නයා ගසා මියගිය මසුන් මරන්නා


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


බටුගොඩ, ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවු කතාවෙක් මෙසේය.   


පාර නොදී ප්‍රේත ලොවට මඟ හෙළිකර ගත් ඇල්බට් මුදලාලි

 


මෙලොව ඉපදෙන බොහෝ මිනිස්සු මුදල් හදල් වලට ඉඩ කඩම් වලට යාන වාහන වලට කැමැත්තක් දක්වති. ලෞකික ජීවිතයේදී එවැනි වස්තුව දේපළ අනවශ්‍ය දේවල් නොවේ. එසේම පස් කම් සැප විඳීම සඳහා අවශ්‍ය සියල්ල ලබා ගැනීමට ද මිනිස්සු නොතිත් ආශාවක් දක්වති. බොහෝ දෙනා ජීවත් වන්නේ එබඳු දෙය අයත් කර ගැනීම සඳහාය. ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයම වෙහෙසති. ඇතැම් දෙනාට තම බලාපොරොත්තු වලින් කිහිපයක් ඉටු කර ගැනීමේ වාසනාව ලැබෙයි. එසේ වුවද ඇතැම්හු එයින් අංශු මාත්‍රයක් හෝ ඉටු කර ගැනීමට නොහැකිව බලාපො​​ෙරාත්තු කන්දක් හිස තබා ගෙන පරලොව යති.   


ඇතැම් දෙනා අනුන් සතු දෙය අයිති කර ගන්නාක් මෙන්ම තමන් සතු දෙය ද අබ ඇටයක් තරම හෝ සමාජයේ යහපත උදෙසා පරිත්‍යාග නොකරති. දීමෙන් පිනක් සිදු වන අතර, නොදීම නිසා පව් සිදු වෙයි. මෙය වටහා ගත් බෞද්ධයෝ නිරතුරුවම පරිත්‍යාගශීලීව කටයුතු කරති. තමන්ගේ ආහාර වේල පමණක් නොව, තමන් සතු යාන වාහන, නිවාස ඉඩ කඩම් පවා අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන අය පිළිබඳ මෑත භාගයේද අසන්නට ලැබුණි. එක්තරා පුද්ගලයකු තමන් සතු මන්දිරය දුප්පත් පවුලකට පරිත්‍යාග කර, තමන් පොල් අතු පැලකට ගිය පුවතක් මෑත කාලයේ අසන්නට ලැබුණි. තමන් සතු ඇස්, වකුගඩු හදවත පවා දන් දීමට ඉදිරිපත් වන බෝසත් මිනිසුන් අප සමාජයේ සිටිති. එහෙත් තමන් සතු ඉඩම් අඟලක් හෝ සමාජයේ යහපත උදෙසා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් නොවන මසුරු පුරුෂයෝ කාන්තාවෝ ද සමාජයෙහි සිටිති. මෑත කාලයෙහි මහනුවර ප්‍රදේශයේ එක්තරා මාර්ගයක් පළල් කොට, කාපට් ඇතිරීම කරන ලදි. බොහෝ දෙනෙක් ඒ සඳහා සිය කැමැත්තෙන් තම ඉඩ කඩම් පරිත්‍යාග කරන ලදි. එම මාර්ගයෙහි ස්ථාන දෙකක ඉඩම් අයිතිකරුවන් තම ඉඩම් වලින් මාර්ගය පළල් කිරීමට විරුද්ධත්වය දක්වන ලදි. එනිසා තමා එම ස්ථාන වල පරණ පටු මාවත දැක ගත හැකිය. එම ස්ථාන වලින් දින පතා යන එන මිනිස්සු නිරතුරුවම අප්‍රසාදයෙන් කථා කරති. එම මසුරු පුද්ගලයන්ට කිසියම් දිනක පසුතැවිලි වීමට සිදු වනවා නියතය. එවැනි මසුරු මිනිස්සු මියගොස් ප්‍රේත ආත්ම ලබති. වසර හැටක් හැත්තෑවක් කාලයක තුළ මසුරු කමෙන් කිසිම දෙයක් කිසිවකුට නොදී සිට මිය ගොස් ප්‍රේත ආත්ම ලබා කල්ප ගණන් දුක් විඳිති.   


