සමෘද්ධි සහනාධාර හොර පාරේ ගිය හැටි සොයයි


(දයාසීලි ලියනගේ)  

දුගී දුප්පත් ජනතාවට සහනයක් ලෙස දෙනු ලබන සමෘද්ධි සහනාධාර අනිසි ලෙස යොදවා තිබීම පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතාට උපදෙස් දී ඇත.  

සමෘද්ධි සහනාධාරය ලබමින් සිටිය දී මියගිය අය සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කර නොමැති අවස්ථා පවතින අතර ඒ මුදල් ලබා ගත්තේ කවුරුන් ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත. මීට අමතරව සමෘද්ධි සමුපකාරවලට දෙන ලද මුදල් නිසි ලෙස යොදවා නොමැති අතර මෙම මුදල් යෙදෙව්වේ කා සඳහා ද යන්න පිළිබඳව දැනුවත් විය යුතු බව ද අගමැතිවරයා සඳහන් කරයි.  


සමෘද්ධිලාභීන්ගේ ආද‌ායම් තත්ත්වය ඉහළ යන විට ඔවුන් සමෘද්ධි සහනයෙන් ඉවත් කළ යුතු වුවත් එවැන්නක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.