බල අරගලයෙන් ප්‍රපාතයට ගිය යුක්‍රේනය


වළපල්ලට ගිය රටවල් 

 

 

අද ඉදිරිපත් කරන්නේ යුරෝපයේ පිහිටි අගාධයට ඇද වැටුණු 10 වැනි රට පිළිබඳ විස්තරයකි. ඒ යුක්‍රේනයයි.   


දූෂිත දේශපාලකයින් බිහිවන්නේ නූගත් ජනතාවගේ ආශිර්වාදයෙන්ය යන කියමන යථාර්ථයක් බව යුක්‍රේනය ගැන ලියද්දී සඳහන් කළ හැක. 1990 වර්ෂයේදී රුසියාවෙන් වෙන්වූ යුරෝපයේ ප්‍රථම රටවල් 4න් එකකි මේ කියන යුක්‍රේනය. මේ රටේ ද වසර 5න් පහට ඡන්ද පවත්වනු ලබයි. මේ ඡන්දවලින් ඊට පෙර සිටි පාලකයින් මෙන්ම අලුත්ම පිරිස් ද බලයට පැමිණෙයි. එහෙත් රට ඉදිරියට යන්නේ නැත. ඉබි ගමනින් යන රට එක තැනම පල්වෙයි.   


බලධාරීන් සහ නිලධාරීන් විසින් මහජන දේපොළ ඉවක් බවක් නැතිව ගසාකන දිළිඳු පීඩිත ජනතාව කබලෙන් ළිපට ඇද දමන නරුම ජනපතිවරුන් හා අගමැතිවරුන් සිටින හා සිටි මේ රට ලෝකයේ 46 වැනි විශාල රටයි. විශාලත්වය ව.කි.මී 603,628ක් හෙවත් ව.සැ 233,062 කි. රුසියාව, බෙලාරූස්, පෝලන්තය, ස්ලොවෙකියාව, හන්ගේරියාව, රුමේනියාව, මෝල්ඩෝවා යන රටවලට මැදිව පිහිටි යුක්‍රේනයට ලෝකයේ ජනගහනය අධික රටවලින් 32 වැනි ස්ථානය හිමිවී තිබේ. මෙහි ජනගහණය කෝටි 4කට වැඩිය (42,030,832). ජනාධිපති වොලෝඩිමර් සෙලෙන්ස්කි සහ අගමැති ඔලෙස්කි හොන්ඩරුක් ය.   


කළු මුහුදේ ගිලුණු යුක්‍රේනය  


රටේ බහුතර ජනතාව මුහුණ දෙන දහසකුත් එකක් දැවෙන ප්‍රශ්න තිබියදී ජාතික ධනයෙන් අති විශාල ධනස්කන්දයක් ආරක්ෂක කටයුතු සඳහා යොදවන රටකි. අසමත් රාජ්‍යයක් වශයෙන් හඳුන්වනු ලබන යුක්‍රේනය පුරා දිළිඳු ජනතාවගේ ශෝකාලාපය රැව් පිළිරැව් දෙන බව කිව හැකිය. සෝවියට් දේශයෙන් වෙන්වූ නමුත් කිසිදු සංවර්ධනයක් සිදු නොවුණ ජනතාවගේ අහේනිය සහ දරිද්‍රතාවය කළු මුහුදේ ගිලුන මේ දේශයට කවදා අරුණෝදය උදාවේද? යුරෝපයේ දෙවැනි විශාලතම හමුදාව සිටිනුයේ මේ කියන යුක්‍රේනයේය.  


මුළු ජනගහනයෙන් සියයට 60ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන යුක්‍රේනය පුරා දැන් තරුණ අසහනය උග්‍ර වී ඇත. රැකියා විරහිතවූවන්ගේ සංඛ්‍යාව ජනගහණයෙන් සියයට 25කි.   
2010 දී මෙහි බලයට පත් වූ ජනපති වික්ටර් යනුකෝවිච් බලයෙන් පහකිරීම සඳහා 2013 වර්ෂයේදී රට පුරා විප්ලවය තුළින් මෙහි දේශපාලන පෙරළි රැසක් සිදුවිය. 2014 දී යථෝක්ත ජනපති නෙරපා හරිනු ලැබීය. රටේ විවිධ දේශපාලන පෙරළි සිදුවන නමුත් රට ඉදිරියට නොයයි. ආපස්සටම යයි. ඊට හේතුව බලයට පත්වන අය තම ඥාති සමූහයා සහ හිතවතුන් සමග මඩි තරකර කරගනිමින් ගසා කෑම මහා පරිමාණයෙන් සිදු කිරීම නිසාය.   

