අසරණයන් මුළා කරන වකුගඩු හොරු


මගේ ඉතාමත් සමීප හිතවතකුගේ වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත්ව වැඩි කාලයක් ගත වූයේ නැත. විවිධ ප්‍රතිකාර සහ රුධිර කාන්දුකරණයෙන් පසුව ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලැබීය.


මගේ මිතුරා සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා පුවත්පත් කීපයකම දැන්වීම් පළ කළේය. ඒ ඔහුගේ දුරකතන අංකය ද සහිතවය.


මොණරාගල, දොඹගහවෙල ශ්‍රී ශෛල බිම්බාරාමයේ වැඩවාසය කරන බව සඳහන් කළ වැල්ලවායේ සීලරතන හිමිනම කැයි තමන්ටම හඳුන්වා දුන් පුද්ගලයකු දිනක් මගේ මිතුරාගේ දුරකතනයට ඇමතීය.


තමන් ආරණ්‍යවාසී හිමිනමක් බවත් වකුගඩුවක් දන් දී පාරමිතාවක් සපුරා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් පැවැසූ උන්වහන්සේ මෙයට පෙරත් තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට සූද‌ානම්ව සිටි බවත් අවාසනාවකට එම රෝගියා මියගිය බවත් පැවසූහ.


මෙම දුරකතන සංවාදය අවසානයේ වැල්ලවායේ සීලරතන හිමි යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයා මගේ මිත්‍රයාට පැවසුවේ කොළඹ පැමිණීම සඳහා බස් ගාස්තුව වශයෙන් රුපියල් දෙදහක් ඊෂි කෑෂ් මගින් එවන ලෙසය.


මගේ මිත්‍රයා ද ඊෂි කෑෂ් මගින් රුපියල් දෙදහක් ඔහු වෙත යැවීය.


ඊට පස්​ෙස් හාමුදුරුවන්ගෙන් ඇමතුමක් ලැබුණෙත් නැහැ. දුරකතනය විසන්ධි කරලා. මිතුරා පැවසුවේ තමන් සොරෙකුට රැවටුණ බවය.


මෙලෙසින් ම වැල්ලවායේ සීලරතන යනුවෙන් හඳුන්වා ගත් අයෙක් මීට කලකට පෙර විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ ඒ.ඩබ්ලිව්. ජින‌ද‌ාසට දුරකතන ඇමතුමක් දුන්නේය.


හඟුරන්කෙත පදිංචි ඒ.ඩබ්ලිව්. ජිනද‌ාසගේ පුතෙකු වූ හතළිස් හය හැවිරිදි සුදත් විතානගේට වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීමක් පළකෙරුණි. ඒ විශ්‍රාමික විදුහල්පතිවරයාගේ ජංගම දුරකතන අංකය ද සහිතවය.


‘මහත්තයලද අර වකුගඩුවක් ගැන දැන්වීමක් පළ කළේ?


‘ඔව්. කවුද මේ කතා කරන්නේ? විශ්‍රාමික විදුහල්පතිවරයා ඇසීය.


‘මම ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්න හාමුදුරුනමක්.’


‘එහෙනම් අපේ හාමුදුරුවනේ මොකක්ද ඔබ වහන්සේගේ නම?’


‘මම වැල්ලවායේ සීලරතන, සියඹලාණ්ඩුවේ ශෛල බිම්බාරාමයේ වැඩ ඉන්නේ.’


‘එහෙමයි අපෙ හාමුදුරුවනේ.’


‘මම මේ යන ලෝකයකට පින් පතා කරන වැඩක්. කිසිම ලාභයක් අපේක්ෂාවෙන් කරන එකක් නොවෙයි.’


වැල්ලවායේ සීලතරන හිමි යනුවෙන් හඳුන්වා ගත් පුද්ගලයා මෙසේ සතියක්ම වරින්වර දුරකතනයෙන් ජිනද‌ාස සමග කතා බයෙහි යෙදුණේය.


සතියකට පසුව වැල්ලවායේ සීලරතන හිමි නැවතත් විශ්‍රාමික විදුහල්පතිවරයා ඇමතීය.


