ජෝර්ජියාව අගාධයට ගිය හැටි


ජෝර්ජියාවේ දරිද්‍රතාව

 

 

අද ලෝකයේ බොහෝ රටවල සිටින්නේ රටට හෙණ පිට හෙණ ගැහුවත් සත පහක් තරම්වත් ගණන් නොගන්නා දේශපාලකයින්ය. වාග් සංග්‍රාම පවත්වා ඡන්ද කුට්ටි වැඩි කරගන්නා හොර දෙටුවන්ය. ඔවුන් සිදුකරන්නේ ඡන්ද කුට්ටිවලට ගිජුවී ජනතා ජීවිත බිලිදෙන පාහර වැඩය. මොවුන්ගෙන් බොහෝදෙනා ජනතාවගේ දුක් ගින්දර මැද්දට පැන්න රාක්ෂයින් වගේය. ඡන්ද පිට ඡන්ද හෙවත් මැතිවරණ පැවැත්වීම ඔවුන්ට ඉමහත් වරප්‍රසාදයකි. මේ වරප්‍රසාදය අනුසාරයෙන් බලය ලබාගන්නේ සල්ලි පනම් යහමින් ඇති පුද්ගලයින්ය. මැතිවරණ අනුසාරයෙන් සෞභාග්‍යය උරුම කරගත් රටවල් ඇත්තේ කීයෙන් කීයද?   


ලංකාවේද තවත් මැතිවරණයක් පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ලංකාවෙන් සමුගන්නා මෙවන් මොහොතක මා මෙසේ සඳහන් කළේ ලෝකයේ තවත් රටක් බලලෝභී දේශපාලකයින් විසින් කාදැමූ අයුරු විදහා දැක්වීමටය. ඡන්ද වලදී හැම එකාම කියන්නේ හිටපු උන්ට වඩා තමන් බලයට පත්වූ පසු රට ගොඩගන්නා බවය.   


වළපල්ලට ගිය රටවල් යන සිරස්තලය යටතේ මා විසින් මෙතෙක් හඳුන්වාදුන් රාජ්‍යයන්හි පණනළ රැකගන්නට වෙර දරණ මිනිසුන්ගේ ශෝකාලාපය හමුවෙහි ඇතැම් දේශපාලකයින්ගේ හැසිරීම නින්දා සහගතය. ශීලාචාර නැත. ඔවුන් ජනදුක සලකන්නේ අලුයමලූ කෙළ පිඬක් සේය.   


දේශපාලන හොරුන්ගේ තවත් පාරාදීසයක්   


දූෂිත දේශපාලකයින්ගෙන් පිරුණ තවත් රටකි ජෝර්ජියාව (GEORGIA). කොමියුනිස්ට් පාලන ක්‍රමය අහෝසි වී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වී වසර 29 ක් ගතවී ඇතත් මේ කියන ජෝර්ජියාවට අත්වූ සෙතක් නැත. 1991 අප්‍රේල් 9 දා සෝවියට් දේශයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්වුවත් ජෝර්ජියාව කළු මුහුදේ (BLACK SEA) ගිලෙමින් පවතී. 

 
මේ රට බටහිරට කළු මුහුදටද උතුරට රුසියාවටද මායිම්ව ඇත. බටහිර ආසියාවට හා නැගෙනහිර යුරෝපයට මායිම්ව පිහිටයි. මා මුල්වරට මේ රටට ගියේ මීට වසර 38 කට පෙරය. එනම් 1982 වර්ෂයේදීය. තුර්කිය, අර්මේනියාව සහ අසර්බයිජානයට මැදිව ඇති මේ රටේ විශාලත්වය ව.කි.මී. 69700 ක් හෙවත් ව.සැ. 26,911 කි. ජනගහනය ලක්ෂ 37 කට මදක් වැඩිය. (3,723,464) වත්මන් ජනාධිපති සැලෝම් සුරබිස්විලිය. (SALOME ZURABISHVILI) අගමැති ජෝර්ජි ගකාරියාය. (GIORGI GAKHARIA)   


