ඇන කොටා ගැනීමෙන් වැනසුණු පැරගුවා දේශය


වළපල්ලට ගිය රටවල්

 

අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට තමන් සුළඟ සේ නිදහස් යයි කීමට අවකාශයක් නැත. ඊට හේතුව ගෝලීය ත්‍රස්තවාදයයි. අඩි පාරවල් දිගේ පවා තිරිසන් ත්‍රස්තයින් අවතාර මෙන් සැරිසරන යුගයකි මේ. තුනී තණපත් දෙකක් එහා මෙහා වෙන ශබ්දයට පවා සංවේදීවෙන ජනතාව ජීවත්වෙන රටවල් රාශියක් මම දැක ඇත්තෙමි. ඉකුත් සති තුනක කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව තුළද මා දුටුවේ එසේ ත්‍රස්තවාදයෙන් භීතියට පත් ජනතාවකි. ඇසි පිය හෙළන්නටත් පෙර පෙතිගසා දමන මිනීමරු ත්‍රස්තවාදය හේතුකොට ගෙන “වළපල්ලට ගිය රටවල්” යළි ගොඩ ගැනීම ඉමහත් අසීරු කර්තව්‍යයකි. මෙම රටවල සුන්දරත්වය තුළ ගිලී පවතින්නේ ජනතාවගේ ශෝකාලාපයයි. 


දේශයක ආරක්‍ෂක පවුරු බිඳ හෙළීම ත්‍රස්තවාදීන්ගේ මූලික අරමුණය. ලතින් ඇමෙරිකානු රටවල් රාශියක් මෙන්ම ආසියාවේ රටවල් කීපයක්ද ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවට එරෙහි ත්‍රස්ත කල්ලිවලට අත දීම හේතු කොට ගෙන ආරාජික වූ හැටි මම නිරීක්‍ෂණය කළෙමි. වැනිසියුලාව වැනසුණේ ද ත්‍රස්ත කල්ලිවලට එම රට තෝතැන්නක් වූ නිසා බව දැන් ප්‍රකටය. අද හඳුන්වා දෙනු ලබන්නේ ත්‍රස්ත කල්ලිවලට අතහිත දීම හේතු කොට ගෙන අගාධයට ඇද වැටුණු තවත් රටකි. ඒ ලතින් ඇමෙරිකාවේ පිහිටි පැරගුවා රාජ්‍යයයි. 
ත්‍රස්තවාදීන්ට අත දුන් රටක් 


මේ කියන පැරගුවා ජනරජය (Republic) කාලයක් තිස්සේ ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තවාදී කල්ලියට රැකවරණය ලබා දුන් රාජ්‍යයකි. හිස්බුල්ලා කල්ලිය ලොව මරාගෙන මැරෙන ත්‍රස්ත කල්ලි රාශියක් සමඟ සමීප සබඳතා පවත්වන මීනිමරු සංවිධානයකි. ඔවුහු පැරගුවා රාජ්‍ය අනුග්‍රහය යටතේ එම රටේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත වෙමින් ත්‍රස්ත ක්‍රියාවන්ට අවි ආයුධ ලබා ගැනීම සඳහා මුදල් උපයාගත් අයුරු අනාවරණය වී තිබේ. මේ කටයුතු සඳහා එරට බලයට පත් දේශපාලකයින්ද හවුල් වූහ. රට අද අරාජික වී ඇත්තේ ඒ කළ පව් පළ දීමක් වශයෙනි. 


මෙම රාජ්‍යයේ සිට ලෙබනන් කැනේසියන් බැංකුව හරහා මුදල් විශුද්ධිකරණය මාර්ගයෙන්ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනයෙන්ද සිගරට් සහ විස්කි රට රටවලට යැවීම මාර්ගයෙන්ද අවි අායුධ ගනුදෙනුවලින්ද හිස්බුල්ලා ත්‍රස්තවාදීන් මෙන්ම මෙහි දේශපාලකයෝ මුදල් මඩිස්සල ගැසූ අාකාරය ජාත්‍යන්තර මාධ්‍යයන් හෙළි කර තිබේ. 