‘මහත්තයා මම ඉන්නේ කැලෑ බද පෙදෙසක ආරණ්‍යයක. ගමන් පහසුකම් බොහෝම අසීරුයි. ඒක නිසා ත්‍රීවිලරයක් පාවිච්චි කරනවා.’


‘ඔව් කියන්න හාමුදුරුවනේ.’


‘ත්‍රීවිලරය කැඩිලා. ඒක හදන්න රුපියල් විසිද‌ාහක් යනවා. මට ඒ මුදල ඊෂි කෑෂ්වලින් එවන්නකෝ.’ වැල්ලවායේ සීලරතන හිමි ඉල්ලා සිටියේය.


විශ්‍රාමික විදුහල්පතිවරයාගේ හිතෙහි සැකයක් මතු වූයේ ක්ෂණයකිනි.


‘හාමුදුරුවනේ මේ වෙලාවෙ නම් මගේ ළඟ සල්ලි නැහැ. හෙට දවල් දෙක වෙද්දී මම ඔබවහන්සේට සල්ලි එවන්නම්.’ ජිනද‌ාස මහතා පිළිතුරු දුණි.


හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරයේ විහාරාධිපති වැල්ලගිරියේ සුමංගල හිමියන් ජිනද‌ාස මහතා සමීපයෙන් ඇසුරු කරයි. ඔහු කාරණය වැල්ලගිරියේ සුමංගල හිමියන්ට පැවසීය.


‘අපි හෙට උදෙන්ම ඔය කියන පැත්තට ගිහිල්ල සොයල බලමු.’ උන්වහන්සේ පිළිතුරු දුන්හ.


පසුදින උදෑසන සුමංගල හිමියන්ගේ මෝටර්රථයෙන් එතුමන් ද සමග ජිනද‌ාස සියඹලාණ්ඩුව බලා පිටත්ව ගියහ.


අද‌ාළ ප්‍රදේශය පුරා සොයා බැලූ ඔවුනට වැල්ලවායේ සීලරතන හිමි කෙනකු තබා ශ්‍රී ශෛල බිම්බාරාමයවත් සොයා ගැනීමට නොහැකි විය.


පසුව ඔවුන් පොලිසියට පැමිණ මේ ගැන පැමිණිල්ලක් කළහ.


එතනදී පොලිසියේ ලොකු මහත්තයා, එයාගෙ ෆෝන් එකෙන් අර හාමුදුරුවන්ගෙ ෆෝන් එකට කතා කළා. ෆෝන් එකට කතා කරල තියෙන්නෙ ගෑනු කෙනෙක්. පොලිසියෙන්ය කතා කරන්නෙ කියපු ගමන් කට් කරලා.’ ඒ.ඩබ්ලිව්. ජිනද‌ාස පැවසුවේ වකුගඩු හොරෙකුගෙන් ඔහු ගැලවුණ ආකාරය පිළිබඳවය.


හැත්තෑ දෙහැවිරිදි රුක්මන් වීරමන්ගේ පදිංචිය නාරාහේන්පිටය. ඇයට වකුගඩුවක් සොයා පත්තරේ දැන්වීමක් පළ කළේ ඇයගේ බාල පුතුය.


දිනක් ඔහුගේ දුරකතනයට ඇමතුමක් ලැබුණි.


‘මහත්තයා මම මහනුවර ඉන්නේ. වයස අවුරුදු තිස් පහයි. දුරකතනයෙන් කතා කළ පුද්ගලයා පැවසීය.


‘මම මහණ වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. එයට ඉස්සර මගෙ වකුගඩුවක් දන් දෙන්න කැමතියි.’


‘ඔව්. අපි රිපෝට්ස් අරගෙන බලමු.’ රුක්මනීගේ පුත්‍රයා පැවසීය.


‘මහත්තයා මෙඩිකල් රිපෝට්ස් ගන්න මම කියන එකවුන්ට් එකට රුපියල් පහළොස් ද‌ාහක් ද‌ාන්න.’ එයට පසුදිනක එම පුද්ගලයා දුරකතනයෙන් පැවසීය.