රත්රන්, තඹ, යකඩ, රිදී ආදී ඛනිජ සම්පත් වලින් පිරුණ රටකි. විටින් විට බලයට පත් දේශපාලකයෝ මේ ඛනිජ සම්පත් ගිල දැමූහ. බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90 ක් පමණ වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට 21.9 ක් පමණ වේ. සෑම ළදරු උපත් 1000 කට ළදරුවෝ 18 ක් පමණ උපතේදීම මියයති. මුළු ජනගහනයෙන් සියයට 58 ක් පමණ රැකියා විරහිත වූවන්ය. ලිංගාශ්‍රිත රෝගයක් වූ ඒඩ්ස් හෙවත් එච්.අයි.වී. (HIV) වෛරසයෙන් පීඩා විඳින්නන්ගේ සංඛ්‍යාව අති විශාලය. 

 
ජෝර්ජියාවේ රෝස විප්ලවය   


ජෝර්ජියාව ලෝකයේ දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් වශයෙන් හැඳින්වීම නිවැරදිය. දේශපාලකයින් ඉවක් බවක් නැතිව සිදුකරන දූෂිත ක්‍රියා හේතු කොටගෙන මේ රටද ඉදිරියට ගියේ නැත. 2003 වර්ෂයේදී රටේ සිදුවූ රෝස විප්ලවය (ROSE REVOLUTION) හේතු කොටගෙන එහි ජනාධිපතිවූ එඩ්වඩ් ෂවර්ඩනාඩෙස් (EDUARD SHEVARDNADZE) ඉල්ලා අස්වී ගෙදර ගිය අයුරු සහ ඉන්පසු රටේ සිදුවූ පරිවර්තනය පිළිබඳ විශේෂ ලිපියක් 2014 ජූලි 7 වැනි සඳුදා ද ගාඩියන් (THE GUARDIAN) පුවත්පතේ පළවී තිබුණි.   


සෝවියට් දේශයේ පාලකයින් වූ ගොර්බචොව්, යෙල්ට්සින් ආදීන් සමග කිට්ටු සබඳතා පැවැත්වූ කලක් රුසියාවේ විදේශ ඇමති පදවියද හෙබවූ ෂවර්ඩෙනාඩෙස් (SHEVARDNADZE)​ ජෝර්ජියාවේ 2 වැනි ජනාධිපතිය. 1992 සිට 2003 දක්වා ඔහු එම පදවිය හෙබවීය.   


ජෝර්ජියාවේ ජනතා පිබිදීම හෙවත් රෝස විප්ලවය හේතුකොටගෙන ජනපති පදවියෙන් ඉල්ලා අස්වූ ඔහු යළි දේශපාලනයට පිවිසියේ නැත. මෙම රෝස විප්ලවය සිදුවී වසරකට පසු එනම් 2004 ජූලි 7 දා ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. ඔහුගෙන් පසු 2004 දී ජෝර්ජියාවේ ජනපති පදවියට මැතිවරණයෙන් තේරී පත්වූ මිකායෙල් ෂාකාස්විලි (MIKHEIL SAAKASHVILI) දෙවරක්ම (2004 - 2016), (2015 - 2016) ජනපති පදවියට පත්විය. තුන්වැනි වරටත් ඔහු ජනපති පදවියට පත්වීමට උත්සාහ කළත් බහුතර ජනතාවගේ විරෝධය හමුවෙහි ඔහුට ඊට අවස්ථාවක් නොලැබුණි.   


තුන් අවුරුදු සිරදඬුවම් නියමවූ තුන්වැනි ජනපති   


ජෝර්ජියාවේ 3 වැනි ජනාධිපති වූ ඔහු 3 වැනි වරටත් ජනපති පදවියට පත් නොවීය. ඔහු සිදුකළ ඡන්ද දූෂණ ආදිය පිළිබඳව ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය. යුක්‍රේන් ජාතිකයෙකු වූ ඔහු යුක්‍රේන් පුරවැසි භාවය තිබියදීම ජෝර්ජියාවේ ජනපති පදවියට පත්වීම නීතිවිරෝධී බව මාධ්‍යයන් මගින් හෙළිකරන ලදී. 2019 මැයි 29 දා සියලු පදවි අහිමිවීමෙන් පසු ඔහු යළි යුක්‍රේනයේ පදිංචියට ගියේය.   