ඉකිබිඳින දකුණු ඇමෙරිකාවේ හදවත 


පැරගුවා රට පිහිටා ඇත්තේ ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ බොලීවියාව යන රටවල මැදිවය. මීට පෙර ලිපි දෙකක ආර්ජන්ටිනාවට සහ බොලීවියාවට අද අත් වී ඇති ඉරණම මා විසින් හුවා දක්වන ලදී. පැරගුවා හඳුන්වනු ලබන්නේ දකුණු ඇමෙරිකාවේ හදවත වශයෙනි. (Heart of South America). මේ රටේ විශාලත්වය ව.කි.මී. 406,752ක් හෙවත් ව.සැ 157,048 කි. ජනගහණය ලක්‍ෂ 72කට ආසන්නය (7,152,703). භාෂා 17 ක් කතා කරන ජාතිකයින් ජීවත්වෙන රටකි. නිතර ජනවාර්ගික ගැටුම් පවතී. ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්තේ 1842 දීය. නිදහස ලබාගෙන වසර 177 ක් ගතවුණත් මෙහි ජාතීන් අතර සමගියක් නැති වීම මෙන්ම දේශපාලකයින් බල ලෝභය තකා ඇනකොටා ගැනීම හේතු කොට ගෙන රට එක තැනම පල් වෙමින් පවතී. බහුතර දේශපාලකයින්ගෙන් රටට සතපහක වැඩක් සිදු නොවේ. හරියටම ලංකාවේ වගේමය. මේ “දකුණු ඇමෙරිකාවේ හදවත” අද ඉකිබිඳ හඬා වැලපෙන අයුරු මම දුටුවෙමි. 


ඒකාධිපතියාගේ කියුම් කෙරුම් 


මෙහි ජනපති මරියෝ අබ්ඩෝ බෙනිට්ස් (Mario Abdo Benitez) ය. අගමැතිවරයෙක් නැත. මෙය ලොව දීර්ඝතම කාලයක් ඒකාධිපති පාලනයක් පැවති රටයි. 1954 සිට 1989 දක්වා පුරා වසර 35ක් මෙරට පාලනය කළේ ඇල්ප්‍රෙඩෝ ස්ට්‍රෙස්නර් (Alfrdo Stroessner) ය. ඔහු සිය පවුලේ සියලු ඥාතීන් සමග එක් වී රාජ්‍ය දේපොළ බෙදා හදා ගනිමින් රට තම සින්නක්කර ඉඩමක් සේ සලකමින් ගෙන ගිය එ්කාධිපති පාලනය හේතු කොට ගෙන පැරගුවා රාජ්‍යය විනාශ මුඛයට පත්විය. 


ජනතා උද්ඝෝෂණය මධ්‍යයේ සොරකම් කළ දැවැන්ත මුදල් සම්භාරය හා කිට්ටුම ඥාතීන් සමග ඔහු බ්‍රසීලයට පැන ගොස් එහි සුරසැප විඳිමින් සුඛෝපභෝගී දිවියක් ගත කළේය. යළි තම රට දැක ගැනීමටත් නොහැකිව මේ දූෂිත ඒකාධිපතියා 2006 අගෝස්තු 16 දා බ්‍රසීලයේ දී අවසන් හුස්ම හෙළුවේය. දැන් පැරගුවා රාජ්‍යය සමරන්නේ යථෝක්ත ඒකාධිපති පාලනය අවසන් වූ දස වැනි සංවත්සරයයි. ඔහුගෙන් පසු බලයට පත් පාලකයින්ද පැරගුවාව ගොඩ ගැනීමට කළ සේවයක් නැත. 


ජනපතිවරුන්ගේ පැටිකිරිය. 


මෙය ජනාධිපතිවරුන් 69 දෙනකු පාලනය කළ රටකි. මින් ජනාධිපතිවරුන් 5 දෙනෙක්ම ධුරය දරද්දීම මියගියහ. 9 දෙනෙක් මහජන ‌උද්ඝෝෂණ හමුවේ ඉල්ලා අස්වූහ. 3 දෙනකු ඝාතනය කරන ලදී. තවත් ජනපතිවරුන් 3 දෙනකු දෝෂාභියෝග යෝජනා මගින් නෙරපා හරින ලදී. 