‘හොඳයි නුවර පොලිසියේ මගේ ඥා‌ාතියෙක් ඉන්නවා. මම එයාට කියන්නම් ඔයා ගිහිල්ල ඉල්ලගන්න.’ පුත්‍රයා පැවසුවේය. එයින් පසුව වකුගඩු පරිත්‍යාගශීලියා කතා කළේ නැත.
මෙලෙස වකුගඩු පරිත්‍යාග කිරීමට එකඟ කතා කරන බොහෝ දෙනා හඟවන්නේ තමන් බෞද්ධ භික්ෂූන්වහන්සේලා බවය. ඊට හේතු වන්නේ ශරීර කොටස් දන්දීම වූ කලී බුදු බව පතා බෝධිසත්වයන් පාරමී පුරන බැවිනි.


එයින් නොනැවතී තමන්ගේ සිල්වත් බව තවන් ඒත්තු ගැන්වීමට ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්නා බව පවසති. බොහෝ විට ඒ මොනරාගල, සියඹලාණ්ඩුව, අනුරාධපුරය වැනි ප්‍රදේශයන්ය. නමුත් භික්ෂූන් ලෙස පෙනී සිටිමින් මෙහි කෙරෙන්නේ අසරණ රෝගීන්ගෙන් මුදල් කඩා ගැනීමක්ය.


මේ අතර වකුගඩු රෝගීන්ට වකුගඩු ලබා දීමට ඉදිරිපත් වන වකුගඩු බ්‍රෝකර්ලා ද සිටිති. වකුගඩු ඉල්ලා පුවත්පත් දැන්වීමක් පළ කළ විට ඔවුන් ද දුරකතන ඇමතුම් දෙති.
එවැනි අයෙකු ගුණවර්ධනට කතා කළේය.


‘මට පුළුවන් මහත්තයට වකුගඩුවක් දෙන්න.’


‘මොකක්ද ඔයාගේ බ්ලඩ් ගෲප් එක.’ ගුණවර්ධන විමසීය.


‘ඕනෑම බ්ලඩ් ගෲප් අයට මට දෙන්න පුළුවන්. මම එන්නම්කො මහනුවරට මේ ගැන සාකච්ඡා කරන්න.’


ඊළඟ දිනයේ මෙම පුද්ගලයා දුරකතනයෙන් කතා කර තමන් මහනුවරට පැමිණ සිටින බවත්, නිවසට එන මාර්ගය පවසන ලෙස ඉල්ලා සිටියේය. තමන් එදින නිවසේ නොමැති බව පවසා ගුණවර්ධන එම පුද්ගලයා මග හැරියේය.


මෙවැනි වකුගඩු බ්‍රෝකර්ලා මහනුවර මෙන්ම කොළඹ ද සිටිති.


ගුණවර්ධන පවසන ලෙස මහනුවර එවැනි බ්‍රෝකර්වරුන් හතර දෙනෙක් සිටිති. වකුගඩුවක් සඳහා ඔවුන්ගේ අයකිරීම ලක්ෂ පහළොවකි. කොළඹ එවැනි බ්‍රෝකර්ලා අට දෙනෙකු ඇත. කොළඹ බ්‍රෝකර්ලා වකුගඩුවක් සඳහා ලක්ෂ තිහක් ඉල්ලා සිටින බව ගුණවර්ධන පවසයි.


මහනුවර රෝහලේ වකුගඩු ඒකකය අසල එවැනි අය සිටින බව ඔහු පවසයි. ඔවුහු ඒකකය අසලට වී පත්තරයක් බලමින් සිටිති. ඇඟපත පිරිපුන් මුදල් හදල් ඇති අයෙකු වකුගඩු ඒකකය වෙත පැමිණි විට සමීප වී ‘ඇම’ දැමීමට බලයි. දුප්පත් ස්වරූපයේ අය වෙත ඔහු ළඟා වෙන්නේ නැත.