 

යුක්‍රේනයේ දරිද්‍රතාව කැමරා ඇසින් 

 


නොවටිනා සල්ලි කොළ මුද්‍රණය කරයි 


මේ රටේ විවිධ දේශපාලන පෙරළි හා යුද්ධවලින් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 17කට වැඩිය. එමෙන්ම යුද්ධවලින් ආබාධිතයින් වූ සිවිල් පුරවැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28කට මඳක් වැඩිය. මෙම දත්තයන්ගෙන්ම රටේ වර්තමාන තත්ත්වය වඩාත් පැහැදිලි වේ. කිසිදු වටිනාකමක් නැති සල්ලි කොළ මුද්‍රණය කර ජනතාව අතරේ සංසරණය කිරීම තුළින් රට තව තවත් අගාදයට ඇද වැටෙන බව ජාත්‍යන්තර මාධ්‍යයන් කියයි.   


පුටින්ගේ මොස්කව් පාලනයට මුක්කු ගැසූ ජනපති වික්ටර් යනුකොවිච් 2014 දී විප්ලවය තුළින් පළවා හරිනු ලැබුවත් යුක්‍රේනයේ අමුතු පෙරළියක් සිදු නොවීය. ජනතාවට යුද බියෙන් ජීවත්වන්න සිදුවිය. යුද්ධය වවාගෙන කෑ පාලකයෝ සිත් සේ රට සූරා කන්නට පටන් ගත්හ. දිළින්දන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවිය. රටේ ප්‍රශ්න එක තැන පල්විය. දිළින්දන්ගේ ශෝකාලාපය තුරන් කිරීමට පාලකයින් අසමත් විය. මේ රට අඳුරු අගාදයට ඇද වැටුණේ මෙසේය. යුරෝපයේ දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් වූ යුක්‍රේනය පිළිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව එහි යූ.එස්.ඒඩ්. මගින් මෙහි සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් ආධාර මුදල්වලින් සියයට 80ක්ම දේශපාලකයින්ගේ මුදල් පසුම්බිවලට වැටුණු අයුරු හෙළිවේ. 

 
වංචා සහගත අවි ගනුදෙනු   


යුක්‍රේනයේ හමුදාවන් සතු ඩොලර් බිලියන 32කට වැඩි වටිනාකමකින් යුත් යුද උපකරණ අතුරුදන් වීම එහි දේශපාලකයින් සිදුකළ වංචාවන්ගෙන් මුල් තැන හිමිවූ සිද්ධියකි. හිටපු රජයේ ප්‍රබලයින් 78 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ අල්ලස් හා වංචා චෝදනා මෙන්ම අපරාධ චෝදනා රාශියක් සම්බන්ධයෙන් නඩු පවරා ඇතත් ඒවා කල් යමින් චෝදනා යට යමින් ඒවා අධිකරණයේ ලිපි ගොනුවලට පමණක් සීමාවී තිබේ.  


අධිකරණය ද දූෂණයෙන් පිරී පැවතීම තුළින් මෙහි දූෂිත දේශපාලකයින්ට අධිකරණයේ පිහිට ලැබී තිබේ. දූෂිත දේශපාලකයින්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් පැවරූ නඩු 500කට පමණ වුණ දේ කුමක්දැයි මාධ්‍ය විමසයි.

   
2016 ඔක්තෝබර් මාසයේදී යුක්‍රේනයේ දේශපාලකයින් 413 දෙනකු තමන් සතු වත්කම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලදී. මේ අනුව ඔවුන් සතුව ඇති වත්කම්වල මුළු වටිනාකම වශයෙන් සඳහන් කර තිබුණේ ඩොලර් මිලියන 460ක් පමණි. එහෙත් මෙම වත්කම් ප්‍රමාණය එය මෙන් දහස් ගුණයකින් වැඩි බව ද ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය වත්කම් ප්‍රකාශ බව ද හෙළි වී ඇත. එහෙත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. බලය හා මුදල් බදාගෙන ජීවිත කාලයම සුර සැප විඳීම මේ කියන යුක්‍රේනයේ ද බහුතර දේශපාලකයින්ගේ වෑයමයි.   


යුක්‍රේනයේ මන්ත්‍රීවරුන් තම කොට්ඨාසවල සංවර්ධනය සඳහා රජයෙන් මුදල් වෙන් කරවාගෙන එම මුදල්වලින් සියයට 75ක් පමණ නීති විරෝධී අයුරින් සාක්කුවේ දමා ගෙන ඡන්දදායකයන් රවටන නින්දාසහගත ආකාරය පිළිබඳ උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැක.   


රට වැනසූ දේශපාලන හොරු   


යුක්‍රේනයේ මන්ත්‍රීවරයකු වූ ඔල්සැන්ඩර් ඔනිස්චෙන්කෝට එරෙහිව රාජ්‍ය ගෑස් නිෂ්පාදන ආයතනයේ සිදුවූ මහා පරිමාණයේ වංචා සහ ඉන් රජයට පාඩු සිදු කළ අයුරු දැක්වෙන චෝදනා එල්ලවිය. මෙම ගෑස් සමාගමෙන් පසුගිය වසර 2කට ලැබුණු ආදායම ඩොලර් 740,000ක් පමණක් බව වාර්තා විය. එහෙත් මේ මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ විට එම ගෑස් සමාගමේ මාස 4ක ආදායම ඩොලර් මිලියන 4ක් දක්වා වැඩිවී ඇතැයි වාර්තා කරනු ලැබීය. ඔහු තම ඥාතීන් යොදවා ගෑස් සමාගමේ සල්ලි ගිලගත් අයුරු දැන් හෙළිවී තිබේ. යුක්‍රේනය ප්‍රපාතයට ඇද වැටුණේ මෙවැනි දේශපාලකයින්ගේ දූෂණ වංචා නිසාය. එම මන්ත්‍රීවරයාට එරෙහිව ඩොලර් මිලියන 58ක් පමණ මහජන මුදල් සොරකම් කළ බව කියන නඩුවක් විභාග වීමට නියමිතය.   


රුසියාව හා යුක්‍රේනය අතර ඇතිවුණ ගෑස් ආරවුල සීතල යුද්ධයක් දක්වා වර්ධනය වුණේ දේශපාලකයින්ගේ අන්තනෝමතික ක්‍රියා නිසාය. යුක්‍රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් හිටපු ජනපති ලියොනිච් කුච්මාට තුන්වැනි වරටත් ජනපති තරගයට ඉදිරිපත් වීමට අවසර දීම තුළින් එහි දේශපාලන ගැටුම් ඇතිවිය. මේ ගැටුම් දුරදිග ගියේය. එම රටේ සියලු කටයුතු අස්ථාවර තත්ත්වයට පත්වුණේ මෙසේය. ජනතා හඬ අධිකරණයේ තීන්දුව අභිබවා යාම හේතුකොටගෙන අස්ථාවර වූ රට ප්‍රපාතයට ඇද වැටුණ අයුරු නොරහසකි.   


රටේ අධ්‍යාපන පද්ධතිය කා දැමූ අධ්‍යාපන ඇමති පළවා හැරීම දක්වා ඔහුට එරෙහි විරෝධතා උග්‍ර විය. දේශපාලන අර්බුද එන්න එන්න උත්සන්න විය. බලයේ සිටි පාලකයින් තම අභිමතාර්ථයන් ඉෂ්ට කරගැනීම සහ දූෂණ වංචා වසා ගැනීම සඳහා මුදලට ලබා ගන්නා ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පළවා හැරීම එහි යහපත තකා සිදුවූවකි. බැංකු පද්ධතිය විනාශ කළ යුක්‍රේනයේ ජාතික බැංකුවේ සභාපති වසීම් හෙට්මන්ට එල්ල වූ චෝදනා වසං කිරීමට පාලකයින් ගත් ක්‍රියාමාර්ග ජනතාගේ පිළිකුලට භාජනය විය. මෙවන් දේශපාලනික වශයෙන් ඉමහත් අපකීර්තිමත් සිද්ධීන් රැසක් මේ රට ප්‍රපාතයට වැටීමට හේතූන් විය.   


මෙසේ මේ රටේ දේශපාලකයින් බලය හා ධනය තුළ ඇලී ගැලී වෙළී රටේ සාරය උරා බොද්දී බහුතර පොදු ජනතාව දහසකුත් එකක් දැවෙන ප්‍රශ්න කරපින්නා ගෙන දුක්ඛිත දිවි ගෙවයි.   


යුක්‍රේනයේ නව ජනාධිපති බලයට පත්වී මාස කීපයකි. ඔහු වොලඩමිර් සෙලෙන්ස්කිය. ඔහු මීට මාසයකට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවට ගියේය. ධවල මන්දිරයේදී ඔහු කළ ප්‍රකාශයක් 2019 ඔක්. 25 දා නිව්යෝකර් පත්‍රයේ පළ විය. තමා යුක්‍රේනයට නව දේශපාලන සදාචාරයක් හඳුන්වා දෙන බව ද එහි පාලන තන්ත්‍රයේ පවතින දූෂණ වංචා තුරන් කරන බව ද ඔහු සඳහන් කළ බව එම පත්‍රය කියයි. 2019 අප්‍රේල් මාසයේදී සියයට 71ක බහුතර ජනතා මනාපයක් ලබාගෙන බලයට පත් ඔහුට යුක්‍රේනය ගොඩගැනීමට හැකිවන්නේද? නැතහොත් එහි පොදු ජනතාවගේ සිතුම් පැතුම් කළු මුහුදේ ගිලී යාවිද?

 

 

 

සිරි හීන්පැල්ල
නිව්යෝර්ක් නුවර සිට ලියයි