මේ රටේ 1992 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීය. මෙම ව්‍යාවස්ථාව මාර්ගයෙන් ජනපතිවරයෙකුගේ ධුර කාලය වසර 5කට සීමා කළා පමණක් නොව ජනපතිවරයෙකුට ධුරය දැරිය හැක්කේ එක් වරක් පමණක් වශයෙන්ද සංශෝධනය කරගනු ලැබීය. මේ කොතරම් ව්‍යවස්ථා සංශෝධන සිදු කරගනු ලැබූවත් රට දශමයක්වත් ඉදිරියට ගියේ නැත. මේ රටේද කවුරුන් බලයට පැමිණියත් තවමත් හිටපු ඒකාධිපති පාලකයා නියෝජනය කරන්නන් පාලන තන්ත්‍රය තුළ හොල්මන් කරන අයුරු දක්නට ලැබේ. ඊට හොඳම උදාහරණයක් නම් වසර 35ක් රට පාලනය කළ ඇල්ප්‍රෙඩෝ ස්ට්‍රෙස්නර්ගේ පුද්ගලික ලේකම්වරයාගේ වැඩිමහල් පුත්‍රයා වූ තැනැත්තා වන මරියෝ අබිඩෝ වත්මන් ජනාධිපතිවරයා බවට පත්වීමයි. පැරගුවාවේ වත්මන් තත්ත්වය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට පෙර එහි සිටි සහ සිටින පාලකයින් පිළිබඳ මෙසේ සඳහන් කළේ ක්‍රමානුකූලව රට වළපල්ලට ගිය අයුරු පෙන්වා දීමටය. 


සල්ලිවලට විකුණූ ජන්ද 


2013 වර්ෂයේදී මේ රටේ අංක එකේ ධනවතා වූ හොරසියෝ කාර්ටෙස් (Horacio Cartes) මෙහි ජනපති ධුරය හිමිවීම තුළින් කිවහැක්කේ මෙහිද ඡන්ද සල්ලිවලට විකුණන ක්‍රමවේදයක් බහුතර ජනතාව විසින් අනුගමනය කරන බවයි. රටේ ප්‍රධානතම මුදල් උපයන දැවැන්ත වෙ​ෙ​ළඳ ව්‍යාපාර 285ක් මෙහි දේශපාලකයින් සතු වීම තුළින් කිව හැක්කේ පැරගුවා රටේද ජනතාවට දෙවියන්ගේ පිහිටවත් නොලැබුණු බවය. වසර 35 ක් තිස්සේ මේ රට තම පවුල සමග පාලනය කළ ඒකාධිපති පාලක ඇල්ප්‍රඩෝ පාලම්, බොක්කු, මහා මාර්ග සහ ගොඩනැගිලි රට පුරා ඉදිකිරීම සංවර්ධනයක් යයි හුවා දැක්වීම ඔහුට වැරදුණ තැනයි. 1998 වර්ෂයේදී කැමරුන් රාජ්‍යය හැරුණු විට ලොව දූෂිතම රට පැරගුවා බව ජාත්‍යන්තර මාධ්‍යයන් අනාවරණය කරන ලදී. මිට පෙර ලිපියක කැමරන් රට වළපල්ලට ගිය අයුරු පෙන්වා දුනිමි. 


ජනපති එළවා දැමූ හැටි 


මෙහි සිටි තවත් දූෂිතම පාලකයෙකි ප්‍රනාන්ඩු ලුගෝ. ඔහු 2008 අප්‍රේල් 15 ජනපති තනතුරට පත්විය. රටේ සම්පත් කොල්ල කෑ තවත් පාලකයෙකි ලුගෝ. 2012 ජුනි 21 දා සෙනෙට් සභාව මගින් ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනෙනු ලැබිණි. ඊට පිළිතුරු දීම සඳහා ජනපතිට ලබා දුන්නේ පැය 24 ක කාලයක් පමණකි. මෙම දෝෂාභියෝගයෙන් ඔහු නෙරපා හරිනු ලැබීය. එවකට උප ජනපති වූ ප්‍රෙඩ්රිකෝ ප්‍රැන්කෝ ජනපති පදවියට පත්විය. ඔහු ද තම කැබිනට් මණ්ඩලය සමඟ එක් වී රටේ සාරය උරා බීමට පටන් ගත්තේය. රට අඳුරෙන් අඳුරට පත්වුණේ මෙසේය. 


දූෂිත නඩුකාරයන් එළවා දැමූ ජනපති 


මෙය පවුල් පාලනය හේතු කොටගෙන ද අඳුරේ ගිලුණ රාජ්‍යයකි. හොඳම උදාහරණය ලෝපෙස් (Lopez) පවුලයි. මේ ලෝපෙස් පවුල විටින් විට පාලන බලය තමන් සතු කරගෙන රට කාබාසිනියා කළ අයුරු මෙවන් කෙටි ලිපියකින් විශ්ලේෂණය කිරීම අපහසුය. එමෙන්ම 2003 සිට 2005 දක්වා රට පාලනය කළ ජනපති නිකනෝර් දුවර්තේ (Nicanor Duarte) රටේ යහපත තකා කිසියම් ප්‍රශංසාසහගත සේවයක් සිදු කළ අයෙකි. 