තම කැබිනට් මණ්ඩලයේ සිටි විවිධ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ රාජ්‍ය පරිපාලන ඇමති අයිවන්, ආරක්ෂක ඇමති ඩේවිඩ් කෙසරාස්විලි, මුදල් ඇමති නිකා ගිලුරි, ආදීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඔවුන්ගේ ඇමති තනතුරු පමණක් වෙනස් කිරීම ඔහුට එල්ලවූ බරපතළ චෝදනාවකි. දූෂිතයින් රකිමින් ඔහු රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම හේතු කොටගෙන 2012 දී රට පුරා ඔහුගේ රජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැන නැගුණි. 

 
බලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පවරන ලදී. 2014 මාර්තු 23 දා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙනී සිටිමින් දූෂණ චෝදනා වලට පිළිතුරු දුන්නේය. මහජන මුදල් සොරකම් කිරීම ඔහුට එල්ලවූ ප්‍රබල චෝදනාවකි. 2014 අගෝස්තු 14 දා ඔහුගේ පුද්ගලික බැංකු ගිණුම් තහනම් කරනු ලැබීය. ඔහු සතු දැවැන්ත දේපොළ රාජසන්තක කරන ලදී. 2018 ජනවාරි 5 දා මේ ජෝර්ජියාවේ 3 වැනි ජනාධිපතිවරයාට අවුරුදු 3 ක සිර දඬුවමක් නියම කරන ලදී. යුද අවි වලින් ගසා කෑ ඔහුගේ ආරක්ෂක ඇමතිටද (ඩේවිඩ් කෙසරාස්විලි) (DAVID KEZERASVILI) සිර දඬුවම් නියම විය.

   
ජෝර්ජියාවේ 3 වැනි ජනාධිපතිගේ නැගීම හා බැසීම මෙසේ කෙටියෙන් සඳහන් කළ හැක. ජෝර්ජියාවේ හිටපු ජනාධිපතිවරයාට වසර 3 ක සිර දඬුවමක් නියම වූ පසු ඔහු අභියාචනයක් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරයෙන් එළියට පැමිණ යුක්‍රේනයට පලා ගියේය. යුක්‍රේනය මගින් ඔහු එහි සිට පෝලන්තයට පිටුවහල් කරන ලදී. මේ පිළිබඳ විශේෂ ලිපියක් 2018 පෙබරවාරි 12 දා ද ගාඩියන් පුවත්පතේ පළවිය. එහි සිරස්තලය GEORGIA'S FORMER PRESIDENT DEPORTED FORM UKRAINE TO POLAND යන්නයි. එහි සිංහල පරිවර්තනය මෙසේය. ජෝර්ජියාවේ හිටපු ජනාධිපති යුක්‍රේනයේ සිට පෝලන්තයට පිටුවහල් කරයි.   


විවිධ ජාත්‍යන්තර ජනමාධ්‍යයන් සඳහන් කරන්නේ ලොව බොහෝ රටවල මෙන් ජෝර්ජියාවේද හිටපු බලධාරීන් නඩු කාරයින්ට හා අධිකරණ ක්ෂේත්‍රයේ ලොකු ලොක්කන්ට පගාවදී ඇප ලබාගෙන වෙනත් රටවලට කිසිදු ඇබැද්දියකින් තොරව ගොස් එම රටවල සුරසැප විඳින බවයි.   


වහල මතට නැග්ග දූෂිත ජනපති අල්ලා ගත් හැටි   


2017 දෙසැම්බර් 5 දා රුසියන් නිව්ස් ඒජන්සිය (RUSSIAN NEWS AGENCY) මගින් ප්‍රකාශයට පත් කරන ටාස් (TASS) ප්‍රවෘත්ති සේවය මගින් පළකළ පුවතක සඳහන් වූයේ මහජන දේපොළ සොරකම් කොට පලා යාමට තැත් කළ ජෝර්ජියාවේ හිටපු ජනාධිපති මිකායෙල් තම සුඛෝපභෝගී නිවසේ වහල මත නැග සිටියදී විශේෂ පොලිස් බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයුරු දැක්වෙන විශේෂ පුවතයි. වහලෙන් බිමට පනිනවා යයි කියද්දීත් වහල මතට නැගගත් පොලිස් නිලධාරීන් හිටපු ජනාධිපති වරයාගේ බෙල්ලෙන් අල්ලාගෙන දෑතට මාංචු දමා මෙල්ල කරගත් අයුරු චිත්‍රපටයක ජවනිකාවක් මෙන් රූපවාහිනිය මගින් විකාශනය කරනු ලැබීය.   


සල්ලි හොරකම් කළ ඇමතිවරු 10 දෙනා   


2018 ජනවාරි 5 දාත් 2018 පෙබරවාරි 12 දාත් ද නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස් (THE NEWYORK TIMES) පත්‍රයේ පළවූ විශේෂ ලිපි දෙකක මිකායෙල්ගේ රජය හා ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 10 දෙනෙකු සිදුකළ මහා පරිමාණයේ වංචා සහ දූෂණ පිළිබඳ විශේෂ ලිපි දෙකක් පළවී තිබුණි.   


එරට හිටපු අධ්‍යාපන ඇමතිවරයා සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් එක්වී ටිබ්ලිසි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීම සඳහා ළමයින්ගෙන් ඩොලර් 30,000 බැගින් පගාව ලබාගත් අයුරුද හෙළිවී ඇත. 2015 සැප් 3 දා එෆ්.පී. නිව්ස් මගින් මෙය මුල්වරට හෙළි කරන ලදී.   


ජෝර්ජියාවේ හිටපු ආරක්ෂක ඇමතිවරයා බචනා අකාලියාය (BACHANA AKHALIA). එහි ප්‍රධාන බන්ධනාගාරයේ සිදුවූ ආක්‍රමණය මෙහෙයවා ඇත්තේ ඔහු බව අනාවරණය විය. මෙම ගැටුමේදී සිරකරුවන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු ආරක්ෂක ඇමතිවරයාට අවුරුදු 3 ක සිරදඬුවමක් නියම විය. හිටපු සෞඛ්‍ය ඇමති ෂුරාබ් චිබරාස්විලි (ZURAB CHIABERASVILI) ජෝර්ජියාවේ මැතිවරණ පවත්වද්දී ඡන්ද දූෂණ සිදුකළ හැටි 2019 ජනවාරි 30 දා ජේ.ඒ.එම්. (JAM) නිව්ස් මගින් හෙළි කරන ලදී. එම මාධ්‍ය වාර්තාවෙහි සිරස්තලය නීතිය මෙහෙයවන හොරු (THIEVES IN LAW) යන්නයි. 

 
ගංගා නම් නදියේ ඉබි වංචාව 

 
ඉකුත් වසර කීපය තුළදී දූෂිත පොලිස් නිලධාරීන් 30,000 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කොට ගෙදර යැවූ රට ජෝර්ජියාවය. මොවුන්ගෙන් බොහෝදෙනා රථවාහන හසුරුවන නැතහොත් ට්‍රැෆික් (TRAFFIC) පොලිස් නිලධාරීන්ය. ලොව රට රටවල දේශපාලකයින් සිදුකරන දූෂණ ක්‍රියා පිළිබඳ සඳහන් කරද්දී 1980 වර්ෂයේදී ඉන්දියාවේ සිදුවූ සිද්ධියක්ද හුවා දැක්විය හැක.   