එවැනි එක් ප්‍රේතයකු පිළිබඳ කතා පුවතක් ඇත. එක් අවස්ථාවක ආනන්ද තෙරුන් වහන්සේ හුදෙකලාව පොකුණක් අසලින් වඩින විට පැන් පිපාසයක් ඇති විය. පැන් ටිකක් ගැනීමට පොකුණ අසලට වඩින විට, ස්වාමීන් වහන්ස, මමත් පිපාසයෙන් පෙළෙමි මටත් පැන් ටිකක් දෙනු මැනවි. යනුවෙන් හඬක් නැගුනි. උන් වහන්සේට ප්‍රේතයෙක් දක්නට ලැබුණි. තෙරුන් වහන්සේ ඔහුගේ මුඛයට පැන් වත් කළහ. ඒවා සියල්ල උගුරෙහි තිබු සිදුරකින් පිට විය. ප්‍රේතයාට පැන් බීමට නොහැකි විය. මෙම කරුණ බුදු හිමියන්ට ද දැන ගන්නට ලැබුණි. එම ප්‍රේතයා විසින් පෙර කරන ලද අකුසල කර්මය උන්වහන්සේ පැහැදිලි කළ සේක. මෙම ප්‍රේතයා එක්තරා කාලයක ධනවතකු වශයෙන් සැප සම්පත් විඳිමින් ජීවත් විය. එකල බලවත් නියඟයක් ඇති වී ළිං පිහිටි ජලාශ සියල්ලක්ම වියළි ගොස් මිනිස්සුන්ට බීමට පවා ජලය නැති විය. මෙම ධනවත් පුද්ගලයාගේ ළිඳෙහි නොඅඩුව ජලය තිබුණි. ජලය සොයා පැමිණි අසරණයන්ට නින්දා අපහාස කරමින් එළවා ගත්තේය. කිසිවකුටත් ජල බිඳක් නොදුන්නේ ය. ටික කලකින් මොහු මිය ගොස් කුප්පිපාසික ප්‍රේතයකු වශයෙන් උපන්නේය. ඔහුට කෑමට බීමට සෙම් සොටු හෝ නොලැබිණි. දිය පිරි විලක් අසල සිටියත් කිසිදා දිය බිඳක් බීමට නොහැකිව පිපාසයෙන් පීඩිතව සිටියේය. මෙය නම් අප කාටත් කදිම ආදර්ශයකි. ගමට පාරක් හෝ පොදු දෙයක් කරන විට ඇතැමුන් තම ඉඩමකින් අඟලක් හෝ නොදෙති. එම කාර්යයන්ට හැකි තරම් බාධා පමුනුවති. වසර හැටක් හැත්තෑවක් ජීවත් වන මෙම ජීවිතය සදාකාලිකය යි. සිතමින් කටයුතු කරති.   


අවසානයේ ඔවුන් මේ ජීවිතයේ දීම ප්‍රේතයන් බවට පත්ව මිය ගිය පසු ද කල්ප ගණන් දුක් විඳින ප්‍රේතයන් බවට පත් වෙති. එයට එක් නිදසුනක් නම් “ඇල්බට්” මුදලාලිගේ කතා පුවතයි.   