ඔහු පැරගුවා රාජ්‍යයේ 47 වෙනි ජනාධිපතිවරයාය. පගා ගනිමින් විවිධ දූෂණ ක්‍රියා සිදු කළ මුදලට නඩු තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රාශියක් සේවයෙන් නෙරපා හරිනු ලැබුවේ ඔහුය. එහෙත් ඔහුටත් වසර 2කට වඩා ජනපති තනතුරේ රැඳී සිටීමට නොහැකි විය. ඔහුට 2008 ජුනි 23 දා ඉල්ලා අස්වීමට සිදු වූයේ මහජන දේපොළ සොරාකන දූෂිත දේශපාලකයින් බලවත්වීම නිසාය. 

 

 


කොරේ පිටට මරේ 


මෙය සෝයා, බඩඉරිඟු, යකඩ, වානේ මෙන්ම විවිධ ඖෂධ වර්ග අපනයනය කරන දේශයකි. මෙහි මුළු ජනගහණයෙන් සියයට 41ක් පමණ අන්ත දුගී අසරණයින්ය. රටේ මුළු ඉඩම්වලින් සියයට 77ක් පමණ අයිති ධනවත් ව්‍යාපාරිකයින්ටය. බලවත් දේශපාලකයින්ටය. බිම් අඟලක්වත් නැති සංඛ්‍යාව විසි ලක්‍ෂයකට වැඩිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි මෙහෙයවන්නන්ගෙන් පිරුණු රටකි. මේ ලියන මොහොත වනවිට පැරගුවා ජනරජය මහා ගංවතුරකට යට වී අවසන්ය. රට ගංවතුර උවදුර නිසා කබලෙන් ළිපට වැටී ඇත. මේ රට බොලිවියාව සමග යුද්ධයක පැටලීම හේතු කොට ගෙන විනාශ විය. ත්‍රස්තවාදීන්ට රැකවරණය දීම නිසා රට තවත් ආපස්සට ගියේය. මේ වනවිට පාලකයින්ට එරෙහිව රට පුරා ජනතාව උද්ඝෝෂණ පවත්වයි. මේ උද්ඝෝෂණ ඇරඹුණේ 2019 අප්‍රේල් 22 දා ය.  


මෙම ලිපි පෙළෙහි විවිධ රටවල ඛේදනීය තත්ත්වය විදහා දැක්වීමට මෙවැනි ආසන්නතම උදාහරණ ඉදිරිපත් කරනුයේ රට දැන් තිබෙන “තැන” පිළිබඳ දැක්වීමටය. 
මෙහි තරුණ පිරිස අතර විරැකියාව උග්‍රවී ඇත. රට අතහැර යන්නන්ගේ සංඛ්‍යාව අධිකය. සෑම ළදරු උපත් 1000කට ළදරුවන් 28කට වැඩි සංඛ්‍යාවක් උපතේදීම මියයයි. ගැබිනි කාන්තාවන්ද මියයන සංඛ්‍යාව අධිකය. ජර්මන්, රුසියානු, කොරියා, චීන, අරාබි, යුක්‍රේන, බ්‍රසීල හා ඉතාලි ජාතිකයින් ලක්‍ෂ 4කට වැඩි සංඛ්‍යාවක් මේ රටේ පදිංචි වී සිටීම රටේ මුල් උරුමක්කාරයින්ට ඉමහත් තර්ජනයකි. දේශපාලකයින්ගේ සියලු වරප්‍රසාද ලැබ සැප විඳින්නේ මේ විදේශිකයින්ය. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව 165,000කට අධිකය. විශාල වශයෙන් රටට මුදල් උපයාදුන් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය ද දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුවීමෙන් අඩපණ වී ඇති අයුරු ඛේදජනකය. වැනිසියුලාවේ චාවෙස්, විවිධ විදේශීය ත්‍රස්ත කල්ලිවලට අත දුන්නාක් මෙන් මෙහි පාලකයින් ද ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීම පැරගුවා රාජ්‍යයේ පොදු ජනතාවගේ කරුමයකි.

 

 

සිරී හීන්පැල්ල නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි