මුහුදු තුනක් එක් කරන කන්‍යා කුමාරි


 

ලෝක සිතියමේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් පිහිටා ඇති ආකාරය ඔබට සිතින් මවා ගනු හැකි වෙතැයි සිතමි. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ තුඩක් වැනි කොටසට යටින් ශ්‍රී ලංකාව කුඩාවට දැකිය හැකියි. රටවල් දෙක වෙන් වන්නේ ඉන්දියානු සාගරයෙනි.   


එම තුඩ වැනි කොටස ඇතැමුන් හඳුන්වන්නේ සදර්න් ටිප් ඔෆ් ඉන්දියා යනුවෙනි. එහි සරළ අරුත ‘ඉන්දියාවේ දකුණු තුඩ’ යන්න ලෙස ගත හැකිය. 
මේ තුඩ පිහිටි ප්‍රදේශයේ වෙරළ තීරයේ පිහිටි කුඩා නගරය කන්‍යා කුමාරි වෙයි. කන්‍යා කුමාරි නගරය අයත් වන්නේ ද කන්‍යා කුමාරි දිස්ත්‍රික්කයටය. එය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටියකි. තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ සිට කන්‍යා කුමාරි නගරයට දුර කිලෝමීටර් 703 ක් පමණ වෙයි. 
එහෙත් කන්‍යා කුමාරි නගරයට කිට්ටුව කේරළ ප්‍රාන්තයේ පිහිටි තිවේන්ද්‍රපුරම් ගුවන් තොටුපොළයි. එහි සිට කන්‍යා කුමාරි නගරයට ඇති දුර කිලෝ මීටර් 90ක් පමණ වෙයි. තිවේන්ද්‍රපුරම් සිට පැය තුනක පමණ කාලයකින් වාහනයකින් කන්‍යා කුමාරි කරා ළඟා විය හැකිය. 


හොඳින් හිරු එළිය වැටෙන නිවාඩු දින වලදී කන්‍යා කුමාරි බලා යන සංචාරකයන් බහුලය. කන්‍යා කුමාරි නගරයට ඇතුළත් වූ සැණින්ම අපට දැනෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින්නාක් මෙනි. එහි ඇති කඩ සාප්පු, ආපන ශාලා සියල්ල ශ්‍රී ලංකාවේ මෙනි. 


සයිවර් කෑම, බත්, පරාටා, කට්ලට්, රෝල්ස් මෙකි නොකී අපට සුපුරුදු කෑම සියල්ලක්ම එහි විකුණන්නට ඇත. එපමණක් නොව ඇතැම් කඩ සාප්පුවක දෙකක සිංහල අකුරෙන් ලියන ලද නාම පුවරු ද දක්නට ලැබෙයි. මුහුදු නගරයක් නිසාම දෝ හමන සුළඟේ ඇත්තේ පිළී ගඳ දැනෙන ස්වභාවයකි. 
කන්‍යා කුමාරි තොටට ආ විගසම එතැන අරක්ගෙන ඇති වෙළෙන්ඳන්ගෙන් නම් ගැලවීමක් නැත. අව් කණ්ණාඩි, ඇට මාල වර්ග, රෙදි බෝනික්කන්, අත් පළඳනා, සංචාරක සිහිවටන, මල්මාලා ආදිය ඔවුන් විකුණනවා නොව ඇඟේ ගසන්නටම මාන බලති. 
ඔවුන් කතා කරන්නේ දෙමල මලයාලම්ය. කන්‍යා කුමාරි සුවිශේෂී වන්නේ මුහුදු තුනක් එකට එක් වෙන ස්ථානය බැවිනි. එක් පැත්තකින් ආරාබි මුහුදු ද, අනෙක් පසෙන් බෙංගාල බොක්ක ද පැමිණ ඉන්දියන් සාරගය මුණ ගැහෙන්නේ කන්‍යා කුමාරිහිදීය. 


