අම්පාරේ තවත් පුරාවිද්‍යා බ්මක් ඩෝසර් කරලා


 

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රා​ෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් වලතාපිටිය ගම්මානයේ ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් ඩෝසර් කර දමා ඇති බව පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් සමන්තුරේ පොලිසියට පැමිණිලි කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ පුරා විද්‍යා ස්ථාන විනාශ කිරීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. ඉවක් බවක් නැතුව කරන සංවර්ධන කටයුතු නිසා දැන හෝ නොදැන මෙම විනාශය සිදුවේ. 


වලතාපිටිය ගම්මානය අවට ප්‍රදේශයේ ස්ථාන ගණනාවකම පුරාවිද්‍යා ස්ථාන කීපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර මෙම ප්‍රදේශය අවට යම් පුරාවිද්‍යා කැණීමක් කරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ මහතා විසින් සමන්තුරේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබේ.   


එසේ තිබිය දී අක්කර 10 යක වැඩි භූමි ප්‍රමාණයක අනවසරයෙන් ගල් කඩා එහි තිබූ පුරාවස්තු හානි වෙන ආකාරයට කටයුතු කර ඇති බව අප එහි කළ සංචාරයේදී දැක ගැනීමට හැකිවිය.   


මෙම ඉඩමේ පෙර අයිතිකරු වන්නේ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරිවරයෙකි. පසුව ඔහු අක්කර දෙකක මෙම ඉඩම සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට විකුණා ඇති බව පොලිසිය විසින් සොයා ගෙන ඇත. පසුව සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් යන්ත්‍ර සූත්‍ර යොදා මෙම ඉඩම සංවර්ධනය කිරීමට ආරම්භ කර තිබේ.   


මෙම භූමිය වැඩි වශයෙන් කළුගල්වලින් සමන්විත වූ ඉඩමකි. මෙම ඉඩම සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා කිසිම නිත්‍යානුකූල අවසර පත්‍රයක් නොගෙන මෙම කටයුතු සිදුකර තිබෙන බවට මේ වෙන විට කරමින් තිබෙන පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.   


මෙම ඉඩම් අයිතිකරු යැයි පෙනී සිටින සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් තමන්ට හිමි අක්කර දෙකක ප්‍රමාණයක් යැයි පැවසුවත් අක්කර 10 ක පමණ භූමි භාගයක් පුරා විහිදී ඇති කළු ගල් සියල්ල කඩා දැමීමට කටයුතු කර තිබේ. ඒ සඳහා ඔහු ස්කැවේටර් යන්ත්‍ර දෙකක් සහ ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන ඇති අතර එම ස්ථානයේ තිබෙන ගල් කැඩීම සඳහා ගල්බෝර ගසා ඇති බවට සාක්කි ගණනාවක්ද තිබේ. ගල් පිපිරවීම සඳහා යන්ත්‍ර මගින් හිල් විද ඇති අතර ඔවුන් පුපුරුවා ඇති ස්ථාන දෙකක වෙඩි පුපුරා නොගොස් ඇති අතර එම ස්ථාන දෙකේ ගල පිපිරවීමට යොදා ගන්නා වෙඩි නූල් ද අපට එම ස්ථානයට යන විට දැක ගැනීමට හැකි විය.   


මාසයකට අධික කාලයක් කරන ලද මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳව කිසිවෙකු අවධානය යොමු නොකළ අතර මෙම විනාශය දැක උහුලා ගැනීමට නොහැකි වූ දෙමළ ජාතික තරුණයෙක් මාධ්‍ය​ෙව්දීන්ට මේ පිළිබඳව දැනුම් දී තිබේ. පසුව එම ස්ථානයට පැමිණි මාධ්‍ය​ෙව්දීන් පිරිසක් පළමුව භූමියට ඇතුළු නොවී එහි සිදුවෙන දේවල් සියල්ල පිට සිට පටිගත කර මේ පිළිබඳව අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට දැනුම් දී ඇති අතර පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අම්පාර පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්ථානයට එවනු ලැබීය.   


එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එම ස්ථානයේ සේවය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබිණ. එම අවස්ථාවේ මෙම ඉඩම තුළ ගල්කැඩීමට ගෙනා ස්කවේටර් යන්ත්‍ර දෙකක් තිබූ අතර එම යන්ත්‍ර දෙක ද රඳවා ගැනීමට තීරණය කළේය. අම්පාර පොලිසිය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළත් මෙම වලතපිටිය ගම්මානය අයිති වන්නේ සමන්තුරේ ප්‍රදේශයටය. අම්පාර පොලිසිය පැමිණ පැය භාගයකට පමණ පසුව සමන්තුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහමඩ් මහතා පැමිණ අම්පාර පොලිසිය මගින් රඳවාගත් පුද්ගලයා නිදහස් කළ අතර ඔහු පැවසුවේ ඉදිරි දින දෙක නිවාඩු බැවින් මෙම ඉඩම පිළිබඳව සොයා කටයුතු කරන බවයි.   