ඇල්බට් මුදලාලි මධ්‍යම පළාතේ තරමක් පිටිසර ගම්මානයක ජීවත් වු අයෙකි. හෙතෙම මසුරු බවේ අන්තයටම ගිය අයෙකි. ආගම දහමට ලැඳියාවක් නැති මොහ​ු සතයක්වත් අනුන් වෙනුවෙන් පරිත්‍යාග නොකළ අයෙකි. ඉවත ලන බත් ටිකක් සතෙකුටවත් නොදෙයි. බල්ලන්, රිලවුන්, කපුටන් එළවීමට කැටපෝලයක් පාවිච්චි කරයි. හිඟා කන උදවිය එන විට ඈත සිටම එළවා දමයි. මොහුගේ එකම පරමාර්ථය මුදල් සහ ඉඩ කඩම් හරි හම්බ කිරීමයි. මේ අතර ගමේ පාර පළල් කර කාපට් කිරීම ආරම්භ විය. ඔහුගේ නිවස අසලට පාර පළල් වන තුරු නිහඬව සිටි හෙතෙම තම ඉඩමෙන් අඟලක් හෝ නොදෙන්නෙමි. යනුවෙන් ​ගෝරනාඩු කළේය. භික්ෂූන් වහන්සේලා ඇතුළු බොහෝ දෙනෙකු කොතරම් පැහැදිලි කළත් ඔහු කිසිවකුගේ වදන් නොපිළිගත්තේය. නිලධාරීන්ට ද කර කියා ගත හැකි දෙයක් නොතිබුණි. අවසන මෙම ප්‍රශ්නය උසාවිය දක්වා ගියේය. උසාවියේ ඇසෙන නඩුව වසරෙන් වසර කල් යයි. ඇල්බට්ගේ නිවෙස අසලින් පළල් විය යුතු මාර්ගය අදටත් එලෙසම පවතියි. එම ස්ථානයෙහි නිරතුරුවම වාහන තදබදයක් පවතියි. ඒ හැම විටම මහජනයා ඇල්බට්ට දෙස් දෙවොල් තබති. නින්දා අපහාස කරති. මෙසේ දැඩි වස්තු තණ්හාවෙන් සිටි ඇල්බට් හිටි අඩියේම අසනීප තත්ත්වයට පත් විය. හෙතෙම ආඝාත රෝගයට ​ගොදුරු විය. තමන්ගේ පෞද්ගලික කටයුතු කර ගැනීමට ද නොහැකි විය. දරුවන් ද දුර බැහැර සිටි බැවින් ඔවුන්ගේ සැලකිල්ල ද නොලැබුණි. ඇතැම් විට වුවමනාවෙන්ම නොසලකා හැරියා විය යුතුය. පාසලේ ගුරුවරියක් වශයෙන් සිටි බිරිඳ ද අසනීප තත්ත්වයෙන් සිටියාය.   


ආහාර, බේත් හේත් නොලැබු ඇල්බට් බෙහෙවින් දුක් වින්ඳේය. අහළ පහළ කිසිවකුත් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් නොවුනි. ඔහුගේ අවසාන කාලය ප්‍රේතයකු මෙන් ජීවත් වීමට සිදු විය. හිස කෙස් රැවුල වැඩීමෙන් ඔහුගේ පෙනුම ද බිය ජනක විය. ඇගෙහි හට ගත් තුවාල නිසා දැඩි වේදනාවක් වින්ඳේය. කටෙන් නාසයෙන් නිරතුරුව සෙම් සොටු වැගිරෙයි. තුවාල වලින් නිරතුරුව දුගඳ හැමුවේය.ඔහුගේ තනි නොතනියට හිටියේ පණුවන් සහ මැස්සන් පමණකි. මෙසේ කලක් දුක් විඳිමින් සිටි ඇල්බට් මුදලාලි එක්තරා දිනෙක අවසන් හුස්ම හෙළුවේය.   


ඔහු වෙනුවෙන් ගමෙහි සුදු කොඩි, බැනර් නොඑසවුණි. මළ ගමට පවා කිසිවකුත් සහභාගී නොවුණි. සහභාගී වුයේ කිට්ටුවර ඥාතීන් කිහිප දෙනෙකු පමණකි. මෙලොව ජීවිතයේදීම ප්‍රේතයකු මෙන් සිටි ඇල්බට් මිය ගිය පසු ද ප්‍රේත ආත්මකයක් ලැබු බවට කිසිදු සැකයක් නැත. එසේ ප්‍රේත ආත්ම භවයක් ලබා තවත් කල්ප ගණනක් දුක් විඳීමට සිදු වනු නොඅනුමානය.   

 



මතුගම වැලිමානාන සී.එච්.සී. ජයලත් මහතා ලියා එවු කතාවෙක් මෙසේය.   