ඔබ කන්‍යා කුමාරි නගරයේදී උතුරු ඉන්දියාව දෙසට පිටුපා ඇති ඉදිරි මුහුදු ජලකඳ දෙසට නෙත් යොමු කර සිටගන්නේ නම් දකුණු පසින් ආරාබි මුහුද වම් පසින් බෙංගාල බොක්ක මුහුද ද පැමිණ ඉදිරියේ ඇති ඉන්දියන් සාගරයේ ජලකඳ හා ගැටෙන අයුරු දැක ගත හැකිය. මුහුදු තුනක් එක් වන නිසා ත්‍රිවේනි සංගම් යනුවෙන් ද මෙම ස්ථානය හැඳින්වෙයි. මෙම මුහුදු තුන එක් වන ස්ථානයේ මණ්ඩපයක් ගොඩනගා ඇති අතර එහි සිට බොහෝ සංචාරකයෝ මේ අපූරු දසුන නරඹති. 
වර්තමානයේ කන්‍යා කුමාරි ලෙස හැඳින්වුවද බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙය කේප් කොමරිත් නම් විය. 
මෙයට කන්‍යා කුමාරි නාමය ලැබී ඇත්තේ දේවි කන්‍යා කුමාරි හෙවත් ශිවගේ පෙම්වතිය නිසාවෙනි. ඇය ක්‍රිෂ්ණාගේ සොහොයුරියක ලෙස ද සඳහන් වෙයි. කන්‍යා කුමරියගේ හා ශිවගේ විවාහ මංගල්‍යයට සියල්ල සූදානම්ව තිබිණ. එහෙත් ශිව මංගල්‍යයට නොපැමිණියේය. එම නින්දා සහගත තත්ත්වයෙන් කන්‍යා කුමාරි බෙහෙවින් කෝපයට පත් වූවාය. මංගල්‍යය සඳහා සූදානම් කර තිබූ ධාන්‍ය ඇතුළු ආහාර ඇය ඉවතට විසි කළාය. ඇයගේ වළලු‍ පවා ඇය විසි කර දැමූ බව ජනප්‍රවාදයේ එයි. 
වෙරළට විසි කරන ලද එම ධාන්‍ය ගල් කැට බවට පත් වී අද ද දක්නට ලැබෙන බව ඇතැම්හු විශ්වාස කරති. 
කන්‍යා කුමාරි පාර්වතීගේ අවතාරයක් ලෙස ද විශ්වාස කෙරේ. තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ රාම රාවණා යුද්ධයේදී හනුමන්තා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී හිමාලයෙන් කඩාගෙන ආ කැබැල්ලක් කන්‍යා කුමාරි ප්‍රදේශයට ද වැටුණු බවය. 

 

 


ගාල්ලේ රූමස්සලට වැටී ඇතැයි පැවසෙන්නේ ද එම හිමාල කන්දේ පස් කැබැල්ලකි. ඒ අනුව බෙහෙත් පැලෑටි වලින් ගහණ වූ උස් කඳු මුදුනක් කන්‍යා කුමාරි කිට්ටුව දැක ගත හැකිය. 


තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ කන්‍යා කුමාරි ප්‍රදේශය පුද බිමක් බවට පත්ව තිබූ බවයි. මුහුදු තුන එක්වන ස්ථානයෙන් ස්නානය කිරීමෙන් පව් සෝදා හැරිය හැකි බව ඇතැම්හු විශ්වාස කරති. 


තුන් පැත්තකින්ම මුහුදු තුනක් සහිත වෙරළ තීරය කිලෝ මීටර් 71 ක් පමණ දිගට විහිදෙයි. වෙරළ තීරය දිගේ යන පාර කෙළවර වන්නේ කන්‍යා කුමාරි අම්මාන් නොහොත් භාග්‍යවතී අම්මාන් කෝවිලෙනි. එය අවුරුදු 3000 ක් පමණ පැරණියයි සැලකේ. එය ශිව කෝවිලකි. පාර දෙපසද විවිධ කඩ සාප්පු වෙයි. මාල වළලු‍, සෙල්ලම්බඩු, සංචාරක සිහිවටන මෙන්ම කෝවිලට රැගෙන යා යුතු මල්මාලා කපුරු ආදී පූජා භාණ්ඩ ඒවායෙන් මිලදී ගත හැකිය. 
බාර හාර වීමට බලපොරොත්තු ඉටු කර ගැනීමට මෙම කෝවිලට පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය විශාලය. ඒ නිසාම දිනකට හතර වරක් පූජාව පැවැත්වෙයි. උදේ 6.00 ට දවල් 11.00 ට සවස 4.00 ට හා රාත්‍රී 08.00 වශයෙනි. එහෙත් මේ දිනවල පැතිර යන නව කොවිඩ් 19 වසංගතය නිසා මේ සියලු‍ කටයුතු තාවකාලිකව නවත්වා ඇති බව දැක්වෙයි. 
කෝවිල ඇතුළත පෞරාණික කැටයම් චිත්‍ර ආදිය දැක ගත හැකිය. එය ඉපැරණි සංස්කෘතිය විදහාපාන්නකි. මැයි ජූනි වල පැවැත්වෙන උත්සවයේදී කන්‍යා කුමරියගේ රූපය පෙරහැරකින් වඩම්මා ගෙන යනු ලබයි. කන්‍යා කුමාරි ඉතිහාසය කෙතරම් පැරණි ද යන්න එහි තොරතුරු මහා භාරතයේ හා රාමායණයේදී සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. 
කන්‍යා කුමාරි නගරයේ සංචාරක ආකර්ෂණය දිනා ගත් අංගය වන්නේ සාගරය මැද ගල් කුලක පිහිටා ඇත් ස්වාමි විවේකානන්ද ආශ්‍රමය දැක ගැනීමට යාමයි. 


