුදු මල් සාරියෙන් සරසලා ඇයව ගෙනගොස් ගෞරවාන්විතව ආදාහන කටයුතු සිදු කරමු.”   



අකුරැස්ස පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.   

වසවිස දමා මාළු අැල්ලූ කිරිහාමිට පව් පලදුන් හැටි   


ඈත ගම්මානයක දිවිගෙවූ අහිංසක ගැමියෙකි කිරිහාමි. ගොවිතැන් බත් කරමින් තම දරු පවුල නඩත්තු කළ හේ කිසිවෙකුටත් අත නොපා ජීවත්වීමට තරම් සෑහෙන ආදායමක් ලැබීය. පෙර පවකටදෝ ඔහු දැඩි ලෙස මස් මාළු කෑමට ගිජු විය. දිනපතාම ඔහුගේ කෑම වේලට කුමන මසක් හෝ මාළුවක් නැතිවම බැරිය. එකල මාළු වෙළෙන්දෙකුගේ පැමිණීමක් සිදුනොවීම නිසා බොහෝ ගැමියෝ තමන්ට අවශ්‍ය මස් මාළු තමා විසින්ම සපයා ගැනීමට පුරුදු වී සිටියහ.   


කිරිහාමිද තමාට දිනපතා අවශ්‍ය මාළු ඔහු විසින්ම අල්ලා ගැනීමට පුරුදු වී සිටියේය.   


වැඩ කටයුතු අතර දිනපතා මාළු අැල්ලීමට එතරම් ලොකු කාලයක් ගත කිරීමද මහත් ගැටලුවක් විය. ඉතා ඉක්මනින් මාළු අල්ලා ගැනීමට කිරිහාමි අපූරු උපක්‍රමයක් යොදා ගත්තේය. තමා මාළු ඇල්ලීමට යන ඇළට හෝ දොළට කැලයෙන් සපයාගත් මත් මුල් නමැති මුල් වර්ගය තළා දිය කර හැරීමයි. වැඩි වේලාවක් නොගොස් සියලුම මසුන් ජලය මතුපිට පාවෙන්නට පටන් ගන්නේ මත් වී දඟලමිනි. කිරිහාමිට තිබෙන්නේ තමාට ඇති තරම් මාළු එකතුකර ගැනීම පමණි. ඉතිරි මසුන් සතුන්ගේ ගොදුරු වෙයි.   


කිරිහාමිගේ මේ පව්කාර ක්‍රියාව නිසා දිනපතාම පාහේ ගංගා ඇළ දොළ වල සිටින අහිංසක සතුන්ගේ සිය දහස් ගණක් ජීවිත අහිමි වීය. ඔහුට මේ ගැන එතරම් හැඟීමක් හෝ අනුකම්පාවක් වූයේ නැත. එහෙත් අවාසනාව ඉතා ඉක්මනින් ඔහු සොයා ආවේය. 

 
කිරිහාමිගේ ඇඟපත පුරා කුඩා විෂ බිබිළි වර්ගයක් හට ගන්නට විය. මුළු ඇඟම කසන්නට වූ අතර කැසීම හේතුවෙන් තුවාල වන්නට විය. කළ හැකි හැම ප්‍රතිකාරයක්ම කළත් මේ තුවාල දිනෙන් දින වැඩි වූවා මිස අඩුවක් නම් නොවීය. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ශරීරයට උග්‍ර විෂක් ඇතුළුවීම නිසා මෙම රෝගය හට ගෙන ඇති බවයි. එසේම මේවා නිට්ටාවටම සුව කළ නොහැකි බවද ඔවුන්ගේ නිගමනය විය. මේ වග කන වැකුණු කිරිහාමිගේ ඉහ මොළ රත්විය. තමා කළ මහා පාපකර්මය සිහිපත් වන්නට විය. මෙයට හේතුව එයම බව පසක් වන්නට විය. තුවාලවල වේදනාවට වඩා වේදනාවකින් ඔහුගේ සිරුර දැවෙන්නට විය. කිරිහාමිගේ මුළු ඇඟම වණයක් බවට පත්විය. බොහෝ දෙනාගේ පිළිකුලට ලක්විය. දිගු කලක් දුක්විඳ මෙලොව හැරයන්නට කිරිහාමිට සිදුවූයේ තමා කළ පව්වලට මෙලොව දීම වන්දි ගෙවමිනි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්