ආදා යැයි නයා අල්ලාගත් බුරම්පි මරු දකී  

 


මෙය ඉතා බිය ඵළවන සුළු අත්දැකීමකි. මෙම සිදුවීම බස්නාහිර පළාතට ආසන්නව ගැමි සුවඳ වෑහෙන සුන්දර ගම්මානයක සිදු වු අසුන්දර කථා පුවතකි. මෙකළ මේ ගම් පියසෙහි කටු මැටියෙන් තනා ගත් ගෙවල් හත අටකට වඩා නොතිබුණි. ඒත් ඒවා පිහිටා තිබුණේ ඇස පෙනෙන නොපෙනෙන මානයේය. එදා අදමෙන් නොව ගැමියෝ සිය ජීවිකාව හැටියට යොදා ගැනුණේ ගොවිතැන් බත් කිරීමත් වෙළෙඳාමත් ය. මේ ගැමියන් අතර බුරමිපිද එක් අයෙකි. හරි හැටි අධ්‍යාපනයක් නොලද මොහු පවුලේ බාලයාය. එදා සිට බුලත් සැපීමටත් රා බීමටත් ඇබ්බැහි වු මොහු විවාහයක් නොලද මැදිවියේ කෙසඟ සිරුරකින් යුත් පුද්ගලයෙකි. මොහුගේ ජීවිකාව වුයේ වෙල් මාළු විකිණීමය. සවසට රා ගොන්නක් බී ගෙන මාළු පිණි රස බලන මොහු රෑ තිස්සේ තොර තෝංචියක් නැතිව කෑ ගසමින්, හූ කියමින් ගම්මුන්ට බැණ වඳිමින් ගමම දෙවනත් කරයි. ගමටම හිසරදයක් වු ඔහු දැකීමට පවා කැමැත්තක් ගම්මුන් තුළ නොවීය.   


දිනක් උදෑසනම රා ටිකක් බී උදැල්ල කූඩය. බාල්දිය අතට ගත් බුරම්පි පිහියද ඉණේ ගසා ගෙන ලක ලෑස්ති වුයේ සුපුරුදු ජීවිකාව කිරීමටය. ගමේ වෙල් ඉහත්තෑවේ ඇති ඇළ කානුව අසලට ගොඩ වු ඔහු මාළු ඉන්නා ඉසව්ව බලා ලී දඬු ටිකක් ගසා වේල්ල හරස් කොට උදැල්ලෙන් පිඩැලි කිහිපයක් කපා වත් කඩය බැඳ ගත්තේ පහළ ඇල කානුවට එන වතුර නැවැත්වීමටය. එවිට එහි සිටින මාළුවන් මඩ කරි ඉස්සෝ හුංගෝ ලුලා පෙතියා ආදා යන උන් අල්ලා ගැනීම ඉතාම ලෙහෙසි පහසු කටයුත්තක් වු බැවිනි. අද මෙන් නොව එදා කෘමි නාශක වෙල් වලට නොගසන නිසා මාළුන් වෙල් කාණු වල බහුල විය. එදා ගැමියන්ගේද ප්‍රියතම ආහාරය වෙල් මාළු සහ කැකුළු හාල් බත්ය. වතුර හිස් වු ඇළ දිගේ කූඩය දමා පහළට ගෙන ගිය බුරම්පිට සිතුවාටත් වඩා මාළු අහු වන්නට විය. සතුට ඉහ වහා ගිය බුරම්පි අල්ලා ගත් මාළු ටික බාල්දියට දමා යළිත් කූඩය අතැතිව කානුවට බැස මාළු අල්ලනට විය. නොසිතූ පරිදි විශාල නාගයකු ඇළ අසල ඇති තුඹසෙන් පිටව ඇළ දිගේ ඇදෙන්නට විය. වෙරි මතින් මත් වී සිටි බුරම්පිට ඌ පෙනුණේ ආදකු ලෙසිනි. සෙමින් ඉදිරියට ගිය බුරම්පි දෑතින්ම ඌ අල්ලා ගන්නට වැර දැරීය. ගත වුයේ නිමේෂයකි. කෝපයෙන් සිටි නාගයා බුරම්පිට දෂ්ට කරන්නට විය. සිහිසුන්වු ඔහු එතනම ඇද වැටුණි. කුඹුරට ආ ගම්මු දුටු ඔහු වහා කර පින්නා ගෙන වෙද රාළ වෙත ගෙන ගියද එවිට ඔහු මිය පරලොව ගොස් තිබුණි. මේ වින්නැහිය කන වැකුණු ගම්මු කථා වුයේ බුරම්පිට සිදු වු ඉරණමක මහතය       
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

 

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්