බෝට්ටු දෙකක් මාරුවෙන් මාරුවට ස්වාමි විවේකානන්ද ආශ්‍රමය පිහිටි ගල් කුළ​ වෙත සෙනඟ රැගෙන යයි. ඒ සඳහා මුදල් අය කෙරෙයි. නිවාඩු දින වලදී නම් සංචාරකයන් පිරිස් වැඩි නිසා බෝට්ටුවට ප්‍රවේශ පත්‍ර ගැනීමට දිග පෝලිමකි. ඇතැම් විට ඒ සඳහා පැය භාගයක් පමණ පෝලිමේ සිටීමට සිදුවෙයි. 
බෝට්ටු සවාරියේදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්ය ය. පනහක් හැටක් පමණ යා හැකි බෝට්ටුවේ ගමනට විනාඩි පහළොවක් පමණ කාලයක් වැය වේ. ඉන් පසුව මඳ දුරක් ඇවිද ගොස් ස්වාමි විවේකානන්ද ආශ්‍රමයට ගොඩ විය හැකිය. ස්වාමි විවේකානන්ද ආශ්‍රමය පිහිටි මුහුද ලක්ෂාදිව් මුහුද ලෙස ද සඳහන් වෙයි. 
බෝට්ටුවෙන් ස්වාමි විවේකානන්ද ආශ්‍රමය පිහිටි කුඩා කඳු මුදුනට ගමන් කරද්දි ඈත සිටම දැකිය හැකි වන්නේ තිරකුරල් ආදී ග්‍රන්ථ රචනා කළ දෙමළ කවියකු හා දාර්ශනිකයකු වූ තිරුවල්ලවුර්ගේ ප්‍රතිමාවකි. එය අඩි 133 ක් උසය. මෙය 2000 දී විවෘත කරන ලද්දකි. 1863 දී කල්කටාවේදී උපන් දාර්ශනිකයකු ලෙස සැලකෙන ස්වාමි විවේකානන්ද සිහිවීම සඳහා තනන ලද ආශ්‍රමය ඈතින් දැක ගත හැක්කේ ඉන් පසුවය. 

 

 

මණ්ඩප දෙකකින් සමන්විත එම මන්දිරය නැරඹීම සඳහා ගල් පඩි පෙළක් දිගේ මඳ දුරක් ඇවිද යා යුතුය. මෙය ඉන්දියානු වැසියන්ගේ ආධාර වලින් 1970 දී ගොඩනැගුණ බව කියවෙයි. 


තවත් මතයක් වන්නේ කන්‍යා කුමරිය මෙම ගල්කුළ මත ශිව වෙනුවෙන් තපස් දම්රැකි බවයි. එමෙන්ම මහත්මා ගාන්ධි ස්මාරකය, සුනාමි ස්මාරකය ද කන්‍යා කුමාරි හිදී දැක ගත හැකිය. 


කන්‍යා කුමාරි කුඩා නගරයේ සුවිශේෂත්වය වන්නේ සමුදුරෙන් ඉර නැගීම මෙන්ම ඉර බැස යාම ද එකම තැනක සිට දැක ගත හැකි වීමය. එම දසුන සුවිශේෂය. ඒ වෙනුවෙන් සුවිශාල මුහුදු වෙරළේ මඳක් උස් කඳු මුදුනට වන්නට සෑදු එක් ටැම් ගෙයක් වැනි විශේෂ ස්ථානයකි. පඩි පෙළ නැග ගොස් එම කුලුන මුදුනට පැමිණි පසුව ක්ෂිතිජයෙන් ඉර බැස යාම දැක ගැනීම චමත්කාර ජනකය. 


තුරු මුදුන් වලට පමණක් නොව මුහුදු රළට ද රන් පැහැ හිරු එළිය වැටී මුළු පරිසරයම ආලෝක වී ටික වේලාවකින් ඉර මුහුදේ ගිලී යයි. එසේම පසුදා උදෑසන මුහුදේ අනෙක් පැත්තෙන් අහස රන් පැහැයෙන් ආලෝක වී ඉර නැඟ එයි. මේ දසුන් දෙකම එක්ටැම්ගේ වැනි ස්ථානයේදී හොඳින් බලා ගත හැකිය. 


පසළොස්වක පෝ දිනයකදී නම් ඉර බැස යාමත් අනෙක් පැත්තෙන් පුන් සඳ නැග ඒමත් එකවර සමුදුරට ඉහළින් දැක ගත හැකිය. බොහෝ පිරිස් මේ විසිතුරු දසුන් දැක ගැනීමට කන්‍යා කුමාරි බලා එති. දවසක් දෙකක් එහි රැඳී සිටිති.

 

 

රොඩ්නි විදානපතිරණ