වකුගඩු රෝගීන්ගෙන් මෙසේ මුදල් කඩා ගැනීමට වංචාකරුවන්ට පහසු වී ඇත්තේ දියේ ගිලෙන්නා පිදුරු ගසෙහිත් එල්ලෙන්නා සේ, තම ජීවිතය බේරා ගැනීමට අන්තිම රුපියල ද වැය කරන බැවිනි.


මෙහිදී වැඩි වශයෙන් කරනුයේ විවෘතව වකුගඩුවක් ප්‍රද‌ානය කරන ලෙස සමස්ත ජන සමාජය වෙතම ආරාධනා කිරීමය. බොහෝ විට මෙය සිදුවන්නේ පුවත්පත් දැන්වීම් මාර්ගයෙනි. රෝගියාගේ රුධිරය කාණ්ඩය සඳහන් කර සම්බන්ධ විය යුතු දුරකතන අංකයත් සමඟ එම පුවත්පත් දැන්වීම පළවෙයි.


මෙම පුවත්පත් දැන්වීම පළවෙන්නේ රුධිර කාන්දුකරණය ද සිදුකර ජීවිත අපේක්ෂාවන් පිළිබඳ අවසාන අවස්ථාවලදීය. ජීවිතයේ අන්තිම අසරණ අවස්ථාවකට පත්ව ඇති අවස්ථාවකය.


වකුගඩු රෝගීන්ට වංචා කරන පුද්ගලයන් සමාජයේ පිරී ඇත්තාක් සේ පින් සිතින්ම එම කාර්යයන්හි නිරත වන්නෝ ද ඇත්තාහ.


බලංගොඩ, තොටුපළතැන්නේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති බලංගොඩ මහානාම හිමිපාණෝ එවැනි පරිත්‍යාගශීලී පුණ්‍යවන්ත හිමිපාණන් කෙනෙකි.


උන්වහන්සේ තමන් වහන්සේගේ වකුගඩුව පරිත්‍යාග කිරීමට ප්‍රථමයෙන්ම එකඟ වූයේ එම ප්‍රද‌ානය කරන්නේ කවරෙකුට ද කියා නොදැනය. පසුව එය අවශ්‍යව ඇත්තේ ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිවරයාට බව උන්වහන්සේට දැනගන්නට ලැබුණි.


දෙදහ වසරේ මාර්තු මාසයේ වකුගඩු බද්ධය සිදු වූයේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේදීය.


‘මට ලොකු සතුටක් ඔබවහන්සේ වගේ තරුණ භික්ෂූන් වහන්සේ නමක් මට වකුගඩුව ප්‍රද‌ානය කිරීමට ඉදිරිපත් වීම ගැන. අනික ඔබවහන්සේ දැනගෙන හිටියෙත් නැහැනේ වකුගඩුවක් කාට ද දෙන්නෙ කියලා. ඔබවහන්සේට මගෙන් මොනවද සිද්ධවෙන්න ඕනෙ.’


කොළඹදී හමු වූ බලංගොඩ මහානාම හිමිපාණන්ගෙන් කදිරගාමර් අැමැතිවරයා විමසීය.


‘මට මොකවත් එපා. මම කරන්නෙ දන් දීමක් පමණයි.’ මහානාම හිමියෝ පැවසූහ.


බලංගොඩ මහානාම හිමියන්ගෙන් ගත් වකුගඩුවක් ඉතාමන් සාර්ථක ලෙස ලක්ෂ්මන් කදිරගාමර්ට බද්ධ කෙරුණි. තමන් වහන්සේ රෝහලෙන් පිටවීමට පෙර ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිවරයා හමු වූ බලංගොඩ මහානාම හිමි මෙසේ පැවසූහ.


‘ඔන්න මහත්තයා මගේ කටයුත්ත කළා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.’ මේ හේතුවෙන් අපේ සම්බන්ධය දිගින් දිගට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒක ඔබතුමාට කරදරයක් මෙන්ම මටත් කරදරයක් වෙන්න පුළුවන්.’

 

 

 

පීටර් කැනියුට් පෙරේරා