නමුත් එම මොහොතේ භූ විද්‍යා සහ පතල් කාර්්‍යංශයේ නිලධාරියකු එම ස්ථානයේ සිටි අතර ඔහු පැවසුවේ මෙම ස්ථානයේ ගල් කැඩීම සඳහා භූ විද්‍යා සහ පතල් කාර්්‍යාංශයෙන් අවසර නොදී ඇති බවයි. කරුණු එසේ තිබියදී අම්පාර පොලිසිය මගින් රඳවාගත් පුද්ගලයා ද සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අත් හැරියේ මෙම සිද්ධිය විශාල පිරිසක් බලා සිටියදීය.   


මෙම සිදුවීම 2018.05.12 සවස සිදුවූ අතර දින දෙකක් යනතුරු පරීක්ෂණ කටයුත්තක් පොලිසියෙන් සිදු නොවූ අතර ඒ අතරතුර අනවසර කැණීම් කරන ලද ඉඩමේ නවතා තිබූ එස්කවේටර් යන්ත්‍ර දෙකම ඉඩම සංවර්ධනය කරන පුද්ගලයා විසින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.   


මාධ්‍ය මගින් මෙම සිදුවීම පිළිබඳව හෙළිවීමත් සමගම අම්පාර පුරා විද්‍යා නිලධාරීන් පැමිණ මෙම භූමියේ පරීක්ෂණයක් කර එම භූමිය පුරාවිද්‍යා සාධක ඇති බව හඳුනාගෙන සමන්තුරේ පොලිසිය මගින් පරීක්ෂන ආරම්භ කරනු ලැබීය. ඒ සඳහා කල්මුනේ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශණ හේරත් මහතා පැමිණ ස්ථානය පරීක්ෂා කර පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.   


දැනට මෙම ස්ථානයේ කැණීම් කිරීමට භාවිත කරන ලද එස්ක‍​ෙව්ටර් යන්ත්‍ර දෙක සහ එහි රියැදුරන් සමන්තුර පොලිසිය සහ අම්පාර පුරාවිද්‍යා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙම ඉඩමේ අයිතිකරු වන කැණීම් කරන ලද සමන්තුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන නැති අතර ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් ලබා ගෙන තිබේ.   


අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා මේ පිළිබඳව කළ විමසීමේදී මෙසේ කීය.   


වලතාපිටිය ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් විශාල කැණීමක් කරලා තියෙනවා කියලා මට වාර්ථා වුණා. මෙම ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසලා තියෙනවා. මේ වගේ දෙයක් කරනකම් ග්‍රාම නිලධාරිවරයා කිසිවක් කරලා නැහැ. ඔහු පිළිබඳව අපි කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරනවා. රජයේ ඉඩම් ආරක්ෂා කිරීමට ග්‍රාම නිලධාරිවරයාට පූර්ණ බලතල දීලා තියනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යායේ ඉඩම් අංශයෙන් මේ වගකීම පැහැර හැරලා තියෙනවා. රජයේ ඉඩම්වල එක එක එක්කෙනාට අවශ්‍ය පරිදි නිත්‍යාණුකූල නොවන අයුරින් කටයුතු කරන්න බැහැ. ඒ වගේම මෙම ඉඩම විකුණලා තියෙන්නේ විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරිවරයෙක් මේ පිළිබඳවත් අපි පරීක්ෂණයක් කරනවා. 

 
අම්පාර පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා   


වලතාපිටිය මෙම කැණීම් කරලා තියෙන ස්ථානයේ පුරා විද්‍යා සාධක තියෙන බවට විමර්ශන නිලධාරින් පෙන්වල දීල තියෙනවා. මීට මාස හයකට කලින් සමන්තුර ප්‍රාදේශීය ලේකම්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. වලතාපිටිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරනවා නම් ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න කියලා. නමුත් මෙම කටයුත්තේ දී ඒ කාරණය පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. දැනට අපි සිදුවූ විනාශය පිළිබඳව තොරතුරු රැස් කරනවා. මේ පිළිබඳව අපි නිත්‍යානුකූලව කටයුතු කරනවා.   


නැගෙනහිර පළාතේ මෙතෙක් සිදුවූ පුරාවිද්‍යා විනාශයන් සැලකිල්ලට ගැනීමේ දී මෙම ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ඇත්තේ මන්දගාමී ප්‍රතිපත්තියකි.   


වලතාපිටිය ප්‍රදේශයේ මාසයක කාලයක් කිසිම අවසරයකින් තොරව මෙම විනාශය කරනතුරු ග්‍රාම නිලධාරීවරයා, පොලිස් බුද්ධි අංශ කළේ කුමක්දැයි යන්න පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව තිබේ. සුළු සිද්ධිවලට පවා අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධියට මුල් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීමට මැළිකමක් දක්වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.   

 

 

 

 

 

 


අම්පාර වසන්ත චන්ද්‍රපාල