ඉන්දියාවේ ගංගා නම් ගංගාවට ඉබ්බන් 25,000 ක් පමණ මුදවා හැරීමේ ව්‍යාපෘතිය තුළින් එහි දේශපාලකයින් කීපදෙනෙකු ඩොලර් මිලියන 32 ක මුදලක් සොරකම් කළ හැටි ප්‍රකටය. ලක්නව්හි විශාල ජලාශයක් තනා එහි ඉබ්බන් බෝකිරීම තුළින් මෙම වංචාව සිදුවී ඇති බව හෙළිවිය. බොහෝ රටවල් ඉබිගමනින් ඉදිරියට යන්නේ දේශපාලකයින් සිදුකරන මෙවැනි හොරකම් නිසාය. ගංගා නම් නදිය පවිත්‍ර කිරීම සඳහා ඇරඹූ මේ ව්‍යාපෘතිය රාජ්‍ය මුදල් කොල්ලකෑමක් බව හෙළිවන විට සියල්ල සිදුවී හමාරය. ඉබ්බන් බෝකර ගංගාවලට පතිත කිරීම මුදල් උපයන දැවැන්ත ව්‍යාපාරයක් කරගැනීම කොතරම් නින්දා සහගතද?   


විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලකයින්ට මැතිවරණ වලදී තග කිරීමට ඉඩ ලබා නොදිය යුතු වුවත් දේශපාලන පක්ෂවල නායකයින් එය පයිසයකට මායිම් නොකර ක්‍රියා කිරීම තුළින් ලංකාව ප්‍රමුඛ විවිධ රටවලට අත්වෙන ඉරණම ඇස්පනාපිට දැකගැනීමට හැකිවී තිබේ.   


​ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව සතු ආසන සංඛ්‍යාව 150 කි. දේශපාලන පක්ෂ 30 කට වැඩි සංඛ්‍යාවක අපේක්ෂකයින් දහස් ගණනක් මැතිවරණ වලදී ඡන්දය ඉල්ලන්නේ මෙහි ආසනයක් දිනාගැනීමටයි. ලංකාවේ මෙන්ම මෙහිදීද දේශපාලකයින් කරළියට බහින්නේ මැතිවරණ වලදීය. බොහෝ අය ආසනයක් දිනා ගැනීමට උත්සාහ කරන්නේ ජීවිතාන්තය තෙක් හරිහම්බ කරගෙන සැපවත් ජීවිතයක් ගත කිරීමට මාර්ගය පාදා ගැනීමටය. ජනතා හිතසුව තකා රටට දැයට සේවය කිරීමට නොවේ. ජනතා ප්‍රශ්න විසඳීමට නොවේ.   
මේ රටේ හිටපු අගමැති ෂුරාබ් ෂවානියා (ZURAB ZHVANIA) 2005 පෙබරවාරි 3 දා කාබන් මොනොක්සයිඩ් වායුව ස්වසන පද්ධතියට ඇතුල් වී තම නිවස තුළදීම අවසන් හුස්ම හෙළීමේ සිද්ධිය කළ පව් පලදීමක් වශයෙන් හඳුන්වනු ලැබේ. පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලකයින් 22 දෙදෙනෙක් ඡන්දය ඉල්ලූහ. වත්මන් ජනපතිනිය වූ සලෝමා සුරාබිච්විලි විවිධ අභියෝග හමුවෙහි එම තනතුර කොතරම් කාලයක් දරනු ඇද්දැයි තවම අනාවැකි කිව නොහැක. ඇය බලයට පත්වූයේ 2018 දෙසැම්බර් 16 දාය.   
ජෝර්ජියාවේ බොහෝ දූෂිත දේශපාලකයින් මහජන මුදල් ගසාකෑමෙන් උපයාගත් කළු සල්ලි වලින් සුරසැප විඳිද්දී මේ රටේ බටහිර පෙදෙසේ ඇති කළු මුහුද සුසුම් හෙළයි.

 

 

 

සිරී හීන්පැල්ල   
නිව්යෝර්ක්  නුවර සිට ලියයි